Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෑනත් පිත්තත් දෑතින් ගත් ඕබ්‍රි සමුගනී

පෑනත් පිත්තත් දෑතින් ගත් ඕබ්‍රි සමුගනී

editorial - 2019 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දශක ගණනාවක් පුරා ක්‍රිකට් ක්‍රීඩාව හා ඇලී ගැලී සිටි ඕබ්‍රි කුරුප්පු නොඑන්නම යන්න ගොසිනි. පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ ඔහුගේ හදිසි අභාවය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට නොමැකෙන පාඩුවකි.

‘ඕබ්‍රි’ ක්‍රිකට්  ක්‍රීඩාවේ උසස් සම්ප්‍රදාය ඉහළින්ම අගය කළ අයෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙහි ආදි සිසුවෙකු වූ හෙතෙම පසුගිය සිකුරාදා අවසන් අවසන් හුස්ම හෙළන විට 74 හැවිරිදි වියේ පසුවූයේය. ඔහුගේ හදිසි අභාවය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන්ගේ සංවේගයට මෙන්ම මහත් විමතියටද හේතු වූයේ ඔහු එතරම් නීරෝගිව සිටි අයකු බැවිනි.

1965 දී ශාන්ත තෝමස් විදුහලේ ‘වර්ණ’ දිනා ගත් ඕබ්‍රි කුරුප්පු පරිපූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් හැඳින්විය හැකිය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව විනිසුරුවරයෙකු, ලේඛකයෙකු, පරිපාලන නිලධාරියකු මෙන්ම ගුවන් විදුලියේ කීර්තිමත් විස්තර විචාරකයකු මෙන්ම තරග තීරකවරයෙකු ලෙසින්ද ඔහු කටයුතු කළේය.

ඉංග්‍රීසි සහ ලතින් භාෂාව ප්‍රධාන විෂයන් ලෙස හදෑරූ කුරුප්පු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  කීර්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් නමක් දිනාගෙන සිටියේය. උපාධිය සම්පූර්ණ කළ විගසම ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීමක් ලැබීය.

එපමණක් නොවේ... ඔහු විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර ඉංග්‍රීසි භාෂා ඒකකයේ සම්බන්ධීකාරකවරයෙකු වශයෙන්ද, ජ්‍යේෂ්ඨ නේවාසිකාගාරයේ උප පාලකවරයෙකු වශයෙන්ද කටයුතු කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙනුවෙන් පළමු ශ්‍රේණියේ තරග වලට ක්‍රීඩා කළා පමණක් නොව, ඔහු සමස්ත විශ්ව විද්‍යාලයීය කණ්ඩායමද නියෝජනය කළේය. පසුව 1972 දී තමිල්නාඩු  ප්‍රාන්ත පිලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල නියෝජනය කළ ඕබ්‍රි ඒ වසරේදීම රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම සමග විදේශීය තරග කිහිපයකටද සහභාගි වූයේය.  1973 දී ශ්‍රී ලංකාවට පැමිණි මයික් ඩෙනිස්ගේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව මධ්‍යම පළාත් පිල නියෝජනය කරමින් අස්ගිරිය ක්‍රීඩාංගණයේදී තරග කළේය.

පසුව සැරසන්ස් පිල වෙනුවෙන් පී. සරවනමුත්තු කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ හෙතෙම මහනුවර දිස්ත්‍රික් හා මධ්‍යම පළාත් කණ්ඩායම්වලට නායකත්වයද දුන්නේය. සිය ක්‍රිකට් පසුබිමත් සමඟ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ධුරය භාරගත් ඕබ්‍රි පසුව මධ්‍යම පළාත් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරයට පත් වූයේය.  ඉන් අනතුරුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරග තීරකවරයකු ලෙසද කටයුතු කළේය.

කටුගස්තොට රාහුල විද්‍යාලයේ සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරුවකු වශයෙන් කටයුතු කළ ඕබ්‍රි කුරුප්පු මහතා රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන්ද හසළ දැනුමක් තිබූ තැනැත්තෙකි. ඔහු විසින් ලියන ලද රග්බි වාර්තා පාඨකයන්ට ගෙන ආවේ තරග විස්තර පමණක් නොවේ. රග්බි ක්‍රීඩාවේ දැනුම එහි අන්තර්ගත විය.

ජයග්‍රහණ හා නිපුණත්වයන් රැසකින් හෙබි වුවද සරල දිවිපෙවතකින් යුත්, තැන්පත් මෙන්ම ඉතාමත් නිහතමානි තැනැත්තෙකු වූ ඕබ්‍රි කුරුප්පු මහතා තමන් කටයුතුකළ සෑම ක්ෂේත්‍රයකම සිටියවුන්ගේ මහත් ප්‍රසාදයට පාත්‍ර වී සිටියේය.

වසර 74 ක දිවිසැරියේ අවසන් දින කිහිපය දක්වාම ජනමාධ්‍ය සමග සමීපව කටයුතු කළේය. පසුගිය මාසයේදී පැවැති නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදීත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විස්තර විචාරකයකු ලෙසින් කටයුතු කළේය. අවසන් හුස්ම හෙළු අවස්ථාව දක්වාම ද සන්ඬේ ටයිම්ස් පුවත්පතේ නිදහස් ලේඛකයකු වශයෙන්ද කටයුතු කළේය.

....


අදහස් (2)

පෑනත් පිත්තත් දෑතින් ගත් ඕබ්‍රි සමුගනී
  • waruna Friday, 18 October 2019 06:08 AM

    ඔබට නිවන් සුව!

    Reply 0       0

    chinthaka Tuesday, 03 December 2019 03:10 AM

    ඔබතුමාට නිවන් සුව අත්වේවා !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.