Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලාඩ් දකුණු අප්‍රිකාව අවසන් සටනට ගෙනඑයි

පොලාඩ් දකුණු අප්‍රිකාව අවසන් සටනට ගෙනඑයි

editorial - 2019 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හැන්ද්‍රි පොලාඩ් ලෝක රග්බි ප්‍රේක්‍ෂකයන් විශ්මයට පත්කරමින් සම්පූර්ණ කළ දඩුවම් පහර හතර නිසා ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව අද (27) සමත් විය.

දකුණු අප්‍රිකාව ලෝක කුසලා රග්බි ඉතිහාසයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වේ. දකුණු අප්‍රිකාව එම අවස්ථාව දෙකේදීම 1995 සහ 2007 වසරවලදී ශූරයන් බවට පත්විය.  

යොකෝහාමා ක්‍රීඩාංගණයට රැස්ව සිටි 60,000 කට අධික ප්‍රේක්‍ෂකයන්ට අමරණිය තරගයක් නැරඹීමේ අවස්ථාව ලබාදෙමින් අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 19-16 කින් වේල්සය පරාජය කරමින් සුපුරුදු පරිදි තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

දෙපිලම තරගය ආරම්භයේදී වේගයෙන් පන්දු මාරු කරමින් සාර්ථක වීමට උත්සහ කළ ද මිනිත්තු 20 ක් පමණ ගතවන විට එම සැළැස්ම වෙනස් කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගය පුරා දඬුවම් පහර 7ක් වාර්තා විය.

නවසීන්තය සහ එංගලන්තය අතර පැවැති පළමු අවසන් පූර්ව තරගයට වඩා මෙම තරගයේ වේගවත් බවක් දැකගත හැකිවිය.

දකුණු අප්‍රිකාව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 9-6 ක් ලෙස ලකුණු තුනක පරතයක් තබාගෙන සිටියේය.
තරගයේ 12 වැනි මිනිත්තුවේදී ස්ක්‍රම් අවස්ථාවේදී වේල්ස් ක්‍රීඩකයකුගේ නීති විරෝධි ක්‍රීඩා විලාශයට ලැබුණු දඩුවම් පහර ඇන්ද්‍රි පොලාඞ් සාර්ථක කිරීමත් සමඟ දකුණු අප්‍රිකාව ලකුණු 3-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

ඉන් මිනිත්තු තුනකට පසුව එනම් 17 වැනි මිනිත්තුවේදී වේල්ස් පිලට දඬුවම් පහර අවස්ථාවක් හිමිවිය. ඩෑන් බිගර් එය සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 3-3 ක් ලෙස සම විය.

ගෝල සීමාවට මීටර පහ හයක දුරක් තුළ දකුණු අප්‍රිකාව සතුව පන්දු තිබියදී වේල්ස් ක්‍රීඩකයකුගේ නීතිවිරෝධි ක්‍රීඩා විලාශයෙන් දකුණු අප්‍රිකාවට තවත් දඩුවම් පහරක් ලැබුණි.

දකුණු පස පැති රේඛාව ආසන්නයෙන් මීටර 35 ක පමණ දුරකින් ලැබුණු මෙම දඩුවම් පහර හැන්ද්‍රි පොලාඩ් විශිෂ්ට ලෙස සාර්ථක කරමින් දකුණු අප්‍රිකානු ලකුණු සංඛ්‍යාව 6 ක් බවට පත්කළේය.

දකුණු අප්‍රිකාවට 34 වැනි මිනිත්තුවේදී පොලාඩ් තෙවැනි දඩුවම් පහර සාර්ථක කරමින් ලකුණු තත්ත්වය 9-3 ක් බවට කළ අතර ඒ අනුව ලකුණු පරතය 6 ක් බවට පත්විය. එම දඩුවම් පහර ද මීටර 27 ක් පමණ දුර සිට ලැබුණු එතරම් පහසු එකක් නොවීය.

ඩෑන් බිගර් පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු දෙකක් තිබියදී දෙවැනි දඩුවම් පහරින් වේල්සයට ලකුණු තුනක් එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 6-9 ක් බවට පත්විය.

වේල්සය දෙවැනි අර්ධයේ සිවුවැනි මිනිත්තුවේදීම දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව 9-9 ක් ලෙස සම කිරීමට සමත් විය.

ඩි ඇලෙන්ද්‍රි 56 වැනි මිනිත්තුවේදී තරගයේ පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කරමින් දකුණු අප්‍රිකාව පෙරමුණෙන් තැබීය. පොලාඩ් එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමඟ දකුණු අප්‍රිකාව ලකුණු 16-9 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

දකුණු අප්‍රිකානුවන්ගේ සැනසුම මිනිත්තු අටකට සීමා කළ ජෝස් ඇඩම් 64 වැනි මිනිත්තුවේදී හුදකළා සටනක නිතර වෙමින් වම් කොඩි කණුව අසළින් ගෝල සීමාව ආක්‍රමණය කළේය.

වම් පස පැති රේඛාව අසළ මීටර 25 ක් පමණ ඈතින් පන්දුව බිම තැබූ හාෆ්පෙනීට ගෝල කණු දෙකම එකක් ලෙස ප්‍රදර්ශනය වන තත්ත්වයක් තුළ ගෝල ප්‍රවර්ථනය වඩාත් අභියෝගයක් බවට පත්විය. ක්‍රීඩාංගණයට රැස්ව සිටි 60,000 කට අධික ප්‍රේක්‍ෂකයන්ගේ ඈත් හිස මතට ගෙන එමින් ලේග් හාෆ්පෙනී ප්‍රවර්ථනය සාර්ථක කරමින් ලකුණු පුවරුව 16-16 ක් ලෙස සම කිරීම කැපී පෙනුණි.

තරගය අවසන් වීමට මිනිත්තු හතරක් පමණක් තිබියදී හැන්ද්‍රි පොලාඩ් තරගයේ වීරයා බවට පත්වෙමින් සිවුවැනි දඩුවම් පහර සාර්ථක කරමින් ලකුණු 19-16 ක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණට ගැනීමට සමත් විය. එම දඩුවම් පහර මීටර 35 ක් පමණ දුර සිට ලැබුණු අපහසු එකක් විය.

දකුණු අප්‍රිකාවට තරගයේ අවසන් මිනිත්තුවේදී තවත් දඩුවම් පහරක් හිමිවූ අතර එය අවස්ථානුකූලව ක්‍රීඩාංගණයෙන් පිටත්ට යොමු කරනවාත් සමඟම අවසන් නඟා හඩ නිකුත් විය.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහ තරගය නොවැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
නවසීලන්තය සහ වේල්ස් අතර තෙවැනි ස්ථානය සඳහා තරගය නොවැම්බර් මස 1 වැනිදා පැවැත්වේ.    

- 048

 


අදහස් (0)

පොලාඩ් දකුණු අප්‍රිකාව අවසන් සටනට ගෙනඑයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.