Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිරිය දියණි හිරුණි

දිරිය දියණි හිරුණි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී නිමාවූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කාන්තා මැරතන් තරගයට සහභාගි වූ හිරුණි විජේරත්න පැය දෙකකුත් විනාඩි 49 ක කාලයක් පුරා අඛණ්ඩව ධාවනයේ යෙදෙමින් එහි 11 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වූවාය.

පැය 2 විනාඩි 32.40 කාලයක් වාර්තා කරමින් නැම්බියාවේ හෙලෙලියා ජොහැන්නස් රන් පදක්කම දිනාගත් අතර ඕස්ට්‍රේලියාවේ ලීසා වෙයිට්මන් සහ ජෙසිකා ටේ්‍රන්ගෝව් පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ. එහෙත් වැඩි දෙනාගේ අවධානයට ලක්වූයේ තරගය නිමා කළ එකම ආසියාතික ක්‍රීඩිකාව වෙමින් හිරුණි විසින් පෙන්නුම් කරන ලද සුවිශේෂී ආත්ම විශ්වාසයයි.

තරගාවලියේ අවසන් දිනය වූ ඉරිදා (15 වැනිදා) පෙරවරුවේදී මැරතන් තරගය පැවැත්විණ. ශ්‍රී ලංකාව නියෝජනය කළ හිරුණි 11 වන ස්ථානයට පත්වන්නේ පැය 2 විනාඩි 49.38 කාලයක් වාර්තා කරමිනි. ඒ රන් පදක්කම දිනාගත් හෙලෙලියාගේ කාලයට වඩා විනාඩි 16.58 කාලයක් පිටුපසින් සිටිමිනි.

හිරුණිගේ අභිප්‍රාය වූයේ ඇයගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් කරා යාමයි. එහෙත් මැරතන් තරගයක් සඳහා ගෝල්ඞ් කෝස්ට් නුවර පැවැති කාලගුණය එතරම් යහපත් තත්ත්වයක නොවීය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක් තරම වූ අතර ආර්ද්‍රතාව (වාතයේ ඇති ජලවාෂ්ප සංයුතිය) 75% ක පමණ අගයක පැවතිණ.

ඉතාමත් ධෛර්යවත් ලෙසින් තරගය ආරම්භ කළ හිරුණි 15 වැනි කිලෝමීටරය දක්වා ඉදිරි පෙළ කණ්ඩායමේ සිටියාය. එහෙත් එතැන් සිට පසුපසට වැටුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව තරගයේ අවසන් කොටසේදී විශිෂ්ට සටන්කාමීත්වයක් පෙන්වමින් 11 වැනි ස්ථානය අත්කර ගත්තාය.

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැති අර්ධ මැරතන් තරගයක් පැය 1යි, විනාඩි 14.07 කින් නිමා කරමින් ජයගත් හිරුණි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත්තේ ඇමරිකාවේ හුස්ටන්හිදී පැවැති මැරතන් තරගයකදී පැය 2යි විනාඩි 38.35 ක කාලයක් වාර්තා කරමිනි. එය නව ශ්‍රී ලංකා වාර්තාවක්ද විය.

ධෛර්යවත් විලසින් තරගය නිමා කළ හිරුණි විජේරත්න තරගයෙන් අනතුරුව සිය මුහුණු පොතේ මෙවන් සටහනක් තැබුවාය.

“මැරතන් තරග කියන්නේ මහත් අසීරු ඉසව්වක්. ඒ ආරම්භයේ සිට අවසානය දක්වා කිලෝ මීටර 26 ක් තියෙන නිසාම නෙමේ...හොඳ මැරතන් තරගයක් සඳහා කිසිම විශ්වාසයක් තියන්න බැරි නිසයි.....”

“ගොඩාක් වෙහෙසිලා පුහුණු වීම් කළාට පස්සේ හොඳ මැරතන් තරගයක් කරන්න පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් ඒ අවස්ථාව එහෙමම ලැබෙන්නේ නෑ. අනෙක තරගය නිමා කරන්න නම් අපේ තියෙන හැම දේම දෙන්න වෙනවා”

“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියලා මා දැනගත්තා. කිලෝ මීටර 17 දී ‘දැන් නම් සේරම ඉවරයි’ කියලා මට දැනුණා. 18 වැනි කිලෝ මීටරයේ සිට 26 වැනි කිලෝ මීටරය දක්වා ගතකළේ මගේ ජීවිතයේ වඩාත්ම අසීරු පැයයි”

“මම හිටියේ තනියම....මගේ දෙපා වෙව්ළමින් තිබුණේ. උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 90 ට වැඩියි. මගේ කකුල් වලින් දුවගන්න බැරි වුණාම මම හදවතින් දිව්වා. කඳුළු වැල් ගලාගෙන ගියා....ඇත්තටම මම අවසානය කරා දිව්වා නෙමෙයි ඇවිද්දා....මොකද මම මටම පොරොන්දුවක් වෙලා තිබුණා කොහොම හරි තරගය අවසන් කරනවා කියලා.....බඩගාගෙන හරි යනවා කියලා...ඉතින් මම එහෙම කළා.....11 වැනි ස්ථානය....පැය 2 යි විනාඩි 49 කට පස්සේ ආසියාවෙන් තරගය අවසන් කරපු එකම කෙනා....”

“කොහොම වුණත් මා අයෙත් එනවා. වඩාත් ශක්තිමත්ව, බුද්ධිමත්ව, ජයග්‍රහණයේ පිපාසයෙන් ආයිමත් එනවා. ඒ නිසා මේ වෙලාවේ මා කෙරේ විශ්වාසය තැබූ, මට සහයෝගය දුන්, මා වෙනුවෙන් ඔල්වරසන් නැගූ ඔබ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අද දවස ඔබ වෙනුවෙනි...ඉදිරියටත්...ඉහළටත්...එලෙසමය”

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පදිංචි වී සිටින හිරුණි විජේරත්න මීටර 10,000 ඇතුළු දුර ධාවන තරග සඳහාම පුහුණු වන්නීය.

 


අදහස් (0)

දිරිය දියණි හිරුණි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.