Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මංජුල සමුගැනීමට සැරසෙයි

මංජුල සමුගැනීමට සැරසෙයි

ශනුක අරවින්ද - 2017 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ශූරතා ජේ්‍යෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල අද (5දා) ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ භුබනේෂ්වර්හි හි ප්‍රධානතම ක්‍රීඩාංගනය වන කාලිංග ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් අද ආරම්භ වේ. ආසියානු කලාපයේ  රටවල් 46 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර අද දිනය සමාරම්භක උළෙලට පමණක් සීමාවේ.තරග ඉසව් 42 කින් සමන්විත තරගාවලිය අනිද්දා (6 දා) සිට 9 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

ලබන අගෝස්තු 4 සිට 13 දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ආසයානු කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවන අවසන් අවස්ථාව මෙය වන හෙයින් 22 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හොඳ තරගකාරිත්වයක් ගනු ඇතැයි බලාපොරොත්තු  තැබිය හැක. ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් සපුරාලීමේ අවසන් දිනය ලබන 23 දායින් අවසන් වේ.

2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මලල ක්‍රීඩකයෙකු වන මංජුල කුමාර විජේසේකරගේ නායකත්වයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 කගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ( ක්‍රීඩකයින් 15 යි. ක්‍රීඩිකාවන් 8 යි) පසුගිය ජුනි 25 දා තරගාවලිය පැවැත්වෙන භුබනේෂ්වර්හි නගරයට පැමිණි සිය පුහුණුවීම් වල නිරත විය.

මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව අරමුණු දෙකක් ඉටු කර ගැනීමට බලාපොරොත්තුවේ. වැඩි පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීම පළමු වැන්න වන අතර දෙවැන්න ලන්ඩන් ලෝක මලල ක්‍රීඩා තරගාවලියට වැඩි සහභාගිත්වයක්  සඳහා යෝජිත පාරිසාධන මට්ටම ඉක්වාලීමයි.

මේ වන විට අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ (මැරතන්) සහ හිරුණිකා විජේරත්න (මැරතන්) ලෝක  ශූරතාවය සුදුසුකම් ලබා ඇතත් ද්විත්ව පුරවැසිභාවය හිමි හිරුණිකාගේ සහභාගිත්වය  ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මෙතෙක් අනුමත කර නැත.

මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගාවලයේදී ශ්‍රී ලංකාව පදක්කම් 4ක් හෝ 5ක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

මීටර් 800 (පිරිමි හා කාන්තා) උස පැනීම (පිරිමි) හෙල්ල විසිකිරීම (පිරිමි) තුන් පිම්ම පැනීම (කාන්තා) මීටර් 4X100 සහ මීටර් 4X400 (පිරිමි) යන ඉසව් වලින් ශ්‍රී ලංකාව පදක්කම් බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායක මංජුල කුමාර විජේසේකරගේ අවසන් ආසියානු ශූරතා තරගාවලිය මෙය විය හැක. ඊට හේතුව ලබන 2018 වසරේ පැවැත්වීමට නියමිත ජකර්තතා ආසියානු ක්‍රීඩා උළෙලින් පසු මංජුල ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බැවිනි.

33 වන වියෙහි පසුවන මංජුල කුමාර විජේසේකර මේ වන විට  ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි 20 කට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඇති අතර ඒ අතරින් 2005 ඉන්චියෝන් ආසියානු ශූරතාවලිය සහ 2009 ගුවැන්ෂූහිදී පැවැත්වූ ආසියානු ශූරතාවලියේදී උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටී. ඊට අමතරව දකුණු ආසියානු  ක්‍රීඩා උළෙල තුනකදී (2004 ඉස්ලාමාබාද්, 2010 කොළඹ, සහ 2016 ගුවහටි)  හෙතෙම රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම

පිරිමි (15)
හිමාෂ ඒෂාන් (මීටර් 100 සහ මීටර් 4X100)
විනෝද් සුරංජය සිල්වා (මීටර් 100, 200 සහ මීටර් 4 X 100)
අජිත් පද්ම කුමාර (මීටර් 400 සහ මීටර් 4 X 400)
එම්.එම්.දිලිප් රුවන් (මීටර් 400 සහ මීටර් 4 X 400)
එම්.එම්.ඉඳුනිල් හේරත් (මීටර් 800)
මංජුල කුමාර විජේසේකර (උස පැනීම)
දනුක ලියනපතිරණ (මීටර් 800 සහ දුර පැනීම)
මංජුල කුමාර විජේසේකර (උස පැනීම)
සංජය ජයසිංහ (තුන් පිම්ම)

වරුණ ලක්ෂාන් දයාරත්න (හෙල්ල)
මොහොමඞ් අන්රොජ් (මීටර් 4 X 400)
ෂෙහාන් අඹේපිටිය (මීටර් 4 X 400)
මොහොමඞ් සිෆ්රන්  (මීටර් 4 X 400)
ආර්. පී.ඒ.ඩී.ප්‍රදීප් කුමාර (මීටර් 4 X 400)
පී.එම්.ඩබ්.ජී.ධනංජය (මීටර් 4 X 400)
කලිංග කුමාරගේ (මීටර් 4 X 400)

කාන්තා (8)
රුමේෂිකා රත්නායක (මීටර් 100 සහ මීටර් 400)
පී.ජී.එන්. මධුෂිකා (මීටර් 400)
ගයන්තිකා අබේරත්න (මීටර් 800)
නිමාලි ලියනාරච්චි (මීටර් 800)
නිලානි රත්නායක (මීටර් 3000 බාධක)
විදූෂා ලක්ෂාණි  (තුම් පිම්ම)
දිල්හානි ලේකම්ගේ (හෙල්ල)
දුලංජලී රණසිංහ (උස පැනීම)

 


අදහස් (0)

මංජුල සමුගැනීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.