Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මලල ක්‍රීඩා සභාපතිගෙන් දෝස්මුරයක්

මලල ක්‍රීඩා සභාපතිගෙන් දෝස්මුරයක්

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකාවේ පදක්කම් අපේක්‍ෂා ඉතා අවම මට්ටමක පැවැතියත් රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන් ලබාගෙන ‘ගෝල්ඞ් කෝස්ට්’ ගිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දස්කම් අතින් ප්‍රගතියක් අත්කරගෙන නැතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.


ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නුවරදී නිමාවට පත් වූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනකුගෙන් සමන්විත  කණ්ඩායමක් සහභාගි කළ අතර එය ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උළෙලට එක් ක්‍රීඩා ඉසව්වකින් සහභාගි කළ වැඩිම කණ්ඩායම විය. එහෙත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කමක් හෝ දිනාගත නොහැකි විය.


ක්‍රීඩා ඉසව් 15 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80 දෙනෙක් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙලට සහභාගි වූහ. එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා දක්‍ෂතා අතර තරමක් හෝ කැපී පෙනුණේ මීටර් 4 × 100 (පිරිමි) ඉසව්වේ අවසන් තරගය තත්පර 39.08 කට නිමා කළ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම පමණි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් තවදුරටත් පසුබෑම වඩාත් අවධානයට යොමු වන්නේ මෙම වසරට තවත් ප්‍රධානතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි කීපයකටම ශ්‍රී ලංකාව සහභාගිවීමට සූදානම්ව සිටින බැවිනි.


ඒ අතර ලබන අගෝස්තු 18 වැනිදා සිට 02 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවීමට ද ශ්‍රී ලංකාව සූදානමින් පසුවේ.


‘ගෝල්ඞ් කෝස්ට්’ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ලබාගත් ප්‍රතිඵල හා ‘ලංකාදීප’ය කළ විමසුමකදී මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා මෙසේ ද පැවසීය.


“පදක්කම් දිනා ගැනීම කෙරෙහි ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තිබ්බෙ ඉතා අවම මට්ටමක. නමුත් අපට කනගාටුව අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අනුග්‍රහය මත උපරිම පහසුකම් දීලත් ඒ බහුතරයකට එතෙක් තියාගෙන හිටපු දස්කම් අතරටවත් එන්න නොහැකිවීම ගැනයි”


“ආසියානු ක්‍රීඩා උළෙල වැනි ඉතා ප්‍රබල ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වෙන්න සූදානමින් ඉන්න අපට ඒ ගැන ඇත්තේ ඉතාම කණගාටුවක්. විශේෂයෙන්ම මලල ක්‍රීඩාවට අලුත් අනුග්‍රාහකයන් සොයමින් සිටින අපට එය විශාල ප්‍රශ්නයක් වෙනවා.” යයිද මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ගෝල්ඞ් කෝස්ට් තරග සංචාරයට සහභාගිවීමේදී ක්‍රීඩා උළෙලට සති කීපයකට පෙරදීම ඔවුන්ට එහි ගොස් නේවාසික පෙර පුහුණුවීම් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව පසුගිය මාර්තු 14 වැනිදා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් ‘ගෝල්ඞ් කෝස්ට්’ නුවර බලා පිටත්ව ගියේය.


මීටර් 200 (කාන්තා) ඉසව්වට තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක ඊටත් පෙරදීම ඕස්ටේ්‍රලියාවට ගොස් සිටියේ ඇගේ පාදයක පැවැති ආබාධ තත්ත්වයකට  ප්‍රතිකාර ගැනීම සඳහාත්ය.


කෙසේවුවත් ඒ හේතුවෙන් තේරීම් තරගවලට ද සහභාගි නොවෙමින් මෙවර ගෝල්ඞ් කෝස්ට් තරග සංචාරයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට එක්වූ රුමේෂිකා රත්නායක මීටර් 200 (කාන්තා) ඉසව්වේ මූලික වටය තත්පර 24.43 කට නිමාකර එහි අවසන් පූර්ව වටයට පිවිසියත් එහිදී ඇය තත්පර 23.60 කට තරගය නිමා කිරීම අවසන් තරගයට ප්‍රමාණවත් නොවීය.


ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර විජේසේකර අවසන් තරගයේ උත්සාහයන් තුනේදීම ආසාර්ථක විය. ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩක ජානක විමලසිරි අවසන් තරගයේදී මීටර 7.89 කට හත්වැනි ස්ථානය ලැබීය.


මීටර 70.15ක පමණක් වන විසි කිරීමේ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සම්පත් රණසිංහ එහි  අවසන් තරගයේ තරගකරුවන් 12 දෙනා අතරින් හිමිකර ගත්තේද අවසන් (12 වැනි) ස්ථානයයි. නමුත් ඔහු ගෝල්ට් කොස්ට් හිදී තරග වදින විට එතෙක් ඔහුගේ හොඳම පෞද්ගලික දක්‍ෂතාවය මිටර් 81.22ක් ලෙස වාර්තා වී තිබුණි. මීටර 800 (කාන්තා) ඉසව්වට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගි වූහ.

 

ඔවුන් අතරෙන් ගයන්තිකා අබේරත්න මූලික වටයේදී විනාඩි 2 තත්ත්පර 04.72කටද නිමාලි ලියනආරච්චි විනාඩි 2 තත්ත්පර 08.52 කටද මේ තරග වටයේ හොඳම දක්‍ෂතාවය පල කරමින් නිමා කළත් ඇයටත් අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වූවාය.


ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩිකා හිරුණි කේසරා විජේසේකර එහිදී වඩාත් අවධානය දිනාගත්තේ පැය 2 විනාඩි 49 තත්ත්පර 38කට මැරතන් (කාන්තා) ඉසව්වේ 11 වැනි ස්ථානයට පැමිණීමෙනි.


 ඇය මෙවර ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත්තේ පැය 2 විනාඩි 36 තත්ත්පර 35ක ඇගේ එතෙක් හොඳම දක්‍ෂතාවය වාර්තා කරමිනි.


1998 දී පැවති ක්‍රීඩා උළෙලේදී ශ්‍රියානි කුලවංශ මීටර් 100 - කඩුලු ඉසව්වෙන් රිදී පදක්කමක්ද එහිදීම සුගත් තිලකරත්න මීටර 400 - (පිරිමි) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව මෙතෙක් මලල ක්‍රීඩාවෙන් කිසිදු පදක්කමක් දිනා නැත.  


අදහස් (2)

මලල ක්‍රීඩා සභාපතිගෙන් දෝස්මුරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.