Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මානු - ෆෝඩ් එක්ව නවසීලන්තය නවත්වති

මානු - ෆෝඩ් එක්ව නවසීලන්තය නවත්වති

editorial - 2019 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැමෝවා සම්භවයක් ඇති නමුත් එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන සෙන්ටර් ක්‍රීඩක මානු තුයිලගායි වේලාසනින්ම ලබාගත් උත්සාහක දිනුමත් ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා වූ ජෝර්ජ් ෆෝඞ් සාර්ථක කරගත් දඬුවම් පහර 4 ත් නිසා අපහසුවකින් තොරවම නවසීලන්තය පරාජය කළ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජපානයේ යොහොහාමා නුවරදී අද (26 වැනිදා) පැවැති මෙම තරගයේදී අවසන් ලකුණු තත්ත්වය 19-07 ක් විය.  විවේක කාලයේදී එංගලන්ත පිල 10-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

රග්බි ලෝක කුසලාන හෙවත් ‘වෙබ් එළිස්’ කුසලානය පිට පිටම දෙවතාවක් දිනා සිටින නවසීලන්තය මෙවර තරගාවලියට පිවිසියේ පිට පිටම තුන්වැනි වතාවටත් කුසලාන දිනාගැනීමේ අටියෙනි. එහෙත් අවසන් පූර්ව තරගය දක්වා අපරාජිත ගමනක් පැමිණි නවසීලන්තයට එංගලන්තය හමුවේ නතර වීමට සිදුවිය.

තරගය ආරම්භ වීමට පෙර සිටම දෙපිලේ ක්‍රීඩකයන් අතර මානසික යුද්ධය ආරම්භ විය.
ප්‍රතිවාදීන් බිය ගැන්වීමට සමත්වන නවසීලන්ත ක්‍රීඩකයන්ගේ සාම්ප්‍රදායික ‘හකා’ නර්තනය කෙරමින් පවතිද්දී ඒ ගැන නොතැකූ එංගලන්ත ක්‍රීඩයෝ කිහිප දෙනෙක් ඉදිරියට ගියහ. ඒ අවස්ථාවේදී “තමන්ගේ සීමාවට එන්න” යි එංගලන්තය ක්‍රීඩකයන්ට අවවාද කිරීමට තරග නිලධාරීන්ට සිදුවිය.

කළු කමිසකාරයන්ගේ ප්‍රොප් ක්‍රීඩකයන් දෙදෙනා අතරින් රිංගා ගිය තුයිලගායි තරගයේ දෙවැනි විනාඩියේදීම ලබාගත් උත්සාහක දිනුම කිසිදු අපහසුවකින් තොරවම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ එංගලන්ත නායක ඔවෙන් ෆැරල් ලකුණු 7-0 ක් ලෙසින් තම කණ්ඩායම ඉදිරියට ගෙන ආවේය.

තරගයේ 25 වැනි විනාඩියේදී එංගලන්ත පිලට හිමිවූ දඬුවම් පහරක් අවලංගු කිරීමට විනිසුරු නයිජල් ඔවෙන්ස් තීරණය කළ අතර නවසීලන්තයෙන් එතරම් තර්ජනයක් ඉදිරිපත් නොවීය. අඩහෝරාවකට පමණ පසුව ජෝර්ජ් ෆෝර්ඞ් ඩ්‍රොප් ගෝලයක් ලබාගැනීමට උත්සාහ කළද පන්දුව වෙනතක ගියේය.

කෙසේ වෙතත් 40 වැනි විනාඩියේදී ෆෝඞ් සාර්ථක කරගත් දඬුවම් පහරත් සමගින් ලකුණු තත්ත්වය 10-0 ක් විය.

වසරකට පමණ ඉහතදී පැවැති රග්බි ටෙස්ට් තරගයදී නවසීලන්තය පිල 15-0 ක් ලෙසින් එංගලන්තයට වඩා පසුපසින් සිටි නමුත් එම තරගය ජයගැනීමට කළු කමිසකාරයෝ සමත් වූහ. එහෙත් කලින් කළ වැරදි මෙවර නොකිරීමට ෆැරල්ගේ කණ්ඩායම හොඳ සූදානමකින් සිටියේය.

විවේකයෙන් පසුව ජෝර්ජ් ෆෝඞ් සාර්ථක කරගත් දඬුවම් පහරත් නවසීලන්තයේ ආඩි සවියා ලබාගත් උත්සාහක දිනුමත් අතර පරතරය විනාඩි 12 කි. එහෙත් ලකුණු තත්ත්වය කියැවුණේ 13 - 05 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටිමිනි. එතැන් සිට ජෝර්ජ් ෆෝඞ් සිය පාදය නිවැරදිව ක්‍රියාත්මක කරන්නට වූයෙන් එංගලන්තය ඉදිරියට ගියේය.

තරගය නිමා වන විට එංගලන්තය 19-07 ක් ලෙසන් ඉදිරියෙන් විය.

එංගලන්ත කණ්ඩායම රග්බි ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් සිව්වැනි අවස්ථාව මෙයයි. බොහෝ දෙනාගේ උපකල්පනය වූයේ නවසීලන්ත කණ්ඩායම, එඩී ජෝන්ස්ගේ (පුහුණුකරු) පිලට හරස්වනු ඇති බවයි. එහෙත් එංගලන්ත ක්‍රීඩකයෝ නොසැලී ඉදිරියටම ගියහ.

එංගලන්තය වෙනුවෙන් මානු තුයිලගායි පළමු උත්සාහක දිනුම තබන විට තරගයේ දෙවැනි විනාඩිය සම්පූර්ණ වීමටත් තත්ත්පර 20 ක් ඉතිරිව තිබිණ. එංගලන්තයේ උත්සාහක දිනුම් දෙකක්ම අවලංගු කරන ලද නමුත් සෑම් අන්ඩර්හිල්ගේ වෙට්ටු දැමීමත්, නයිජීරියානු සම්භවයක් ඇති මාරෝ ඉතෝජේගේ ජවයත් කළු කමිස කාරයන්ට පාලනය කළ නොහැකි විය.

තරගය නැරඹීම සඳහා 68,843 ක් යොකොහාමා ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ.

..

 


අදහස් (0)

මානු - ෆෝඩ් එක්ව නවසීලන්තය නවත්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.