Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට ලකුණු 62 ක ජයක්

බංග්ලාදේශයට ලකුණු 62 ක ජයක්

editorial - 2019 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද) 

ඕවර 47 කදී - ඇෆ්ඝනිස්තානය 200/10  

ඉනිමේ 41 වැනි ඕවරයේ සිට 47 ඕවරය දක්වා ඕවර 7 තුළ ලකුණු 44 ක් රැස්කිරීමට ඇෆ්ඝනිස්තාන පිතිකරුවෝ සමත් වූ අතර එහිදී කඩුලු 4 ක් දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 62 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර අර්ධ ශතකයක් ලබාගනිමින් කඩුලු 5 ක්ද දවාගත් සකීබ් අල් හසන් තරගයේ වීරයා බවට පත් විය.

සකීබ් අල් හසන් යැවූ 43 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් නජිබුල්ලා සද්රාන් ලකුණු 23 කට දැවී ගියේය. පන්දු 23 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

මුස්තෆිසුර් රෙහෙමාන් යැවූ 44 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි මෂ්රෆී මොටාසා අතට උඩ පන්දුවක් දෙමින් රෂීඞ් ඛාන් ලකුණු 2 කට දැවී ගියේය.

මුස්තෆිසුර් රෙහෙමාන් යැවූ 46 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් දවුලත් සද්රාන් ලකුණු නොළබා දැවී ගියේය.

මොහොමඞ් ශයිෆුඩීන් යැවූ 47 වැනි ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් මුජිබුර් රහමන් ලකුණු නොලබා දැවී ගියේය.

------------------------------------------------------------------------------------------------------------------------

ඇෆ්ඝනිස්තානය අසීරු තත්වයක

ඕවර 40 කදී - ඇෆ්ඝනිස්තානය 166/6
(ශමිවුල්ලා ශින්වරි නොදැවී 27, නජිබුල්ලා සද්රාන් නොදැවී 13)

ඉනිමේ 31 වැනි ඕවරයේ සිට 40 ඕවරය දක්වා ඕවර 10 තුළ ලකුණු 53 ක් රැස්කිරීමට ඇෆ්ඝනිස්තාන පිතිකරුවෝ සමත් වූ අතර එහිදී කඩුලු 2 ක් දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

සකීබ් අල් හසන් යැවූ 33 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රහමන් අතට උඩ පන්දුවක් දෙමින් අස්ගර් ඇෆ්ගන් ලකුණු 20 කට දැවී ගියේය. පන්දු 38 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට එක් හතරේ පහරක් ඇතුළත් විය.

මෙහෙදි හසන් යැවූ 36 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු 11 ක් ලබා සිටි ඉක්‍රම් අලී ඛිල් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ලිටන් දාස් සමත් විය.

------------------------------------------------------------------------------------------------------------------------

හෂ්මතුල්ලා - නබී දැවී යති

ඕවර 30 කදී - ඇෆ්ඝනිස්තානය 113/4
(අස්ගර් ඇෆ්ගන් නොදැවී 17, ශමිවුල්ලා ශින්වරි නොදැවී 03)

ඉනිමේ 21 වැනි ඕවරයේ සිට 30 ඕවරය දක්වා ඕවර 10 තුළ ලකුණු ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 36 ක් පමණි. එහිදී කඩුලු 2 ක් දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

මොසද්දික් යැවූ 21 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් හෂ්මතුල්ලා ශහිදි ලකුණු 11 කට දැවී ගියේය.

සකීබ් අල් හසන් යැවූ 29 වැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් මොහොමඞ් නබී ලකුණු නොලබාම දැවී ගියේය.

------------------------------------------------------------------------------------------------------------------------

 

රාමට් ෂා ලකුණු 24 කට දැවී යයි

ඕවර 20 කදී - ඇෆ්ඝනිස්තානය 77/1
(ගුලාබ්දීන් නයිබ් නොදැවී 34, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 10 )

ඉනිමේ 11 වැනි ඕවරයේ සිට 20 ඕවරය දක්වා ඕවර 10 තුළ ලකුණු ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුනු 29 ක් පමණි. එහිදී රාමට් ෂා දවාගැනීමට සකීබ් අල් හසන් සමත් විය.

සකීබ් යැවූ 11 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ටමීම් ඉක්බාල් අතට උඩ පන්දුවක් දෙමින් රාමට් ෂා ලකුණු 24 කට දැවී ගියේය. පන්දු 35 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් අතුළත් විය.

රාමට් ෂාගේ දැවී යෑමත් සමග ඔහු සහ නායක ගුලාබ්දීන් නයිබ් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ගොඩනගා තිබූ ලකුණු 49 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

------------------------------------------------------------------------------------------------------------------------

ඇෆ්ඝනිස්තානයෙන් සාර්ථක ආරම්භයක්

ඕවර 10 කදී - ඇෆ්ඝනිස්තානය 48/0
(ගුලාබ්දීන් නයිබ් නොදැවී 15, රාමට් ෂා නොදැවී 24)

මුල් ඕවර 10 තුළදී ලකුණු 48 ක් රැස්කිරීමට ඇෆ්ඝනිස්තාන පිතිකරුවෝ සමත් වූ අතර එහිදී එක් කඩුල්ලක් හෝ දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ අසමත් වූහ.

නායක ගුලාබ්දීන් නයිබ් (නොදැවී 15) සහ රාමට් ෂා (නොදැවී 24) එක්ව මුල් ඕවර 10 නිමාවන විට පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 48 කි.

බංග්ලාදේශ නායක මෂ්රෆී මොටාසා යැවූ 9 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක් රැස්කිරීමටද නයිබ් සහ ෂා සමත් වූහ.

------------------------------------------------------------------------------------------------------------------------

ඇෆ්ඝනිස්තානයට ලකුණු 263 ක ඉලක්කයක්

ඕවර 50 කදී - බංග්ලාදේශය 262/7  

ඉනිමේ අවසන් ඕවර 10 තුළ ලකුණු 69 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූ අතර එහිදී කඩුලු 3 ක් දවාගැනීමට ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

ගුලාබ්දීන් නයිබ් යැවූ 43 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි මොහොමඞ් නබී අතට උඩ පන්දුවක් දෙමින් මහමදුල්ලා රියාද් ලකුණු 27 කට දැවී ගියේය. මහමදුල්ලාගේ දැවී යෑමත් සමග ඔහු සහ මුෂ්ෆිකුර් රෙහෙමාන් එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ගොඩනගා තිබූ ලකුණු 56 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

දවුලත් සද්රාන් යැවූ 48 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි මොහොමඞ් නබී අතට උඩ පන්දුවක් දෙමින් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 83 කට දැවී ගියේය. පන්දුවේදී 87 කදී වාර්තා වූ රහීම්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

ගුලාබ්දීන් නයිබ් යැවූ 43 වැනි ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ දැවටීමෙන් මොසද්දික් හොසේන් ලකුණු 35 කට දැවී ගිය අතර පන්දු 24 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

------------------------------------------------------------------------------------------------------------------------

රහීම් අර්ධ ශතකය ලබාගනී

ඕවර 40 කදී - බංග්ලාදේශය 193/4  
(මුෂ්ෆිකුර් රෙහෙමාන් නොදැවී 62, මහමදුල්ලා රියාද් නොදැවී 17)

ඉනිමේ 31 වැනි ඕවරයේ සිට 40 ඕවරය දක්වා ඕවර 10 තුළ ලකුණු 50 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූ අතර එහිදී සෞම්‍ය සාකර්ගේ කඩුල්ල දවාගැනීමට මුජිබුර් රහමන් සමත් විය. එය මුජිබුර්ගේ තෙවැනි කඩුල්ලද විය.

මුජීබුර් යැවූ 32 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් සෞම්‍ය සාකර් ලකුණු 03 කට දැවී ගියේය. එහිදී තමා කඩුල්ල මුවා කළ බවට ප්‍රධාන විනිසුරු ලබාදුන් තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට සාකර් පියවර ගත්තේය. පුනුරූපන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රදාන විනිසුරු සමග එකඟ වූ තෙවැනි විනිසුරුද සාකර් දැවී ගිය ක්‍රීඩකයකු බව තහවුරු කළේය.

පන්දු 56 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් මුෂ්ෆිකුර් රෙහෙමාන් සිය 35 වැනි අර්ධ ශතකය ලබාගත්තේය. බංග්ලාදේශ ඉනිමේ 40 වැනි ඕවරය නිමාවන විට රහීම් සමහ මහමදුල්ලා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 42 කි.

------------------------------------------------------------------------------------------------------------------------

සකීබ් ලකුණු 51 කට දැවී යයි

ඕවර 30 කදී - බංග්ලාදේශය 143/3
(මුෂ්ෆිකුර් රෙහෙමාන් නොදැවී 33, සෞම්‍ය සාකර් නොදැවී 00)

ඉනිමේ 21 වැනි ඕවරයේ සිට 30 ඕවරය දක්වා ඕවර 10 තුළ ලකුණු 48 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූ අතර එහිදී අර්ධ ශතකයක් ලබා සිටි සකීබ් අල් හසන්ගේ කඩුල්ල දවාගැනීමට මුජිබුර් රහමන් සමත් විය.

මුජීබුර් රහමන් යැවූ 30 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් සකීබ් අල් හසන් ලකුණු 51 කට දැවී යයි. දැවී යෑමට පෙර පන්දු 66 කදී එක් හතරේ පහරක් සමග සකීබ් සිය 44 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගත්තේය.

සකීබ්ගේ දැවී යෑමත් සමග ඔහු සහ මුෂ්ෆිකුර් රෙහෙමාන් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ගොඩනගා තිබූ ලකුණු 61 ක සම්බන්ධතාවද නිමාවට පත් විය. දවුලත් සද්රාන් යැවූ 23 වැනි ඕවරයේදී හතරේ පහරක්ද සමගින් ලකුණු 10 ක් රැස්කිරීමටද සකීබ් සහ රහීම් සමත් වූහ.

------------------------------------------------------------------------------------------------------------------------

ටමීම්ගේ කඩුල්ල නබී බිඳදමයි

ඕවර 20 කදී - බංග්ලාදේශය 95/2
(සකීබ් අල් හසන් නොදැවී 31, මුෂ්ෆිකුර් රෙහෙමාන් නොදැවී 06)

ඉනිමේ 11 වැනි ඕවරයේ සිට 20 ඕවරය දක්වා ඕවර 10 තුළ ලකුණු 51 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූ අතර එහිදී ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ගේ කඩුල්ල දවාගැනීමට මොහොමඞ් නබී සමත් විය.

නබී යැවූ 17 වැනි ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් ටමීම් ඉක්බාල් ලකුණු 36 කට දැවී ගියේය. පන්දු 53 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. ටමීම්ගේ දැවී යෑමත් සමග ඔහු සහ සකීබ් අල් හසන් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ගොඩනගා තිබූ ලකුණු 59 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

රෂීඞ් ඛාන් යැවූ 18 වැනි ඕවරයේ පළමු පන්දුවේදී සකීබ් අල් හසන් කඩුල්ල මුවා කළ බවට ප්‍රධාන විනිසුරු සංඥා කළ අතර එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට සකීබ් පියවර ගත්තේය. පුනුරූපන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පන්දුව කඩුල්ලට ඉහළින් ඇදීයන බැවින් එය නොදැවී යෑමක් බවට තෙවැනි විනිසුරු තීරණය කළේය.

------------------------------------------------------------------------------------------------------------------------

ලිටන් දාස් ලකුණු 16 කට දැවී යයි

ඕවර 10 කදී - බංග්ලාදේශය 44/1
(ටමීම් ඉක්බාල් නොදැවී 15, සකීබ් අල් හසන් නොදැවී 10)

මුල් ඕවර 10 තුළදී ලකුණු 44 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූ අතර එහිදී ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන්ට රැස්කරගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

මුජිබුර් රහමන් යැවූ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි හස්රතුල්ලා ශහිදි අතට උඩ පන්දුවක් දෙමින් ආරම්භක පිතිකරු ලිටන් දාස් ලකුණු 16 කට දැවී ගියේය. පන්දු 17 කදී වාර්තා වූ දාස්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

------------------------------------------------------------------------------------------------------------------------

ඇෆ්ඝනිස්තානය පන්දු යැවීම තෝරාගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය ලෙස බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය අතර අද සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායක ගුලාබ්දීන් නයිබ් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. 

බංග්ලාදේශ කණ්ඩායම 
මෂ්රෆී මොටාසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, සකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, ලිටන් දාස්, මෙහෙදි හසන්, මොසද්දික් හොසේන්, මහමදුල්ලා රියාද්, මොහොමඞ් ශයිෆුඩීන් සහ මුස්තෆිසුර් රෙහෙමාන් 

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම 
ගුලාබ්දීන් නයිබ් (නායක), ශමිවුල්ලා ශින්වරි, රාමට් ෂා, හස්රතුල්ලා ශහිදි, අස්ගර් ඇෆ්ගන්, මොහොමඞ් නබි, නජිබුල්ලා සද්රාන්, ඉක්‍රම් අලී ඛිල්, රෂීඞ් ඛාන්, දවුලත් සද්රාන් සහ මුජිබුර් රහමන් 


අදහස් (0)

බංග්ලාදේශයට ලකුණු 62 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.