Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොල් පිත්තෙන් ක්‍රිකට් පටන්ගත් ලාරා

පොල් පිත්තෙන් ක්‍රිකට් පටන්ගත් ලාරා

ශනුක අරවින්ද - 2019 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔහුගේ පිත්ත පින්සලක් මෙනි. පින්සලක් භාවිතා කරමින් සිත්තරෙකු සිතුවමක් අලංකාර කරන්නා සේම ඔහු පිත්ත යොදාගනිමින් ක්‍රිකට් පිටිය ලස්සන කළේය. ඒත් වයස අවුරුදු හතරේදී ඔහු අත තිබූ පිත්ත සිය වැඩි වැඩිමහල් සහෝදරයා වූ වින්ස්ටන් විසින් පොල් අත්තකින් සාදා දුන් එකකි.

ක්‍රීකට් ක්‍රීඩාව සඳහා ලාරාගේ ආරම්භය අලංකාර එකක් නොවේ. එහි බොහෝ දුක් ගැහැට රැඳී තිබිණ. එහෙත් ඒ වෙනුවෙන් ඔහුගේ පියා කළ කැපකිරිම් බොහෝය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ලාරා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු වීමයි.

වමත් පිතිකරුවකු වන ලාරා ටෙස්ට් ලකුණු 11,953 ක් ලබාගෙන ඇති අතර එක්දින තරග 299 ක දී ලකුණු 10,405 ක් රැස්කර තිබේ. ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර හත් වැනි ස්ථානයත් ලෝකයේ වැඩිම එක්දින ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 12 වැනි ස්ථානයත් ලාරාට හිමිය. මෙම වාර්තාවේ පසුබිම වූයේ කුඩා කාලයේදී තමන් අතපත්වන ඕනෑම දෙයකින් මිතුරන් හා එක්ව ක්‍රිකට් ගැසීමයි.

“මම වීදියේ ක්‍රිකට් සෙල්ලම් කිරීම ගැන විශ්වාස කරනවා. අපි අතට අහුවෙන හැම දේකින්ම වගේ ක්‍රිකට් ගැහැව්වා. එක්කෝ දොඩම්, දෙහි නැත්නම් ඕනෑම වර්ගයක කුඩා බෝලයකින් අපි ක්‍රිකට් ගැහැව්වා. එක්කෝ අපේ ගේ පිටිපස්සේ. නැත්නම් පාරේ” ලාරා කීවේය.
ලාරා ක්‍රිකට් ක්‍රීඩකයකු කිරීමේ අඩිතාලම දමා ඇත්තේ ඔහුගේ පියා විසිනි.

“අපි වියලි කාලයට පාපන්දු සෙල්ලම් කරනවා. ඒවාගේම මට හොඳට මේස පන්දු සෙල්ලම් කරන්නත් පුළුවන්. ඒත් මාගේ පියා තීරණය කළා පාපන්දු ක්‍රීඩා කිරිම අඩු කර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා මාව වැඩිපුර යොමු කරන්න” යයි ලාරා කියයි.

ලාරාගේ පියා වන බන්ටි මෙලොවින් සමුගැනීමට පෙර එකම ටෙස්ට් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට බ්‍රයන්ට අවස්ථාව නොතිබිණ. එහෙත් සිය පියාගේ අරමුණ ඉෂ්ඨ කිරීම සඳහා ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන වින්ස්ටන් මෙන්ම දියණිය ඇග්නස්ද අවශ්‍ය තරම් වැඩ කොටසක් කර තිබිණ.

වසර 2012 කොළඹ ‘වෝටර්ස් එජ්’ හෝටලයේදී පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී ‘අන්තර්ජාතික ක්‍රිකට් තරු පෙරහැර’ට එක්වූ බ්‍රයන් ලාරා, එදින ලැබූ සම්මානය පියා වෙනුවෙන් කැප කළේය. එහෙත් තමන්ට මුල්ම ක්‍රිකට් පිත්ත හදා දුන් වින්ස්ටන් අයියාත් බොහෝ උනන්දුවෙන් ක්‍රිකට් පාසලට එක්කගෙන ගිය ඇග්නස් අක්කාත් දැක්වූ දායකත්වය සිහිපත් කිරීමට ලාරා අමතක නොකළේ ඔවුන් දෙදෙනාම කොළඹදී පැවැති සම්මාන උළෙලට කැඳවාගෙන එමිනි.

“අද මේ සම්මානය ලබා ගන්නා, ඔබ දකින පුද්ගලයා, බන්ටි ලාරාගේ නිර්මාණයක්. ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් මා සාර්ථක වීමට නම්, කවර අපහසුතා මධ්‍යයේ වුවත්, මට අවශ්‍ය සියලුම දේ තිබිය යුතු බව ඔහු තීරණය කර තිබුණා.....ඒ හැමදේම මට දෙන්න ඔහු අති විශේෂ උත්සාහයක් ගත්තා” යයි ලාරා 2012 කොළඹදී පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේදී බ්‍රයන් බොහෝ වෙහෙස මහන්සියෙන් කටයුතු කළද ඔහුගේ විශාලතම දොම්නස වන්නේ තමන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනු දකින්නට පියා ජීවත් නොවීමයි. එහෙත් ටි්‍රනිඩෑඞ්හිදී පැවැති බන්ටි ලාරාගේ අවමංගල්‍යයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෝ එක්වූහ.

වසර 17 ක් පුරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ විස්කම් දස්කම් පෙන්වූ ලාරා ටෙස්ට් තරග 131 කට සහභාගි විය. ටෙස්ට් ලකුණු 11,953 ක් ලබාගත් ඔහුගේ විශිෂ්ටතම ඉනිම වසර 2004 දී එංගලන්ත පිලට එරෙහිව ඇන්ටිගුවාහිදී ලබාගත් ලකුණු 400 යි. හරියටම ඊට වසර 10 කට පෙර, එනම් 1994 දීත්, එංගලන්ත පිලට එරෙහිව ඇන්ටිගුවාහිදී ලකුණු 375 ක් ලබාගත් බ්‍රයන් ලාරා එවර ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්ගේ ලෝක වාර්තාව අභිබවා ගියේය.

ලාරාගේ ලකුණු 375 ටෙස්ට් වර්තාව, 2003 දී සිම්බාබ්වේ පිල හමුවේ ලකුණු 380 ක් ලබාගත් මැතිව්ස් හේඞ්න් විසින් බිඳ දමන ලද නමුත් අවුරුද්දක් යාමටත් නොදී එංගලන්ත පිලට එරෙහිව ඇන්ටිගුවාවේදී ලකුණු 400 ක් ලබාගත් ලාරා ලෝක වාර්තාව නැවත වරක් තමන් සතු කරගත්තේය.

පළමු පෙළ තරගයදී පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 1994 එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී වොවික්ෂයර් පිල නියෝජනය කරමින් ඩර්හැම් පිලට එරෙහිව ලබාගත් ලකුණු 501 යි.

ලාරා ක්‍රීඩා කළ එක්දින තරග 299 න් තරග 19 කදී ශතක ලබාගත් මෙම අලංකාර වමත් පිතිකරුවාගේ පාසල් වියේ වීරයන් වූයේ ක්ලයිව් ලොයිඞ්, විවියන් රිචඞ්ස් සහ රෝයි ෆෙඞ්රික්ස් වැන්නන්ය. ඔවුන් තිදෙනාම කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෝ වූවා පමණක් නොව, ලොයිඞ් සහ රිචඞ්ස් දෙදෙනාම ‘අන්තර්ජාතික ක්‍රිකට් තරු පෙරහැරට’ එක්වූවෝ ද වෙති.

1992 දී පළමු වරට ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූ ලාරා සිය පළමු ලෝක කුසලාන තරගාවලියේදීම තමන් කවුරුන්ද යන්න ලෝකයාට පෙන්වා දුන්නේය. එහෙත් ලෝක කුසලානයකට අත තැබීමට තරම් බ්‍රයන් වාසනාවන්ත නොවූයේ ඒ වන විට විශිෂ්ටයන් රැසක්ම කොදෙව් පිල හැරගොස් සිටි බැවිනි.

-092


අදහස් (0)

පොල් පිත්තෙන් ක්‍රිකට් පටන්ගත් ලාරා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.