Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවන්ගේ දොරටු වැසේ

දකුණු අප්‍රිකානුවන්ගේ දොරටු වැසේ

editorial - 2019 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ලෝඞ්ස්හිදී අද (23 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 49 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානය සමත්විය. ඒ අනුව පාකිස්තානය තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමිකරගත් අතර දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන්වී ගියේය.

දකුණු අප්‍රිකානුවන්ට මෙන්ම තමන්ටද අද තරගය බෙහෙවින් තීරණාත්මක බව දන්නා මැද පෙළ පිතිකරු හැරිස් සොහේල්ගේ ප්‍රචණ්ඩ පිතිහරඹය හේතුවෙන් පාකිස්තානුවෝ නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 308 ක් ලබාගත්හ. අනෙක් අතට ලෝක කුසලාන තරග ඉතිහාසය දෙස බැලීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමක් විසින් හඹාගොස් පසුකරන ලද ඉලක්කය ඇත්තේ 297 දීය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සිය දෙවැනි තරගයට ක්‍රීඩා කරන හැරිස් සොහේල්ගේ ඉනිමෙන් කියා දුන්නේ ඔහු මීට වඩා තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ යුතුව තිබූ බවයි. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයෙන් පසුව හැරිස් සොහේල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි විය.

හැරිස් සොහේල් හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමගින් පන්දු 59 කදී ලකුණු 89 ක් ලබාගන්නා අතරේ බාබර් අසාම් ක්‍රමාණුකූලව ලකුණු 69 ක් ලබාගත්තේය. දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 81 කි.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කිරීමත් සමගම ෆකාර් සමාන් සහ ඉමාම් උල් හක් දෙදෙනාගෙන් කදිම ආරම්භයක් ලැබිණ. ලකුණු 81 ක සම්බන්ධතාව දිගහැරෙද්දී පාකිස්තානු බැනියම් වලින් සැරසුනු නරඹන්නන්ගෙන් සිය කණ්ඩායමට ලැබුණේ විශාල සහයෝගයකි.

ලුන්ගි න්ගිඩිගේ පන්දුවක් ෆකර් සමාන් විසින් නරඹන්නන් අතරට යැවීමත් සමගම පාකිස්තානු ලකුණු පුවරුව ඕවර 6 කදී කිසිවකු නොදැවී 44 ක් ලෙසින් සටහන් විය. ක්‍රිස් මොරිස්ගේ පන්දුවක් හමුවේ ෆකර් සමාන් ගැසූ පහරකින් උඩපන්දුවක් රැකගත්තේ යයි ඉම්රාන් තහීර් කියා සිටියද රූපවාහිනී පුනරූපන වලින් හෙළිවූයේ පාකිස්තානයේ උපන් දකුණු අප්‍රිකානුවාගේගේ දෑත් අතර සිරවීමට පෙර පන්දුව බිම වැදුණු බවයි.

තහීර් නැවතත් පන්දු යැවීමට පැමිණි අවස්ථාවේදී පාකිස්තානු නරඹන්නන්ගේ සරදමට ලක්වූ නමුත් ෆකර් සමාන්ගේ කඩුල්ල දවාගැනීමට තහීර් සමත් වූයේය. ඒ සමගම දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන කඩුලු සංඛ්‍යාවක් දවාගත් ඬේල් ස්ටේන්ගේ වාර්තාව (39) සමකිරීමටද තහීර් සමත් වූයේය.

1992 දී නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයට පිවිසි දකුණු අප්‍රිකානුවෝ එදා සිට සෑම ලෝක කුසලාන තරගාවලියකදීම පාහේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසියහ. දකුණු අප්‍රිකානුවන්ට දෙවැනි වටය අහිමි වූයේ 2003 දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ කළ ගණන් වරද්දාගැනීම නිසාය.

එහෙත් අද තරගය පරාජය වුවහොත් බලාපොරොත්තු වූවාටත් වඩා වේලාසනින්ම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවනු ඇත. ඬේල් ස්ටේන් ඇතුළු වේග පන්දු යවන්නන් තුවාල ලබා සිටීම හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින නමුත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසේ යයි බලාපොරොත්තු තැබූ කණ්ඩායමක් වෙතින් දක්නට ලැබුණේ බලාපොරොත්තු වූවට වඩා අඩු දස්කම්ය.  

 

..


අදහස් (0)

දකුණු අප්‍රිකානුවන්ගේ දොරටු වැසේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.