Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිසිය සිව්වැනි ජයත් ලබයි

පොලිසිය සිව්වැනි ජයත් ලබයි

යොහාන් භාසුර - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ රග්බි තරගාවලියේ හයවැනි සතියේදී රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති තරගයේදී පොලිස් පිල විසින් ලකුණු 36 - 15 කින් සත්කාරක ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ. මෙවර තරගාවලියේ පොලිස් පිල ලැබූ සිවුවැනි ජයග්‍රහණය මෙය වන අතර මෙම ජයත් සමඟින් පොලිස් පිල ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

පොලිස් පිල උත්සාහක දිනුම් පහක් සම්පූර්ණ කරමින් අතිරේක ප්‍රසාද ලකුණු ද හිමිකර ගත්තේය. පොලිස් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7 - 0 කින් පෙරමුණ ගැනීමට සමත්ව සිටියහ.

පොලිස් පිල මෙවර තරගාවලියේ පෙරළිකරුවන් කිරීමට පෙරමුණ ගත් ෆිජි ක්‍රීඩක ඉමෝෂි වෙනුවෝසා 10 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වෙමින් ගුවන් හමුදා ආරක්‍ෂක වළල්ල බිඳ දමමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. නලීන් කුමාර එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ පොලිසිය ලකුණු 7-0 ක සාර්ථක ආරම්භයක් ලබාගත්තේය.

ශෂික ප්‍රනාන්දු දෙවැනි අර්ධයේ සිවුවැනි මිනිත්තුවේදී ගුවන් හමුදා පිලට එකතු කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු තත්ත්වය 7-5 ක් බවට පත්වීමෙන් තරගය උණුසුම් විය. උදාර සූරියපෙරුම දෙවැනි අර්ධයේ 12 වැනි මිනිත්තුවේදී පොලිස් පිලට එකතු කළ උත්සාහක දිනුමත් සමඟ පොලිස් පිල ලකුණු සංඛ්‍යාව 12 ක් බවට පත්කරමින් අවදානම අවම කරගත්තේය.

සචිත් සිල්වා ඉන් මිනිත්තු පහකට පසුව පොලිස් පිලේ සිවුවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කළේය. නලීන් කුමාර එයට අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු පුවරුව 19 - 5 ක් බවට පත්විය. ඉන් පසුව පොලිස් පිලට මිනිත්තු පහක් තුළ ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු 10 ක් එකතු වීමෙන් ගුවන් හමුදා පිලෙන් තරගය ඈත්විය. එම කාලය තුළ සචිත් සිල්වා සිය දෙවැනි උත්සාහක දිනුම පොලිසියට එකතු කළේය.

නලීන් කුමාර ගෝල ප්‍රවර්ථනය සහ දඩුවම් පහර සාර්ථක කිරීමෙන් ලකුණු පුවරුව 29-5 ක් බවට පත්විය. ශෂික ප්‍රනාන්දු 32 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදාවට තවත් උත්සාහක දිනුමක් සම්පූර්ණ කිරීමෙන් ලකුණු තත්ත්වය 29 - 10 ක් විය.

විහඟ පෘතුවි සම්පූර්ණ තරගයේ 75 වැනි මිනිත්තුවේදී පොලිසියට එකතු කළ උත්සාහක දිනුම නලීන් ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 36 - 10 ක් බවට පත්වූ අතර ෆාරිස් අලී තරගය අවසන් වීමට ආසන්නව තිබියදී උත්සාහක දිනුමකින් ගුවන් හමුදාවට තවත් ලකුණු 5 ක් එකතු කළේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

පොලිසිය සිව්වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.