Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා

පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා

Nisanka Sandeepani - 2019 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධූරයට තරග කරන ජයන්ත ධර්මදාස මහතා පැවසීය. 

‘ලංකාදීප’ පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ධර්මදාස මහතාගෙන් අසන ලද ප්‍රශ්න වලට ඔහු මෙසේ පිළිතුරු සැපයීය. 

01. ක්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණයේදී එක පිලක තරග කළ පිරිස මෙවර පාර්ශව දෙකක් ලෙස තරගයට ඒමට හේතුව මොකක්ද?

මම පසුගිය නිලවරණයේදී තිලංග සුමතිපාල මහත්මයගේ කණ්ඩායමෙන් උප සභාපති ධූරයට තරග කරලා ඡන්ද එකසිය ගාණන් හිමිරගනෙ අන්තර්ජාතික ක්‍රිකට් බාර දුන්නා මම එය හොඳට කළා. පසුව වෙච්ච සිද්ධීන් නිසා මට තීරණයක් ගන්න වුණා ඒ අයත් සමඟ තව දුටත් වැඩ කරන්න බෑ කියලා. ඒ නිසා ඉවත් වුණා. 

02. ජයන්ත ධර්මදාස වන ඔබ මොහාන් ද සිල්වා මහතාට වඩා ක්‍රිකට් සභාපති ධූරයට සුදුසු යැයි තහවුරු කරන්නේ කෙසේද?

මම ක්‍රිකට් ගහලා තියෙනවා. මම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරලා තියෙනවා. මම වෙළෙඳ සේවා ක්‍රීඩා කරලා තියෙන නිසා තමයි මේ අය එම තරගාවලිය ‘ප්‍රධාන ක්‍රිකට්’ කියන කොටසින් ඉවත් කළේ. මම එන එක නවත්වන්න. 

මේක ජයන්ත ධර්මදාස කියන කථාවක් නොවෙයි. ඕනම ක්‍රීඩකයෙක්ගෙන් අහන්න. ක්‍රීඩකයන්ගේ ඡන්දයක් තියලා කවුද දිනන්නේ කියලා බලන්න. මෙවර ඡන්දෙන් ඔප්පු වෙයි ක්‍රීඩා සමාජ ඉන්නේ කාත් එක්කද කියලා. 

ලෝක කුසලානයක් දෙවැනි වරට ජය ගත්තේ කාගෙ යටතේද? ආසියානු කුසලානය ජයගත්තේ කාගෙ යටතේද? එංගලන්තයේදී තරගාවලියක් ජයගත්තේ කාගේ යටතේද? ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථාන තුනේ ජාතික කණ්ඩායම හිටියේ කාගෙ යටතේද? ක්‍රිකට් ක්‍රීඩා කරපු අය ගැන කථා කරනවා නම් සංගක්කාර, මහේල, අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංග පරිපාලනයට එන්න ඕනෙනේ. 

අන්තර් සමාජ ක්‍රීඩා කරලා මෙතන්නට එන්න කථා කරනවා නම් ටෙස්ට් ක්‍රිකට් ගහපු අයට මොකද වෙන්නේ. ඒ අයනේ නියම සුදුස්සෝ. ඒ අය එන්නෙ නැත්තේ ඇයි. 

ක්‍රිකට් ගහන්න ඕනේ නෑ. මම දොස්තර කෙනක් නෙවෙයි. ඒ වුණාට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහලක් හොඳට පරිපාලනය කරනවා. මම නළුවෙක් නොවෙයි. ඒ වුණාට වසර 15 ක් මම නළු නිළි සංගමයේ සභාපති මට ඉවත් වෙන්න දෙන්නෙත් නෑ. මම ගායකයෙක් නොවෙයි. අවුරුදු 15 කට සිට ගායක ගායිකා සංගමයේ සභාපති. 

මම සිංගප්පූරුවේ කන්සියුලර් ජෙනරල්. ඒ තෝරගෙන තියෙන්නේ සිංගප්පූරු ආණ්ඩුවෙන්. මම සමාගම් 20 ක සභාපති. ඒවා සුදුසුකම් නොවෙයිද?    

03. මෙම පාර්ශව දෙකෙන්ම ඇතැම් තනතුරුවලට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන්ට විවිධ චෝදනා තිබෙනවා නේද? 

චෝදනාවලට උත්තර දෙන්වත් ඒවා ගැන පරීක්‍ෂණ කරන්නවත් මට අවශ්‍යතාවක් නෑ. ඒකට නිලවරණ කමිටුවක් ඉන්නවා. තවත් කමිටුවත් පත්කරලා තියෙනවා. ඊට ඉහළින් ඇමතිතුමා ඉන්නවා. 

තමන්ට අයිති රාජකාරිය හදුනාගන්නේ නැතුව වැඩ කළාම තමයි මෙහෙම වෙන්නේ. පසුගිය වසර දෙකේ ක්‍රිකට් පරිපාලනයට උනෙත් ඒකයි. ක්‍රිකට් හදන්න දුන්නම ඒක කරන්නේ නැතුව වෙන හැම දෙයක්ම කළා.  

04. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩා වැටිලා තියෙන්නේ. එහි විවාදයක් නෑ. මෙම කඩා වැටීමට නිලවරණයට ඉදිරිපත් වෙලා සිටින පාර්ශව දෙකම වගකියන්න ඕනෑ. මොකද මේ දෙපාර්ශ්වයේම සිටින ඔබලා තමයි පසුගිය කාලයේ එක එක විදිහට ක්‍රිකට් පරිපාලනයේ සිටියේ. ඒ ගැන මොකද කියන්නේ..?

අපි පත්වෙලා පළමු මාස තුනෙන් පසුව මම ඔය දේවල් ලිඛිතව කිව්වා. නමුත් එකක්වත් ගනන් ගත්තේ නෑ. ඔය කට්ටිය කවදා හරි හිරේ ගිහින් නවතිනවා කියන එක මම කියනවා. 

05. ඔබ බලයට පැමිණි පසු ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න තියෙන සැලැස්ම මොකක්ද ? ඒ ගැන කෙටියෙන් පැහැදිළි කරන්න.

අපිට ටෙස්ට් තත්ත්වය ලැබුණේ අද ඊයේ නෙමෙයිනේ. 1981. අද ඊයේ ටෙස්ට් තත්ත්වය ලැබුණා වගේ තමයි කථා කරන්නේ. ක්‍රිකට් කඩා වැටීමේ තියෙන්නේ පරිපාලනයේ දුර්වලතාවයක්. 

පළවැනි එක තමයි ක්‍රීඩකයන්ව ගණන් ගන්නේ නෑ. අපි ක්‍රීඩකයන්ට ගෞරවය දෙන්න ඕනේ. මම දොස්තරවලව ගණන් ගන්නේ නැතුව රෝහලක් කරන්න බෑ. නළු නිළියන්ව, ගායක ගායිකාවන්ව ගණන් ගන්නේ නැතුව අවුරුදු 15 ක් ඒවායේ සභාපතිවෙලා ඉන්න බෑ. 

06. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මුදල් අවභාවිතය, සේවක අතිරික්කය වැනි ගැටලු රැසක් තියෙනවා. මේවා විසඳනවා කියලා පාලනයට ආවට මේ ප්‍රශ්න එකක්වත් විසඳිලා නෑ. ඒ ගැන මොකද කියන්නේ ?

මට එළියෙ ඉදන් කියන්න බෑ ඇතුළෙ මොනවද වෙලා තියෙන්නේ කියලා. ඇතුළට ගියාට පස්සෙ හොයලා බලන්න ඕනේ. මම දන්නවා පරිපාලනය කියන්නෙ මොකක්ද කියලා. ලංකාවට එන්න ඕන සල්ලි පිට රට ගියාම පාලනය කරන්න මේ අය දන්නවද? එතනයි මේ ප්‍රශ්නය. 

07. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් 70 කට වැඩි පිරිසක් ඉන්නවා. ඒත් අපේ ක්‍රිකට් කඩා වැටිලා. ජාතික කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයන් නැති නිසා කණ්ඩායම දිගින් දිගටම පරදිනවා. ඒ ගැන මොකද කියන්නේ ?

මෙතනදි අපි කිසිකෙනෙක්ට දොස් කියන්න නරකයි. ලොකෙ ඉන්න හොඳම පුහුණුකරුවයි කියලා වැඩිමුදලක් ගෙවලා අපි කෙනෙක්ව ගෙනාවා. පුහුණුකරු කළේ පුහුණුකරුගේ වැඩද? නෑ. පුහුණුකරුට තව තව දේවල් බාරදුන්නා. කළමනාකරුවකු ගෙනල්ලා ඔහුටත් තව තව දේවල් බාර දුන්නා. කළමණාකරු කළේ ඔහුගේ රාජකාරියද?

විශේෂඥ වෛදවරුන්ගෙන් සමන්විත කමිටුවත් තිබුණා. ක්‍රීඩකයක් ක්‍රීඩා කිරීමට සුදුසු ද නැද්ද කියලා එම කමිටුව තමයි කියන්නේ. ඒ තුන්දෙනා ඉවත් වුණේ ඇයි? නියම පරිපාලනයක් තිබුණනන් එහෙම වෙන්නේ නෑ. 

08. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ව්‍යවස්ථාව ගැන ඔබේ අදහස මොකක්ද? ඒක හොඳයිද? වෙනස් වෙන්න ඕනෑද? වෙනස් වෙනවා නම් ඒ මොන කරුණුද ?

 

ව්‍යවස්ථාවේ ගොඩක් තියෙනවා ඉවත් කළ යුතු සහ ඇතුළත් කළ යුතු කරුණු. ක්‍රිකට් නොගපු අයට එන්න තහනම් කළේ ක්‍රිකට් ආයතනය බූදලයක් කරගත්තු පිරිසක්. ක්‍රීඩකයන් මට කියන්න එන්න කියලා. 

මම අයි.සී.සී. විධායක සභාවට වසර පහක් ගිහිල්ලා තියෙනවා. එහි ක්‍රිකට් ගහපු කවුරුත් නෑ. ආසියානු ක්‍රිකට් සංගමයේ මම දෙවරක් සභාපතිවෙලා තියෙනවා. ඒකෙත් ක්‍රිකට් ගහපු කවුරුත් නෑ. 

 


අදහස් (0)

පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.