Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෙල්ජියමේ පාපන්දු ඉතිහාසය අලුතින් ලියයි

බෙල්ජියමේ පාපන්දු ඉතිහාසය අලුතින් ලියයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා එංගලන්තයට එරෙහිව පැවති තරගයෙන් ගෝල 2-0 ක ජයක් ලැබූ බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක එතෙක් මෙතෙක් ලැබූ ඉහළම දක්ෂතාවය පෙන්නුම් කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. මෙම තරගය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේදී අද(14) නිමාවට පත්විය.

තරගයේ 82 වැනි මිනිත්තුවේදී බෙල්ජියම් ක්‍රීඩක ඊඞ්න් හසාඞ් ලබාගත් ගෝලයත් සමගින් බෙල්ජියමේ ජය නියත වශයෙන්ම තහවුරු විය. මෙම ජයග්‍රහණයත් සමගින් ලෝක කුසලාන තරගාවලි 13 කට ක්‍රීඩාකර ඇති බෙල්ජියම මෙතෙක් ලැබූ ඉහළම දක්ෂතාව මෙලෙස පෙන්වීය. 1986  වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඉහළම දක්ෂතාවය පෙන්නුම් කරමින් සිව්වන ස්ථානය දිනාසිටි බෙල්ජියමට ඉන්පසුව සහභාගි වූ කිසිදු තරගාවලියකදී ඉහළම දක්ෂතා අතරට පැමිණීමට හැකියාවක් නොලැබුණි. එහෙත් ඒ සියල්ල අභිබවමින් මෙතෙක් සහභාගි වූ තරගාවලි අතරින් ඉහළම දක්ෂතාවය පෙන්නුම් කරමින් තෙවැනි ස්ථානයට හිමිකම් කීය.

මෙවර තරගාවලියේ  අවසන් පූර්ව වටයේදී ප්‍රබල ප්‍රංශය හමුවේ ගෝල 1-0 කින් බෙල්ජියම පරාජයට පත්වීම නිසා අවසන් මහ තරගයේ සියලු බලාපොරොත්තු අතහැර දැමීමට බෙල්ජියමට සිදුවිය. කාගේත් අවධානය යොමු වූ එංගලන්තයද ක්‍රොඒෂියාව හමුවේ ගෝල 2-1 කින් අනපේක්ෂිත පරාජයකට මුහුණ දීම නිසා නැවතත් බෙල්ජියම සමගින් තෙවැනි ස්ථානය සඳහා සටන් වැදුණි. පළමු වටයේදී බෙල්ජියම හමුවේ ගෝල 1-0 කින් එංගලන්තය පරාජයට පත්වීම නිසා අද තරගය ආරම්භ වීමට මත්තෙන් එංගලන්තය තරග බිමට පිවිසියේ දෙගිඩියාවකිනි.  

තරගය ආරම්භ වී මිනිත්තු 4 කට පසු බෙල්ජියම් ක්‍රීඩක තෝමස් මෙයුනියර් ලබාගත් ගෝලයත් සමගින් බෙල්ජියමට ජයග්‍රහණයේ පාර කපා දුන්නේය. ඒ අනුව තරගයේ පළමු භාගය අවසානයේ ගෝල 1-0 කින් බෙල්ජියම පෙරමුණ ගත්තේය.

එංගලන්ත ක්‍රීඩකයෝ දෙවැනි භාගයෙදී බෙල්ජියමට යම් පීඩනයක් ගෙන ආවද, බෙල්ජියමේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් එයින් කිසිසේත් ඉඩක් හිමි නොවීය. එංගලන්තයේ හැරී කේන් පසුගිය තරග දෙකේදී එතරම් දක්ෂතා අතරට නොපැමිණිමම එංගලන්තයේ පරාජයට ප්‍රධාන හේතුවක් බවට පත්විය.

තරගයේ 69 වැනි මිනිත්තුවේදී එංගලන්ත ක්‍රීඩක එරික් ඩයර් දැල වෙත යොමු කළ පන්දුව බෙල්ජියමේ දැල රකින්නාගෙන් ගිලිහී ගියද, විදුලි වේගයෙන්  පැමිණි බෙල්ජියම් ක්‍රීඩක ටොබී එල්ඩවියර්ල්ඞ් දැල රකින්නාගේ කාර්යය ඉටුකරමින් පන්දුව ගෝල සීමාවෙන් පිටතට යොමු කිරීම නිසා එංගලන්තයේ අවසන් බලාපොරොත්තුවද ගිලිහුණි.

මෙවර තරගාවලියේ ‘ජී’ කාණ්ඩය යටතේ තරගවැදි බෙල්ජියම පළමු වටයේදී සහභාගී වූ තරග ත්‍රිත්වයම ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. ජපානයට එරෙහිව පැවති තරගය ගෝල 3-2කින් ජයගත් බෙල්ජියම අවසන් 16 දෙනාගේ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ප්‍රබල බ්‍රසීලයේද ගමන නවතාලමින් ගෝල 2-1 ක ජයක් ලැබූ බෙල්ජියම අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගත්තේය. එහෙත් අවසන් පූර්ව වටයේදී ප්‍රංශය හමුවේ ගෝල 1-0 කින් පරාජයට පත්වීම නිසා නැවතත් එංගලන්තය සමගින් තෙවන ස්ථානය සඳහා තරග වැදීමට බෙල්ජියමට සිදුවිය.

මෙවර තරගාවලියේදී කණ්ඩායම් 32 ක් අතරින් ප්‍රබලයින් සියල්ලෝම තරගාවලියට වේලාසනින්ම තිත තබද්දී, බෙල්ජියම පැමිණි ගමන ඉතා සාර්ථක බව ඔවුන් ලොවටම අද ඔප්පු කර පෙන්වීය.

 

 

- 024


අදහස් (0)

බෙල්ජියමේ පාපන්දු ඉතිහාසය අලුතින් ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.