Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු ඉලක්කය එංගලන්තය පරාජය කිරීමයි

පළමු ඉලක්කය එංගලන්තය පරාජය කිරීමයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වන හයවැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ පළමු ඉලක්කය පළමු තරගයේදී එංගලන්තය පරාජය කිරීම බව ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු ‘ලංකාදීප’යට පැවසීය.

ප්‍රසාද ලකුණු 58 ක් පමණක් හිමි ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරිමේ අටවැනි ස්ථානයේ පසුවෙයි. ප්‍රසාද ලකුණු 123 ක් ලබා සිටින එංගලන්ත කණ්ඩායම ශ්‍රේණිගත ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

චමරි අතපත්තු ‘ලංකාදීප’ ය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.  
“අපේ කණ්ඩායම දැන් සිටින තත්ත්වය අනුව අවසන් මහ තරගයකට එනවට වඩා අපේ සැළැස්ම තරගයෙන් තරගය ජය ලබා ඉදිරියට යෑමයි. එංගලන්තයට එරෙහිව පළමු තරගය ජය ලැබීම මගේ පළමු ඉලක්කයයි”
“ලෝක කුසලානයක් ගැන සිතන්න පෙර අපි තරගයෙන් තරගයට යන්න වෙනවා. ඉන්දීය සංචාරයේ අපි හොඳට කරපු නිසා ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි යන විශ්වාසය තියෙනවා”

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී 2-1 ක ජයක් ඉන්දීය පිල සතුවිය.

“ඉන්දීය කණ්ඩායමත් ඉතාමත් හොඳ කණ්ඩායමක්. එදා දිනයේ හොඳට කරන කණ්ඩායම අනිවාර්යෙන් ජය ලබනවා. මම විශ්වාස කරනවා අපි අපේ වැරදි අඩු කරලා අපේ උපරිමයෙන් ක්‍රීඩා කළ හොත් ඕනම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්. ප්‍රතිවාදීන් කොතරම් ප්‍රබල ද කියන එක නොවෙයි වැඳගත් අපි උපරිමයෙන් ක්‍රීඩා කරන එකයි”

“එංගලන්ත තරග ජය ලබන්න හැකි වුණොත් මම හිතනවා අපිට අවසන් පූර්ව තරගයක් පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා”

මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කීපදෙනකු ඇතුළත්ව සිටීම පිළිබඳව චමරි මෙසේ පැවසීය.

“ලෝක කුසලානයකට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ පමණක් සහ කනිෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ පමණක් යන්න බෑ. අනාගය වෙනුවෙන් අනිවාර්යෙන්ම තරුණ ක්‍රීඩිකාවන් අවශ්‍යයි. නමුත් අත්දැකීම් ඇති ක්‍රීඩිකාවනුත් අවශ්‍යයි”
“දස්කම් අතර සිටින අත්දැකීම් තියෙන සහ විස්සයි20 තරගවලට ගැලපෙනවා යැයි හිතෙන ක්‍රීඩිකාවන් තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස මෙම සංචිතයේ ඉන්නෙ. ඒෂානි, ශෂිකලා, ශ්‍රීපාලි සහ ඩිලානි සංචිතයේ ඉන්නවා.

ඒෂානි ඉන්දීය සංචාරයේදී දස්කම් අතරට ආවා. ශෂිකලා සහ ශ්‍රීපාලි දස්කම් අතර ඉන්නවා. ඩිලානිත් දස්කම් අතරට එයි කියලා හිතනවා. මම හැරුණම සෙසු අය තරුණ ක්‍රීඩිකාවන්”

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරිය වන චමරි අසාර්ථක වුවහොත් ජය ලැබිය නොහැකි යන මතය පිළිබඳව චමරි මෙසේ අදහස් දැක්වූවාය.

“ඕනෑම කණ්ඩායමක ඉන්නවා තරග දිනවන්නියන්. අපේ කණ්ඩායමේ ඒෂානි, ශෂිකලා සහ මම තමයි මම හිතන්නේ ප්‍රධාන වෙන්නේ. පසුගිය කාළේ මම දස්කම් අතරට ආවාම තරග ජය ලැබුවා. ඒක මට අමතර පීඩනයක් නොවයි. මගේ වටේ කණ්ඩායම එකතු වෙනවා කියලා මෙම දන්නවා”

“තරගයකදී එක වර ක්‍රීඩිකාවන් සිවුදෙනෙක් හෝ පස්දෙනෙක් දස්කම් අතරට ආවොත් අපිට ජය ගන්න පුළුවන්. මම හිතනවා එහෙම වුණොත් අපිට ජය ගන්න හැකි වෙයි කියලා”

හර්ෂ ද සිල්වා මහතා නැවතත් පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව ඇති වූ වෙනස පිළිබඳව චමරි මෙසේ පැවසුවාය.

“හර්ෂ සර් පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී 2013 වසරේ අපි හොඳ තත්ත්වයක සිටියා. අපි ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය සහ ඉන්දියාව පරාජය කළා. ඒ වගේම දකුණු අප්‍රිකාව පරාජය කළා. විස්සයි20 සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන් බවට පත්වුණා”

“මම හිතන්නේ හර්ෂ සර් පෞද්ගලික හේතුවක් මත ඕස්ටේ්‍රලියාවට ගියේ. ඒ කාලය තුළ ලොකු පසු බෑමක් තියෙනවා. හර්ෂ සර් නැවත පැමිණීමත් සමඟ අපේ පළමු තරගාවලියේ වුණේ ඉන්දියාවට එරෙහිවයි. එහි දෙවැනි තරගය ජය ලැබුවේ නම් අපිට තරගාවලිය ජය ලබන්න තිබුණා”

ඉන්දීය පිල හමුවේ එක්දින තරගාවලියේදී 2-1 ක පරාජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පිල හමුවේ පැවැති විස්සයි-20 තරගාවලියේදී තරග 4 ක්ම පරාජය විය. අනෙක් තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.
“හර්ෂ සර් නැවත පැමිණීමත් සමඟ ලොකු වෙනසක් තියෙනවා. පුහුණුකරුගෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට එන්න. ඒක තමයි අපේ ලෝක කුසලාන තරගාවලියේ දිගු බලාපොරොත්තුව”

“හර්ෂ සර් නැවත පැමිණීමෙන් පසු විශාල වෙනක් තියෙනවා. එහිදී කණ්ඩායම් හැගීම කියන දේ කණ්ඩායමට ඇවිත් තියෙනවා. පුහුණුකරු ඇවිත් කළ ප්‍රධානම දේ තමයි කණ්ඩායමේ සමගිය නිර්මාණය කරපු එක. ඔහු කියන්නේ කණ්ඩායමේ දස්කම්වල නොවෙයි ප්‍රශ්නය තියෙන්නේ කණ්ඩායම් හැගීම කියන එක තමයි කියලයි. එයින් දැන් සියයට 20 ක් නැත්නම් 30 කණ්ඩායමේ සාර්ථකත්වය ඉහළ ගිහින් තියෙනවා”

“පසුගිය මාස එකහාමාරක විතරදී පන්දුවට පහරදීමේ සහ පන්දු රැකීමේ දියුණුවට වැඩ කළා. මෙම ලෝක කුසලානයේදී ලොකු වෙනසක් කරන්න බැරි වුණත් වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා”
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුගිය බදාදා (31) පස්වරුවේ කොදෙව් දූපත් බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය එංගලන්ත පිලට එරෙහිව නොවැම්බර් මස 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය නොවැම්බර් මස 9 වැනිදා සිට 24 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වෙයි.

ශ්‍රී ලංකාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය පළමු වටයේදී ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරයි.


ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ අයර්ලන්තය ‘බී’ කාණ්ඩයේ තරග කරයි.

ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වන තරග
● නොවැ. 11 - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ග්‍රොස් අයිලට්හිදී
● නොවැ. 13 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ග්‍රොස් අයිලට්හිදී
● නොවැ. 15 - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ග්‍රොස් අයිලට්හිදී
● නොවැ. 17 - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය ග්‍රොස් අයිලට්හිදී


විස්සයි20 කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම

ඡායාරූප : ගයාන් අමරසේකර


අදහස් (0)

පළමු ඉලක්කය එංගලන්තය පරාජය කිරීමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.