Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය

දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ජයගනිමින්, වසර 3 ක කාලයක් මුළුල්ලේ එම ක්‍රීඩාංගණයේදී ලද පරාජයන්ගේ අඳුරු සෙවණැලි මකා දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් යැයි පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පවසයි.

දෙවැනි එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පුහුණු සැසියෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ධනංජය ඒ බව පැවසීය. එහිදී ධනංජය මෙසේද කියා සිටියේය.

“මම හිතන්නේ නෑ මේ ක්‍රීඩාංගණය ගැන අපේ ක්‍රීඩයන්ට ගැටලුවක් තියෙනවා කියලා. හැමෝම උත්සාහ කරන්නේ ක්‍රීඩාංගණයට ගියාම තමන්ගේ උපරිමය කරන්න. හෙට දවසෙදිත් අපි කරන දේවල් අනුව තමයි තරගයේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඒ නිසා වැරදි අවම කරගෙන කොහොම හරි හෙට තරගය ජයගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් ජයගෙන ඇත්තේ 2014 වසරේ අගෝස්තු මස 30 වැනිදා පාකිස්තාන කණ්ඩායමට එරෙහිවය. ඉන් අනතුරුව මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එම ක්‍රීඩාංගණයේදී එක්දින තරග 9 කට සහභාගි වී ඇති අතර ඉන් 7 ක් පරාජයට පත්වී තිබේ. ඉතිරි තරග 2 වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.

එහිදී 2015 වසරේ ජූලි මස පාකිස්තානයට එරෙහිව තරගයක්ද, 2016 වසරේ අගෝස්තු මස ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරග 2 ක්ද, 2017 වසරේ මාර්තු මස බංග්ලාදේශයට එරෙහිව එක් තරගයක්ද, 2017 වසරේ අගෝස්තු මස ඉන්දියාවට එරෙහිව එක් තරගයක්ද, 2018 වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2 ක්ද බැගින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

වර්ෂාව සහිත කාලගුණික තත්වයක් පවතින කාල වකවානුවක මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ඉකුත් 10 වැනිදා පැවැති පළමු එක්දින තරගයේදී තරමක් වේගයෙන් ලකුණු රැස්කරමින් තරගයට සාර්ථක ප්‍රවේශයක් ලබාගත්තේය. ඕවර 15 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඔවුහු කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා යහපත් තත්වයක පසුවූහ.

එම තරගයේදී ලසිත් මාලිංග යැවූ ඕවර 5 දී ලකුණු 37 ක්ද, අකිල ධනංජය යැවූ ඕවර 5 දී ලකුණු 30 ක්ද රැස්කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පතවූ නුවන් ප්‍රදීප් සිය ඕවර 5 ලකුණු 23 කට සීමා කළේය.

එංගලන්ත පිතිකරුවන් දිගින් දිගටම සිය දඟ පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබාගැනීම වලක්වාලීම සඳහා හෙට තරගයේදී විශේෂ සැලසුම් කිහිපයක් සූදානම් කර තිබෙන බවද ධනංජයට පැවැසීය. ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය.

“පිතිකරුවන් දිගින් දිගටම ස්විප් පහරවල් වලින් ලකුණු ලබාගන්න කොට ඒක අපිට ලොකු පීඩනයක්. ඒත් අපි උත්සාහ කරනවා පන්දු රැකීමේදී ස්විප් පහරවල් වලක්වන්න පුලුවන් විදියට පන්දු රකින්නන් යොදවලා පිතිරුවන් පීඩනයට පත්කරන්න. මම හිතනවා එතකොට එ් ගොල්ලන්ව දවාගන්න අපිට පහසු වේවි කියලා.”


පළමු තරගයට සහභාගි වූ කණ්ඩායම් දෙකම කිසිදු වෙනස්කමකින් තොරව හෙට තරගයටද ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ. අද පෙරවරුවේදී දඹුල්ල ප්‍රදේශයට තද අව් රශ්මියක් පතිත වුවද, පස්වරුවේදී තරමක් ගිගිරුම් සහිත තත්වයක් පැවැත්විණ.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, අමිල අපොන්සු, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර සහ සධීර සමරවික්‍රම

එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), ජොස් බට්ලර්, ජේසන් රෝයි, ජොනී බෙයාස්ට්‍රෝ, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, මුයින් අලී, ක්‍රිස් වෝක්ස්, ලයෑම් ඬේව්සන්, අදිල් රෂීඞ්, ඔලී ස්ටෝන්, සෑම් කරන්, මාක් වුඞ්, ටොම් කරන් සහ ඇලෙක්ස් හේල්ස්

 

 


අදහස් (0)

දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.