Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු පුහුණුකරුගෙන් කදිම කයිවාරුවක්

පාපන්දු පුහුණුකරුගෙන් කදිම කයිවාරුවක්

Nisanka Sandeepani - 2018 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දකුණු ආසියාවේ අංක එකට ගෙන යා හැකි බවට දැන් තමාට විශ්වාසයක් තිබෙන බව ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු නිශාම් පකීර් අලී  මහතා පවසයි. 

1995 වසරෙන් පසු වසරින් වසර පහළ මට්ටමකට පත්වූ මෙරට පාපන්දු ක්‍රීඩාව ගතවූ මාස හතකටත් අඩු කාලයකදී සාර්ථක ගමනක් ඉදිරියට පැමිණ ඇති බව ඊයේ (10 දා) ලංකාදීපයට පැවසූ පකීර් අලී මහතා “ඔව් 2020 අභියෝගය මම භාරගන්නවා” යැයි පැවසීය. 

බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දැනට ක්‍රියාත්මක 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන (සාෆ්) තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව තරගයේදී ලැබූ ගෝල 2-0 ක පරාජය සහ මාලදිවයින සමඟ පැවති තරගය ගෝල 0-0 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කිරීම සම්බන්ධව පසුවිපරමක යෙදෙමින් පාකීර් අලී මහතා මෙසේ පැවසීය.

අන්තර්ජාතික පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව (2018 අගෝස්තු 16) ඉන්දියාව 96 වැනි ස්ථානයේත් මාලදිවයින 150 වැනි ස්ථානයේත් පසුවන අතර ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩකයින්ට මිනිත්තු 90ක තරග කාලයේදී ශාරීරික යෝග්‍යතාව එක හා සමානව රැක ගැනීමට නොහැකි බවට මතයක් මීට පෙර ගොඩනැගුණු බවත් එහෙත් වත්මන් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෝ එය මිත්‍යාවක් බවට සනාථ කර ඇති බවත් පසුගියදා පැවති ශ්‍රී ලංකා - මාලදිවයින තරගයේ අවසන් තත්පරය දක්වා සටන් කිරීමෙන් එය මැනවින් සනාථ වන බවත් ජාතික පුහුණුකරු පවසයි. 

මම අපේ ක්‍රීඩකයන්ගේ ශක්තිය වර්ධනය සඳහා වැඩිපුරම ලබා දුන්නේ පලා වර්ග, කඩල සහ මඤ්ඤොක්කා වැනි ආහාරයි. එහි ප්‍රතිඵල තමයි දැන් ලැබෙන්නේ යැයි හෙතෙම පෙන්වා දෙයි.

මෙරට පාපන්දු ක්‍රීඩාව පසුබැසීමට හේතුව ක්‍රීඩකයන්ගේ අදක්ෂතාව නොව ජාත්‍යන්තර තරග අද්දැකීම් නිරන්තරයෙන් නොලැබීම බවත් 2018 ජනවාරි වන විට වසර දෙකකින් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් නොලැබී ඇති බවත් ඒ හැර තරගාවලියක් ඉලක්ක කර ගෙන මාස කීපයකට ජාතික සංචිතයක් ආරම්භ කරනවාට වඩා වසර පුරාම සංචිතය ක්‍රියාත්මක විය යුතු බවත් අලී මහතා පැවසීය.

සාෆ් තරගාවලියෙන් පසු ජාතික පාපන්දු සංචිතය විසුරුවා නොහරිනු ඇතැයි තමා විශ්වාස කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

 දකුණු ආසියාවේ මෙන්ම වෙනත් රටවල ජාතික සංචිතයට අමතරව වයස අවු 23න් පහළ සංචිතය සහ වයස අවු 19න් පහළ සංචිතය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තවත් සංචිත කිහිපයක් (වයස සීමා) පාසල් මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. එවැනි ක්‍රමයකට සංචිත ශ්‍රී ලංකාවේ නොතිබෙන නිසා මේ ජාතික සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා රට පුරා ගොස් ක්‍රීඩක දක්ෂතා විමර්ශනය කිරීමට සිදු වූවා යැයි පකීර් අලී  මහතා කියයි.

අපි දැනට සංචිත කිහිපයක් ආරම්භ කර තිබෙන බවත් ක්‍රීඩකයන් දක්වන දක්ෂතා අනුව සංචිතයෙන් සංචිතයට ඉහළට පහළට යොමු කරන බව ඔහු පවසයි. 
2018 දකුණු ආසියානු පාපන්දු තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට කොතරම් දුරට තරගාවලියේ ඉදිරියට යන්නේද යන්න තමා පූර්ව නිගමනයක් ප්‍රකාශ නොකරන ලද්දේ ජාතික සංචිතය ගැන අවබෝධයක් නොතිබූ නිසා බව පැවසූ පකීර් අලී මහතා “ඒ කෙසේ වෙතත් කණ්ඩායමේ හොඳ - නරක ගැන වගකීම මම බාරගන්නවා, යැයි පැවසීය. 

කනට කරාබු දාගත් කොණ්ඩය පාට කරගත් පාපන්දු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නැති බවත් විනය ගරුක ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් බවත් ඔහු කියයි.
“මම ජාතික පාපන්දු සංචිතය බාර ගන්නා විට අපේ පාපන්දු ක්‍රීඩාව අහසට පොළොව මෙන් පහතට වැටී තිබුණා. මම එදා කිව්වා ඒ වගේම ඉතාමත් සුළු කාලයකින් අහස පොළොව එකතු කරන්න බැහැ කිව්වා. නමුත් මගේ කෙටි කාලීන වැඩසටහන අනුව දැන් අපි අහසේ පාවෙමින් සිටිනවා. ඒක ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ලැබූ  විශාල ජයග්‍රහණයක්”

“අපි දැන් තමයි ගමන ආරම්භ කළේ. ලබන 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී අපි පෙර නොවූ විරූ පිරිදි පියවරක් ඉදිරියට තැබීමට බලාපොරොත්තු වෙනවා. අපිට සාධාරණ විවේචන කළාට කමක් නැහැ. ක්‍රීඩකයන්ගේ මානසිකත්වය කඩා නොවැටෙන ලෙස” 

“මම මාලදිවයින බංග්ලාදේශය සහ ඉන්දියාව වන රටවල ක්‍රීඩා සමාජ පුහුණුකරුවෙක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා. දක්ෂ ක්‍රීඩකයන් රැසක් හඳුන්වාදී තිබෙනවා. කෙටි කාලයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන දුටු රටවල් කිහිපයකින් දැනටමත් මට ඇරයුම් කර තිබෙනවා පුහුණු කටයුතු කරන්න කියා. නමුත් මම බාර ගත්ත වැඬේ අතර මඟදී අතහැර යන කෙනෙක් නොවේ” යැයිද පකීර් අලී  මහතා වැඩිදුරටත් පැවසීය.

දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැවැති තරග දෙකේදීම එකම ගෝලයක් හෝ ලබාගැනීමට අපොහොසත් විය. එහෙත් ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල දෙකක් ලබාගත්තේය. 

 


අදහස් (0)

පාපන්දු පුහුණුකරුගෙන් කදිම කයිවාරුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.