Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානු සංචාරය ක්‍රියාත්මකයි

පාකිස්තානු සංචාරය ක්‍රියාත්මකයි

යොහාන් භාසුර - 2019 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන තරග සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියමිත පරිදි සහභාගි කරවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක්  පැවසීය. පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී තර්ජනයක් තිබෙන බවට කිසිදු බුද්ධි මූලාශ්‍රයකින් තොරතුරු අනාවරණය වී නොමැති බව ආරක්‍ෂක අමාත්‍යංශය ක්‍රීඩා අමාත්‍යංශයට නිලවශයෙන් දැනුම්දීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට පැමිණ තිබේ.  

ආරක්‍ෂක ලේකම්වරයා වෙනුවට ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජේ. ආර්. කුලතුංග මහතා විසින් කරුණු පහකින් සමන්විත ලිපියක් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතාට යොමු කර තිබේ.

එම ලිපිය මෙසේය.

යොමුව: US/4/2/3-G හා 2019 සැප්තැම්බර් මස 17 දිනැති ඔබ අමාතයංශ ලිපිය
01. යොමුගත ලිපියේ සඳහන් පරිදි මෙම මස අග භාගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා සහභාගි වන බවත් ඒ සඳහා වන ආරක්‍ෂාව සබැඳිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිත කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කර ආරක්‍ෂාව පිළිබඳව සෑහීමකට පත්වූ බවද දන්වා ඇත. මෙය අතරතුරදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී තර්ජනයක් තිබෙන බවට ගරු අග්‍රාමාත්‍ය තුමා වෙත තොරතුරක් ලැබී ඇති බැවින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරය පිළිබඳව තීරණය නැවත සමාලෝචනය කිරීමට ඔබ විසින් තීරණය කර ඇත.

02. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානු තරග සංචාරය අතරතුර තර්ජනයක් තිබෙන බවට මෙම අමාත්‍යංශය වෙත කිසිදු බුද්ධි මූලාශ්‍රයක් හරහා මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවට කාරුණිකව දන්වා සිටිමි. එසේම මෙම අමාත්‍යංශය මගින් මේ සබැඳිව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වෙතින් විමසූ අතර එහිදී ඔහු විසින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශිර්ෂගත සංචාරය අතරතුර තර්ජනයක් තිබෙන බවට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවට ප්‍රකාශ කරන ලදී.

03. කෙසේ වුවද යොමුගත ඔබගේ ලිපියේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලය වෙතින් පහත කරුණු ප්‍රධාන කොටගත් ආරක්‍ෂක වගකීම සනාථ කිරීමක් මෙම කාර්යාලය වෙතින් ලබාගන්නා ලදී. එම ලිපිය මේ සමඟ ඇමුණුම ‘අ’ සහ ‘ආ’ ලෙස දක්වා ඇත.

අ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පාකිස්තානු රජය විසින් ඉහළ සැළකිල්ලක් දැක්විය යුතුය.
ආ. විශේෂ පුහුණුවලත් පාකිස්තානු යුද හමුදාවේ කණ්ඩායම් විසින් ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.
ඇ. රාජ්‍ය නායකයකුට ලබාදෙන ආරක්‍ෂාවට සමාන ආරක්‍ෂාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා පාකිස්තානු රජය විසින් ලබාදිය යුතුය.

04. තවද ඉහත පළමුවන ජේදයේ සඳහන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක උපදේශක විසින් ලබාදී ඇති වාර්තාව සබැඳිව මා විසින් මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්  (Marshal of the Air Force) රොෂාන් ගුණතිලක අද දින අමතා වැඩිදුර විස්තර ලබාගන්නා ලදී. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු සංචාරය ඉතා වැඳලත් හා දැඩි ආරක්‍ෂක වැඩපිළිවෙලක් යටතේ සැළසුම් කර ඇති බව පෙනී යයි.

05. නිසි කටයුතු සඳහා කාරුණික ඉදිරිපත් කරමි.

(ලිපිය අවසන්)

මෙම පාකිස්තානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදී තර්ජන ඇති බවට අග්‍රාමාත්‍ය කාර්යාලය ක්‍රීඩා අමාත්‍යංශය දැනුවත් කිරීමෙන් පසුව ආරක්‍ෂාව පිළිබඳව නැවත ගැටලුවක් මතුවූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශය හරහා ආරක්‍ෂක අමාත්‍යංශයෙන් උපදෙස් බලාපොරොත්තු විය.  

 


අදහස් (0)

පාකිස්තානු සංචාරය ක්‍රියාත්මකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.