Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට සටනකින් තොර ජයක්

නවසීලන්තයට සටනකින් තොර ජයක්

editorial - 2019 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තය ලකුණු 46 - 14 කින් පරාජය කළ නවසීලන්ත ක්‍රීඩකයෝ රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. ජපානයේ ටෝකියෝ නුවරදී අද (19 වැනිදා) පැවැති මෙම තරගයේදී නවසීලන්තය ලබාගත්තේ සටනකින් තොර ජයකි.

නවසීලන්තය ගෝල 4 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගනිද්දී අයර්ලන්තයට ලබාගත හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් උත්සාහක දිනුමක් පමණි.

මේ වන විට ලෝක කුසලාන තරග 18 ක් එක දිගට දිනා සිටින නවසීලන්තය ලබන සෙනසුරාදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී එංගලන්තය හමුවන්නේ පිට පිටම තුන්වැනි වතාවටත් ලෝක කුසලාන දිනාගැනීමේ අවස්ථාව පරදුවට තබමිනි. පුහුණුකරු එඩී ජෝන්ස්ගේ එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිටින ප්‍රබලතම කණ්ඩායමක් වන අතර ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 2 වැනි ස්ථානය හිමි කණ්ඩායමයි.

නවසීලන්තය වාර්තා කළ උත්සාහක දිනුම් 7 න් පළමු දෙකම ලබාගත් ඒරන් ස්මිත්, කල්වේලා ඇතිවම සිය කණ්ඩායම ඉදිරියට ගෙනාවේය. එතැන් සිට ඉතාම දැඩි ආරක්‍ෂක පියවර අනුගමනය කළ නවසීලන්ත ක්‍රීඩකයෝ විනඩි 69 ක් යන තුරුත් අයර්ලන්තයට ලකුණක් ලබාගැනීමට අවසර නොදුන්හ.

අයර්ලන්තයද ලෝක ශ්‍රේණිගත කිරීම් අතරෙ 4 වැනි ස්ථානයේ සිටින ප්‍රබල කණ්ඩායමක් වන නමුත් අද දිනයේ ඔවුන්ගේ සුපුරුදු දස්කම් ගිළිහීගිය ආකාරයක් දකින්නට තිබිණ. අයර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජය වන්නේ 7 වැනි වතාවටය.

ඒරන් ස්මිත්ගේ පළමු උත්සාහක දිනුම් දෙකම ගෝල බවට ප්‍රවර්ථනය කෙරුණු අතර තරගයේ වීරයා වූ බියුඩන් බැරට් තවත් උත්සාහක දිනුමකින් 32 වැනි විනාඩිය වන විට 22-0 ක් ලෙසින් නවසීලන්තය ඉදිරියෙන් තැබීය. පළමු අර්ධය නිමා වන විට ලකුණු තත්ත්වය එයම විය.

දෙවැනි අර්ධයේදී තවත් වේගවත් වූ කළු කමිස කාරයෝ අයර්ලන්තයට හෙළවීමටත් අවස්ථාවක් නොතබා දිගින් දිගටම තවත් උත්සාහක දිනුම් තබන්නට වූහ.

තරගයේ 69 වැනි විනාඩියේදී අයර්ලන්තයේ රොබින් හෙන්ෂෝ තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ ජෝයි කාබෙරි ලකුණු පුවරුව 34 - 07 ක් බවට පත්කළේය. පසුව ලබාගත් දඬුවම් උත්සාහක දිනුම හේතුවෙන් අයර්ලන්තයේ ලකුණු සංඛ්‍යාව දෙගුණ වූ නමුත් ජෝර්ජ් බි්‍රජ් සහ ජෝඩි බැරට් දෙදෙනා තවත් උත්සාහක දිනුම් දෙකකින් නවසීලන්තය ඉදිරියට ගෙන ගියහ.

..


අදහස් (0)

නවසීලන්තයට සටනකින් තොර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.