Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ හඬා වැටෙමින් අනතුරු අඟවති

දකුණු අප්‍රිකානුවෝ හඬා වැටෙමින් අනතුරු අඟවති

editorial - 2019 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලියේ තවදුරටත් රැඳීසිටීමේ අවස්ථාව අහිමි කරමින් පාකිස්තානය හමුවේ මුහුණ දුන් පරාජයෙන් පසුව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ මහත් සන්තාපයට පත්ව සිටිති. ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකානුවන් ඊයේ (23 වැනිදා) මුහුණ දුන් ලකුණු 49 ක පරාජය හේතුවෙන් 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසේවි යයි කලින්ම අනුමාන කර සිටි කණ්ඩායමකට වේලාසනින්ම ගෙදර යාම සඳහා ගුවන් ප්‍රවේශපත් වෙන්කර ගැනීමට සිදුවිය.

මෙම පරාජය නිසා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සියලු දෙනාම පාහේ මහත් අපහසුතාවට පත්ව සිටින බව ප්‍රංශ පුවත් සේවය (ඒ.එෆ්.පී) වාර්තා කරයි. තමන් කෙරෙහිම කෝපාවිෂ්ඨව සිටින ක්‍රීඩකයන් දැන් කියන්නේ තමන් පාඩමක් ඉගෙන ගත් නමුත් මීළඟ වතාවේදී අනුකම්පා විරහිතව තරග වදින බවයි.

තරගාවලියේ මූලික වටයේ තරග 7 කට සහභාගි වී සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම ඒවායින් තරග 5 ක් පරාජය වී තිබේ. ඔවුන්ට තවත් තරග දෙකක් (ශ්‍රී ලංකාවට සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව) ඉතිරිව තිබෙන නමුත් එම තරග දෙකම ජයගත්තද අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගැනීම අසීරු වී තිබේ.

දකුණු අප්‍රිකානු පරාජයෙන් පසුව ප්‍රසාද ලකුණු පුවරුව

“මේ තත්ත්වයට මුහුණ දෙන්න ඉතාම අපහසු වේගන එනවා. අපි උත්සාහ කරනවා. ඒත් ඒක අමාරුයි....මමත් මනුෂ්‍යයෙක්නේ....ඒ නිසා මටත් වේදනාව දැනෙනවා”

“මම ක්‍රීඩකයෙක් හැටියටත් නායකයකු හැටියටත් ආඩම්බර වෙනවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම කියන්නේ මට විශාල දෙයක්. ඒත් මේ වෙලාවේ අපට මුහුණ දෙන්න තියෙන ප්‍රතිඵලය සමග ගනුදෙණු කිරීම ඉතාම අසීරුයි” යයි පාකිසාතානු පිල හමුවේ ලද පරාජයෙන් පසුව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි පැවසීය.

දකුණු අප්‍රිකානු පිලේ සිටින ප්‍රබලතම වේග පන්දු යවන්නා වන කගීසෝ රබාඩා කීවේ ඉරිදා පැවැති තරගයේදී වගේම තරගාවලිය පුරාත් දකුණු අප්‍රිකානුවන් තමන්ගේ හැකියාවට සාධාරණය ඉටුවන ආකාරයෙන් ක්‍රීඩා නොකළ බවයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 7 ක් නිමාවී තිබියදීත් එකම ශතකයක් හෝ ලබාගැනීමට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ අපොහොසත් වූහ. තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 68 කි. ක්වින්ටින් ඩි’කොක් දෙවරක්ම (ඇෆ්ඝනිස්තානයට සහ එංගලන්තයට එරෙහිව) ලකුණු 68 ක් බැගින් ලබාගත් අතර රාසි වැන්ඩර් ඩසන් නවසීලන්ත පිලට එරෙහි තරගයේදී නොදැවී ලකුණු 67 ක් ලබාගත්තේය.

දකුණු අප්‍රිකානුවන්ගේ පන්දු රැකීමද බෙහෙවින් දුර්වල වී තිබිණ. තරග  හතකදී ලැබුණු උඩපන්දු 31 කින් 7 ක් ඔව්හු බිම දැමූහ.

මෙවර තරගාවලියේ තරග 30 ක් නිමා වන විට වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් ලබාගැනීමට අවසර දුන් පන්දු යවන්නා වන්නේද කගීසෝ රබාඩාය. රබාඩා හමුවේ පිතිකරුවන් ලබාගත් හතරේ පහර සංඛ්‍යාව 34 කි.

“අපට කණගාටුව ප්‍රකාශ කරන්න වචන නෑ. අපි පුහුණුවීම් වලදී උපරිම වෙහෙස මහන්සියෙන් ක්‍රීඩා කළා. කරන්න අවශ්‍ය දේ ගැන කතා කළා. ඒත් තරගයේදී ඒක කරගන්න බැරිවුණා....”

“අපි සූදානම් වුණා. විශ්ලේෂණය කළා. හොඳ මානසික ශක්තියකින් තරගයට ආවා....ඒත් ඒවා ක්‍රියාත්මක කරගන්න බැරිවුණා” යයි කගීසෝ රබාඩා කීවේ මහත් වේදනාවෙනි.

නායක ෆෆ් ඩු’ප්ලෙසි පවසන පරිදි ලෝක කුසලාන තරගාවලියේදී එක දිගට ලැබූ පරාජයන් හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටී තිබේ. එබැවින් ඔව්හු වැඩි වැඩියෙන් වැරදි කරති. එහෙත් ඒ තත්ත්වයෙන් මිදීමේ අවස්ථාව මෙන්ම වගකීම ඇත්තේත් ක්‍රීඩකයන්ටමය.

“දන්නවද..? මට පුළුවන් නම්,....මගේ මැජික් යෂ්ඨිය අරගෙන ඇවිත් ක්‍රීඩකයන් වෙනුවෙන් ලකුණු ලබාගන්නවා. ඒත් අවාසනාවකට වගේ මට ඒ දේ කරන්න බෑ” යයිද ෆෆ් ඩු ප්ලෙසි පැවසීය.

රබාඩා මෙන්ම ඩු’ප්ලෙසි දෙදෙනාම පවසන්නේ තමන් පාඩම ඉගෙන ගත් බවත් මීළඟ වතාවේදී වඩාත් සටන්කාමී ලෙසින් තරග වදින බවත්ය.

“අපි ඊළඟ තරගයට එන්නේ මේ තරගාවලියේදී අපට කළ නොහැකි වූ දේ කරලා පෙන්වන්නයි. ස්ථිර වශයෙන්ම අපි උපරිමයෙන් සටන් වදිනවා” යයි රබාඩා පැවසීය.

දකුණු අප්‍රිකානු පිලේ මීළඟ තරගය පැවැත්වෙන්නේ ලබන සිකුරාදා (28 වැනිදා) ශ්‍රී ලංකා පිලට එරෙහිවය. ලෝක කුසලාන තරගාවලියට පෙර දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට අත්වූයේ 5-0 ක තරගාවලි පරාජයකි.

 


අදහස් (1)

දකුණු අප්‍රිකානුවෝ හඬා වැටෙමින් අනතුරු අඟවති
  • Gihan Monday, 24 June 2019 09:51 AM

    නියමයි ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.