Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහවැලි ක්‍රීඩා සමාජයක් පිහිටුවීමේ යෝජනාවක්

මහවැලි ක්‍රීඩා සමාජයක් පිහිටුවීමේ යෝජනාවක්

Nisanka Sandeepani - 2018 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහවැලි කළාපවල වෙසෙන ජනතාවගේ ක්‍රීඩා කුසලතා හඳුනාගෙන ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර තලයට ගෙන යෑම වෙනුවෙන් පැවැත්වෙන මහවැලි ක්‍රීඩා උළේලේ 30 වැනි දිගහැරුම මේ මස 15 සහ 16 යන දිනවලදී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය සම්බන්ධයෙන් මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහතා, ‘ලංකාදීප’ සමග පැවැත්වූ සාකච්ඡාවක් පහත දැක්වේ. අධ්‍යක්ෂවරයා සාකච්ඡාවට මුල පිරුවේ මේ අයුරිනි. 

“මීට වසර 31 කට කලින් 1986 වසරේදි තමා අපි මේ ක්‍රීඩා උළෙල ආරම්භ කළේ. මුලින්ම කළාප 7 කින් ආරම්භ කරපු මහවැලි ක්‍රීඩා ක්‍රීඩා උළෙල මේ වෙනකොට කළාප 10 ක් දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. ගල්නෑව, බකමූණ, ඇඹිලිපිටිය, වැලිකන්ද, දෙහිඅත්තකණ්ඩිය, වැලිඔය සහ ගිරාදුරුකෝට්ටේ යන ක්‍රීඩාංගණවලදී දැනට අපි මේ ක්‍රීඩා උළෙල පවත්වලා තියෙනවා.” 

“මහවැලි ක්‍රීඩා උළෙල තුළින් බිහිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඉහළින්ම තබන්නට සමත් වුණ ක්‍රීඩිකාව තමයි ශ්‍රියානි කුලවංශ කියන්නේ. ඇය මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්වෙන් තුන්පාරක්ම (1992, 1996 සහ 2000 වසර වලදී) ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළා.  මහවැලි ‘එච්’ කළාපයේ ක්‍රීඩිකාවක් විධියට තමයි කුලවංශ ක්‍රීඩාවට අවතීර්ණ වුණේ. කඩුලු පැන දිවීමට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර 100×4 සහාය දිවීමේ ඉසව්වෙනුත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කරගන්න ඇය සමත් වුණා.”  

“කුලවංශට අමතරව මහවැලි ක්‍රීඩා උළෙලෙන් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ඔලිම්පික් තරගාවලියකට සහභාගි වූ එකම ක්‍රීඩකයා විධියට අපිට වික්ටෝරියා කළාපයේ සුමේධ රණසිංහව හඳුන්වන්න පුළුවන්. ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් 2016 වසරේ තිබුණ රියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණා.” 
“මහවැලි ‘බී’ කළාපයේ යගුලිය විසිකිරීමේ ක්‍රීඩිකා සොනාලි වීරසේකර, ‘සී’ කළාපයේ දැල් පන්දු ක්‍රීඩිකා ලලනි ප්‍රියංගිකා, කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වන අශේන් දිල්ෂාන්, ටී. බී. සඳරේණු, එස්. ජේ. අත්තනායක, වලව කළාපයේ කබඩි ක්‍රීඩිකා ඉනෝකා වීරසිංහ, මීටර් 400 සහ 800 දිවීමේ ක්‍රීඩිකා ගයන්තිකා තුෂාරි, වික්ටෝරියා කළාපයේ කෝ කෝ ක්‍රීඩක ඩී. කේ. ඉන්දික, ශ්‍රියන්ත ගුණවර්ධන සහ ‘එච්’ කළාපයේ පාපැදි ක්‍රීඩිකා යූ. ඩී. ශ්‍රියාලතා වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවොත් ආසියාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගත්තා.” 

ප්‍රශ්නය - මෙවර මහවැලි ක්‍රීඩා උළෙලට සමාගාමීව මහවැලි ක්‍රීඩා ගිනිසිළුව රැගෙන යෑමේ ප්‍රදර්ශන රථ පෙරහැරක් සංවිධානය කරල තියෙනවා. ඒ ගැන සඳහන් කෙළොත්? 

පිළිතුර - මේ වසරේ අපි මහවැලි ක්‍රීඩා උළෙලට අලුතින් එකතු කරලා තියෙන අංගයක් තමයි මේ රථ පෙරහැර. මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව කොළඹ ඉඳන් මහවැලි කළාප 10 හරහා මෙවර තරගාවලිය පැවැත්වෙන ඇඹිලිපිටිය ක්‍රීඩාංගණය දක්වා රැගෙන යෑම තමයි මේකෙදි වෙන්නේ. මේ මාසෙ 6 වැනිදා (අද) කොළඹ නිදහස් චතුරස්‍රය ගාවින් ආරම්භවෙන මේ පෙරහැර දින 10 ක් ඇතුළත මහවැලි කළාප 10 ම පහුකරලා 15 වැනිදා ඇඹිලිපිටිය ක්‍රීඩාංගණයෙන් තමයි අවසන් වෙන්නේ. 

ගිනිසිළුව රැගත් ප්‍රදර්ශන රථ පෙරහැර ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට පැමිණීමත් සමග තමයි මෙවර ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වෙන්නේ. වලව කළාපයේ කෙටි දුර දිවීමේ ක්‍රීඩක සුරාජ් දිනූෂ සහ දුර පැනීමේ ක්‍රීඩිකා විදූෂා තත්සරණි තමයි ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා පහන දැල්වීම සඳහා තොරාගෙන තියෙන්නේ. මෙවර ක්‍රීඩා ප්‍රතිඥාව කියවීමේ අවස්ථාවත් අපි වලව කළාපයේම ක්‍රීඩකයෙක් වන සමිත් ලක්මාල්ට ලබාදීලා තියෙනවා. 

ප්‍රශ්නය - මහවැලි අධිකාරියට යටත්ව කළාප 10 ක්ම තියෙද්දී ගිනිසිළුව රැගෙන යෑමේ මේ ප්‍රදර්ශන රථ පෙරහැර කොළඹින් ආරම්භ කිරීමට හේතුව කුමක්ද? 

පිළිතුර - මහවැලි ජනතාවගේ මහන්සියෙන් වැඩිපුරම ප්‍රතිලාබ ලබන්නේ කොළඹ ජනතාව. මහවැලි ජනතාවගේ ගොවි ගේ දොර ගම් බිම් යට කරලා තමා ජලාශ හදන්නේ. ඒවායින් තමා ජල විදුලිය දෙන්නේ. අපි කන හාල්, එළවළු පවා කොළඹට එන්නේ ඒ පළාත් වලින්. උදාහරණයක් විධියට ගත්තොත් විදුලි ඒකකයක් මේ ගානට පරිභෝජනය කරන්න කොළඹ අයට හම්බෙන්නේ මහවැලි කලාපවල ජීවත්වන අයගේ මහන්සිය සහ කැපකිරීම නිසා.  
මේ හේතු කාරණා නිසා තමයි අපි මේ රථ පෙරහැර කොළඹින් ගමන් ආරම්භ කළ යුතුයි කියලා තීරණය කළේ. කොළඹ, ගම්පහ කියන්නේ වැඩිම ජනග්‍රහණයක් ඉන්න දිස්ත්‍රික්ක දෙකක්. ඒ නිසා මේ රථ පෙරහැර කොළඹින් ආරම්භ කිරීම මහවැලි ජනතාවට හිමිවිය යුතු ගෞරවය ලබා දීමට හොඳ අවස්ථාවක් කියලා අපි හිතනවා. 

ප්‍රශ්නය - සාමාන්‍යයෙන් මහවැලි ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ලැබෙන්න පදක්කම් සහ සහතිකපත් පමණයි. මේ වසරෙදි ඊට අමතර යමක් එක් කිරීමට කටයුතු කරන්නේ නැද්ද? 

පිළිතුර - ඔව්, කළින් තිබුණ තරගාවලි 29 දීම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අපි ලබාදුන්නේ පදක්කම් සහ සහතිකපත් විතරයි. ඒත් මේ වසරෙදි අපි ඒ අයට ආර්ථික ප්‍රතිලාභ ගොඩක් ලබා දෙනෙවා. ඒ යටතේ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගන්නා කළාපයට අපි සියලුම පහසුකම් සහිත ව්‍යායාම මධ්‍යස්ථානයක් හදලා දෙනවා. ඒ මගින් ජයග්‍රාහී කළාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුලුවන් වසර පුරා ව්‍යායාම මධ්‍යස්ථානය පාවිච්චි කරලා ඒ අයගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කරගන්න. 

ඒ වගේම තමයි ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට අපි ඔවුන් නියෝජනය කරන කළාපවල ඉඩම් දෙකක් දෙනවා. එම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ඉගෙනුම ලබන හෝ ලැබූ පාසලටත් ක්‍රීඩා උපකරණ ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඔවුන් දෙදෙනාට අමතරව අපි තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙක් තෝරාගෙන ඔවුන්ට වසර පුරා ශිෂ්‍යත්වයක් දෙනවා. ක්‍රීඩා උපකරන, ක්‍රීඩා ඇදුම්, ශක්ති ජනක ආහාර වැනි දේ ගන්න ඒක වසර පුරා ඔවුන්ට මාසික දීමනාවක් දෙනවා. 

ඊට අමතරව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 ක් තෝරාගෙන ඒ අයව එයාල කැමති වෘත්තිය පුහුණුවකට  යොදවනවා. ඒ පුහුණුවට යන වියදම අපි ඔවුන්ට දීමනාවක් දෙනවා. ඒ වගේම මෙවර තරගාවලියේදි දක්ෂතා දක්වලා ඉදිරියෙදි විදෙස් තරගාවලිවලට යෑමට සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා අවශය වියදම් දැරීම සඳහා අනුග්‍රාහකයන් හොයලා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙවර ක්‍රීඩා උළෙලෙදි වාර්තා බිඳහෙළන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්පූර්ණ ක්‍රීඩා ඇදුම් කට්ටලයක් ලබාදීමටද අපි කටයුතු කරනවා.  

ප්‍රශ්නය - මහවැලි ක්‍රීඩා උළෙලේදී දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහො දෙනෙකුගේ ගමන ක්‍රීඩා උළෙල අවසන් වීමත් සමග ඇණහිටිනවා. එසේ වීම වලක්වන්න ගන්න පියවර මොනවාද? 

පිළිතුර - මෙවර ක්‍රීඩා උළෙලෙදි ජාතික පරිසාධන මට්ටමට ලඟාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹට ගෙනල්ලා සංචිතගත කරලා විදෙස් පුහුණුකරුවන් යටතේ පුහුණු සැසිවලට සහභාගි කරවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඔවුන්ව ජාතික මට්ටමේ තරගාවලිවලට යොමුකරලා ඒවායින් ජයග්‍රහණ අත්කර ගැනීමට අවස්ථාව ඔවුන්ට උදා කරලා දෙනවා. 

ප්‍රශ්නය - මහවැලි ක්‍රීඩා උළෙලෙන් බිහිවන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පසු කළෙක ආරක්ෂක අංශය හෝ විවිධ පෞද්ගලික ආයතන නියෝජනය කරමින් ජාතික මට්ටමේ තරග සඳහා සහභාගි වීම සුලබව දක්නට ලැබෙනවා. ඔවුන් මහවැලිය යටතේම රඳවාගැනීමට බලාපොරොත්තුවක් නැද්ද? 

පිළිතුර - මහවැලි ක්‍රීඩා සමාජයක් පිහිටුවන්න ඕනේ කියලා මම අපේ ඉහළ පරිපාලනයට යෝජනා කරලා තියෙනවා. ඒ අනුව ක්‍රීඩා සමාජයක් පිහිටුවලා මහවැලි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව ඒක යටතේ ජාල ගත කරලා ඔවුන්ව මහවැලි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස හඳුනාගැනීමක් ලබා දෙන්න අපි ඉදිරියෙදි කටයුතු කරනවා. 

අනික ආරක්ෂක අංශය හෝ පෞද්ගලික ආයතන වේවා ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව ඔවුන්ගේ ආයතනවල සේවයට බඳවාගෙන, ඔවුන්ට වැටුපක් ගෙවලා තමයි ඔවුන්ට කියන්නේ ඒ ආයතන නියෝජනය කරන ජාතික තරගවලට සහභාගි වෙන්න කියලා. නමුත් අපිට එහෙම කරන්න විධියක් නෑ. මොකද ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අපේ ජනපදිකයෝ මිසක් සේවකයෝ නෙමෙයි. ඒ නිසා අපිට වෙනත් ආයතන වල වගේ ඔවුන්ට වැටුපක් ලබා දීල මහවැලිය වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියලා කියන්න බැහැ. 

ප්‍රශ්නය - මහවැලි කළාපවල දරු දැරියන් කුඩා කළ සිටම හැදෙන්නේ ඇළ දොළ, වැව් අමුණු ගංගා ආශ්‍රිතව. ඒ අයට පිහිනන්න අලුතින් කියලා දෙන්න අවශ්‍ය නැහැ. එත් තවමත් මහවැලි ක්‍රීඩා උළෙලට පිහිනුම් ක්‍රීඩාව ඇතුළත් කිරීමට පිරවර අරන් නැත්තේ ඇයි? 

පිළිතුර - ක්‍රීඩාවක් විදියට පීනන එකයි, ඇළේ දොළේ පීනන එකයි දෙකක්. ඊට අමතරව මහවැලි කළාප වලට අපිට දැනට පිහිනුම් තටාක නැහැ. අපි මේ ක්‍රීඩා උළෙලට අලුතින් ක්‍රීඩාවක් එකතු කරනවා නම් හැම කළාපයකටම සාධාරණ පසුබිමක් මත තමා ඒක කරන්න ඕනෙ. ප්‍රවීන පිහිනුම් පුහුණුකරුවකු වන ජූලියන් බෝලිං මහතා පවා ඉදිරිපත් වුණා අපිට කිසිදු අය කිරීමකින් තොරව අපිට ඔහුගේ සේවය ලබාදෙන්න. 

නමත් පිහිනුම් ක්‍රීඩාව මේ තරගාවලියට ඇතුළත් කරනවා නම් අඩුම තරමේ කළාප දෙක තුනකටවත් පිහිනු තටාක තිබිය යුතුයි කියා අපි විශ්වාස කරනවා. දැනට අපි දෙහිඅත්තකණ්ඩි ක්‍රීඩාංගණයට ආශ්‍රිතව පිහිනුම් තටාකයන් ඉදිකරමින් පවතිනවා. එකේ වැඩ කටයුතු නිමා වීනේ පසු පිහිනුම් ක්‍රීඩාව මහවැලි ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපි නැවතත් සාකච්ඡා කරලා බලනවා. 

 


අදහස් (0)

මහවැලි ක්‍රීඩා සමාජයක් පිහිටුවීමේ යෝජනාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.