Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිළිණ විජේසිංහ අලි අමාරුවක වැටෙයි

තිළිණ විජේසිංහ අලි අමාරුවක වැටෙයි

editorial - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(හර්ෂ අමරසිංහ)

ශ්‍රී ලංකාවේ සිටින දක්‍ෂතම ෆුල් බෑක් ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන තිළිණ විජේසිංහ තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන් බරපතළ තරග තහනමකට ලක්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

මහනුවර පිල නියෝජනය කරන ෆුල් බෑක් ක්‍රීඩක විජේසිංහ අන්තර් සමාජ රග්බි තරගාවලියේදී දැක්වූ දක්‍ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ මෙන්ම ජාතික රග්බි කණ්ඩායමේත් ස්ථාන දිනාගත් ක්‍රීඩකයෙකි. එහෙත් මේ වන විට ඔහු මුහුණ දී සිටින චෝදනාව හේතුවෙන් අඩුම තරමේ වසරක වත් තරග තහනමකට ලක්වීමේ අවදානමකට තිලිණ මුහුණ දී සිටී.

දැන් පැවැත්වෙන අන්තර් සමාජ රග්බි තරගාවලියේදී යුද හමුදා පිලට එරෙහිව විශිෂ්ඨ ගණයේ උත්සාහක දිනුම් දෙකක් ලබාගත් විජේසිංහ පසුගිය සතියේදී පොලිසියට එරෙහි තරගයට සහභාගි නොවීම විමතියට කාරණයක් විය. පසුව කළ සොයාබැලීමකදී දැනගත හැකිවූයේ තහනම් උත්තේජක ලබාගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තුරු රග්බි තරග වලට සහභාගි විය නොහැකි බවයි.

ශ්‍රී ලංකා රග්බි සංගමයට ඉතාමත් තදින් සම්බන්ධ ආරංචි මාර්ගයකින් දැනගන්නට හැකිවූයේ මීට මාස හයකට පමණ ඉහතදී කිසියම් උත්තේජකයක් ඔහු ලබාගෙන ඇති බවයි. එහෙත් ඒ බව හෙළිදරව් වී ඇත්තේ සති කිහිපයකට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සිටි අවස්ථාවකදීය.

“ඒ පෙති ගත්තා” යයි තිළිණ විජේසිංහ දැනටමත් පිළිගෙන ඇති බවත් එම ආරංචි මාර්ගයෙන් දැනගත හැකිවිය.
“ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් කරනු ලබන පරීක්‍ෂණයකදී මේ බව හෙළිදරව් වුණා. ක්‍රීඩකයා ඒ පෙති ලබාගෙන ඇති බවත් පිළිගත්තා......මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ කෙරෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි ආයතනයට කිසිවක් කිව හැක්කේ අදාළ පරීක්‍ෂණ අවසන් වුණාට පස්සෙයි”

“කොහොම වුණත් ඔහුගේ තහනම අවුරුදු දෙකක් නොවේ නම් අඩුම තරමේ අවුරුද්දක් වත් වේවි” යයි ද එම ආරංචි මාර්ගය තහවුරු කළේය.

මේ අතර මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රකාශකයෙක් ‘ඩේලි මිරර්’ පුවත් පතට පවසා ඇත්තේ තිළිණ විජේසිංහ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් තවමත් තමන්ට දැනගන්නට ලැබී නැති බවයි. කෙසේ වෙතත් තම ක්‍රීඩා සමාජය අදාළ පරීක්‍ෂණ අවසන් වන තුරු බලා සිටින බවද මහනුවර පිලේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

විජේසිංහ කණ්ඩායමේ නොමැතිවීම මහනුවර පිලට දැඩි සේ බලපාන්නකි. මෙවර රග්බි තරග වාරයේදී සහභාගි වූ තරග හතරම ජයගනිමින් අපරාජිත වාර්තාව රැකගෙන සිටින මහනුවර කණ්ඩායම 21 වැනි වතාවටත් අන්තර් ක්‍රීඩා සමාජ ශූරතාව හඹා යමින් සිටී. කෙසේ වෙතත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් බිහිවූ දක්‍ෂතම ෆුල් බෑක් ක්‍රීඩකයකු වන තරින්ද රත්වත්ත මහනුවර පිලට බඳවා ගැනීමත් ඔවුන්ට ඇති එක සහනයකි.

 


අදහස් (0)

තිළිණ විජේසිංහ අලි අමාරුවක වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.