Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර - සී. ආර්. තීරණාත්මක තරගයක

මහනුවර - සී. ආර්. තීරණාත්මක තරගයක

යොහාන් භාසුර - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය වන විට අපරාජිතව සිටින මහනුවර පිල සහ සී. ආර්. පිල අතර තරගය ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (04) පස්වරුවේ පැවැත්වේ. මෙම කණ්ඩායම් දෙකම මේ දක්වා අපරාජිතව සිටීම නිසා තමන්ගෙ අපරාජිත වාර්තාව රැකගැනීමට කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වී තිබේ.  

මහනුවර පිල මේ වන විට සහභාගි වූ තරග හතරම ජය ලබා ප්‍රසාද ලකුණු 23 ක් සමගින් පෙරමුණේ රැදී සිටියි.

ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන ඔමල්ක ගුණරත්න නායකත්වය දෙන සී. ආර්. පිල ද සහභාගි වූ තරග හතරම ජය ලබා ප්‍රසාද ලකුණු 21 ක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙයි.

මහනුවර පිලේ හිටපු නායක සහ ප්‍රවර්ථක තිළිණ විජේසිංහ තහනම් උත්තේජක ගැනීමේ  චෝදනා හේතුවෙන් තාවකාලික තහනමකට ලක්ව සිටීම මහනුවරට දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. මහනුවර පිලේ ප්‍රකාශකයකු පැවසුවේ තිළිණ විජේසිංහට පරීක්‍ෂණයක් සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයෙන් මේ දක්වා කැඳවීමක් කර නොමැති බවයි.

“අපේ කණ්ඩායම ඉතාමත් ශක්තිමත් තත්ත්වයක ඉන්නවා. හෙට අවසන් පුහුණු සැසිය පැවැත්වෙනවා. ඉන් පසුව සී. ආර්. පිලට එරෙහිව තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම නම් කරනවා” යැයි එම ප්‍රකාශකයා පැවසීය.

සයුරු ඇන්තනී, ජේසන් දිසානායක, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නයිජල් රත්වත්ත, තරින්ද රත්වත්ත, ලවන්ග පෙරේරා සහ දයාන් දෂාන් ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා වයස 20 න් පහළ පිලේ ප්‍රබල ක්‍රීඩකයන් එකතු වීමෙන් මහනුවර පිල වඩාත් ප්‍රබල වී තිබේ.      

මහනුවර පිලේ ප්‍රබල ක්‍රීඩකයන් වන අනුරුද්ධ විල්ලර, ධනුෂ්ක රංජන් සහ  රිචඞ් ධර්මපාල යන ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්ව සිටීම නිසා මේ දක්වා එකම තරගයකට හෝ සහභාගි නැත.

එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසුවේ එම ක්‍රීඩකයන් තිදෙනා මෙම තරගයට ද සහභාගි නොවන බවයි.   

ඔමල්ක ගුණරත්න, කෙවින් ඩික්සන්, රීසා රෆයිඩීන්, රීසා මුබාරක්, සඳුන් හේරත් සහ රාහුල් ද සිල්වා ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසකින් සමන්විත සී. ආර්. පිල ද මහනුවරට හොඳ අභියෝගයක් යොමු කිරීමට සූදානමින් සිටියි.

සී. ආර්. පිලේ ප්‍රකාශකයකු පැවසුවේ සාමාන්‍ය ලෙස ක්‍රීඩා කරමින් හොඳ තරගයක් ලබාදීම තම කණ්ඩායමේ සැලසුම බවයි.

“අපේ ප්‍රබලතම ක්‍රීඩකයන්ගෙන් රාහුල් ද සිල්වා පමණක් ආබාධයකට ලක්ව සිටිනවා. සෙසු සියලුම ක්‍රීඩකයන් හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වෙනවා” යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටින හැව්ලොක්ස් පිල යුද හමුදා පිලට එරෙහිව වැලිසරදී හෙට (04) තරග කරයි.  

පස්වැනි සතියේ තරග කාලසටහන
අද (03) පැවැත්වෙන තරග
● නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර වැලිසරදී
● පොලිස් පිල සහ සී. එච්. පිල අතර බම්බලපිටියේදී
හෙට (04) පැවැත්වෙන තරග
● සී. ආර්. පිල සහ මහනුවර පිල අතර ලොන්ඩන් පෙදෙසේදී
● යුද හමුදා පිල සහ හැව්ලොක් පිල අතර වැලිසරදී


අදහස් (0)

මහනුවර - සී. ආර්. තීරණාත්මක තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.