Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පීඩනය කියන එක මම අඳුනන්නේ නෑ - මාලිංග

පීඩනය කියන එක මම අඳුනන්නේ නෑ - මාලිංග

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

පළමු තරග තුනේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පරාජයන්ගේ අමිහිරි මතකය පසෙක දමා හෙට (31 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී කෙසේ හෝ තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය පිළිබඳව අදහස් දැක්වීම සඳහා අද (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදි මාලිංග ඒ බව පවසා සිටියේය.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග දෙවැනි තරගයෙන් අනතුරුව තරග දෙකක තහනමකට ලක්වීම හේතුවෙන් තෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චාමර කපුගෙදරට පැවරිණ. එම තරගයෙන් අනතුරුව කපුගෙදර ආබාධයකට ලක්වීම නිසා සිවුවැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විටත් 3-0 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට යම් තරමින් හෝ සිය රටේදී ගෞරවය රැකගැනීමට නම් ඉතිරි තරග 2 ජයගෙන 3-2 ක් ලෙස තරගාවලිය නිමා කිරීමට සිදුව තිබේ.

එසේ වුවත් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් විවිධ අබාධ වලට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සමග ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගයක් ජයගැනීම ඉතා අපහසු කටයුත්තක් වනු ඇත.

මේ වන විට කණ්ඩායම ලබා ඇති පරාජය නිසා කණ්ඩායමේ ක්‍රීඩකයන් පීඩනට පත්ව සිටින්නේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාලිංග කියා සිටියේ ඕනෑම ක්‍රීඩකයක් පීඩනය යටතේ ක්‍රීඩා කිරීමට හුරු විය යුතු බවයි. පීඩනය යටතේ ක්‍රීඩා කිරීමට මනස සකසා ගැනීම ක්‍රීඩකයකු සතුවිය යුතු ගූණාංගයක් බවද එහිදී ඔහු සඳහන් කර සිටියේය.

“පීඩනය කියන දේ ඇත්තටම මම නම් අඳුනන්නේ නෑ. මොකද මම ඕනතරම් මම පීඩන වල සෙල්ලම් කරලා තියෙනවා, පන්දු යවලත් තියෙනවා. පීඩනය කියලා කියන්නේ අපිට ඒ අවස්ථාවේ කරන්න ඕන දේ දන්නේ නෑ, ඒ දේ කරන්න අපිට හැකියාවක් නෑ කියන එකයි.”

“පන්දු යවද්දීත් පීඩනයකට ලක්වෙනවා කියන්නේ අවස්ථාවට අවශ්‍ය දේ කරන්න මම දන්නේ නෑ කියන එක. මම සෑහෙන්න පීඩන වල පන්දු යවලා තියෙනවා. පීඩනයක් කියල දෙයක් දැනෙන්නෙ නැති වෙන්න මමත්, කණ්ඩායමට ක්‍රීඩා කරන එකොලොස් දෙනත් මනස හදාගන්න ඕනේ. මේ වන විට කණ්ඩායම ලක්වෙලා තියෙන පීඩනයෙන් ගොඩට ගේන්න මම හුගක් උත්සාහ කරනවා” යැයි මාලිංග තවදුරටත් කියා සිටියේය.

හෙට තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාලිංග කියා සිටියේ අබාධයකට ලක්ව සිටින චාමර කපුගෙදර වෙනුවට ඩිල්ෂාන් මුණවීර කණ්ඩායමට කැඳවා ඇති බවත්, හෙට දිනයේදී තණතීරුව පරික්ෂා කිරීමෙන් අනතුරුව තරගයට සහභාගි වන කණ්ඩායම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවත්ය.

“චන්දිමාලුත් සහ කපුගෙදරත් හෙට තරගයට නෑ. ඒ දෙන්නම ආබාධ වලට ලක්වෙලා තියෙනවා. ඒ වෙනුවට ඩිල්ෂාන් මුණවීර කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. ධනුෂ්ක ගුණතිලක මොන තත්ත්වයෙද ඉන්නෙ කියලා තාම අපි දන්නේ නෑ. ඒ නිසා අපි හෙට තණතීරුව දිහා බලල තමා තීරණය කරන්නේ මොන වගේ සංයුතියක් එක්කද ක්‍රීඩා කරන්නේ කියලා.” යැයි මාලිංග පැවසීය.

තරගාවලිය පරාජය වීමෙන් අනතුරුව කණ්ඩායමේ නායකත්වය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාලිංග කියා සිටියේ පසුගිය තරග සම්බන්ධව හෝ එම තරග වලදී කණ්ඩායමේ නායකත්වය දැරුවේ කවුදැයි යන්න සම්බන්ධව තමා මේ මොහොතේදී නොසිතන බවත්, කණ්ඩායම වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට තමා මෙතැන් පටන් කටයුතු කරන බවත්ය.

“මට පසුගිය තරග ගැන හෝ නායකත්වය දැරුවේ කවුද කියන එක සම්බන්ධයෙන් හිතන්න උවමනාවක් නෑ. ඒ දේවල් වෙලා ඉවරයි. ඉතින් මට බාරදීලා තියෙන්නේ ඊළඟ තරගය. මම හිතන්නේ කොයි වෙලාවෙත් මට බාරදීපු දේ හොඳට කරලා දෙන්න. මම දන්න ක්‍රිකට් ඒක, මම මෙච්චර කල් ගහපු ක්‍රිකට් ඒක.”

“පොඩි අයට කථා කරලා කියන්න පුළුවන් දේ. මම හිතනවා අපේ දක්ෂතා වලින් පිතිකරුවන්ගෙන් හෝ පන්දු යවන්නන්ගෙන් කිසිම අඩුවක් නෑ. නමුත් ඔවුන් ඒ දේ භාවිතා කරන ආකාරයේ පොඩි අඩුවක් දකින්න පුළුවන්”
“ඒ දේවල් හදාගන්න ඔවුන්ගේ මනස හදාගන්න ඕනේ. මගේ ප්‍රධාන අරමුණ තමයි මේ දවස් දෙක තුන ඇතුළත හෙට තරගයට පෙර කොහොමද ඔවුන්ගේ මනස ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයක් ඉදිරියට අරගෙන යන්න පුලුවන් විදියට හදාගන්න එක. ඒ දේ සාර්ථකව කළොත් අපිට හොඳ ප්‍රතිඵලයක ලබාගන්න පුලුවන් වෙයි හෙට දවස අවසානයේ” යැයි මාලිංග පැවසීය.

 


අදහස් (7)

පීඩනය කියන එක මම අඳුනන්නේ නෑ - මාලිංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.