Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි

තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සිදුවූ පරිදි ගැලවුම්කාරයා නැවතත් ඉදිරිපත් වී තිබේ. එහෙත් ප්‍රතිවාදීන් දෙස බැලු කල්හි මේ වතාවේදී නම් සුරංග ලක්මාල් හමුවේ ඇත්තේ පහසු අභියෝගයක් නොවේ. 


එංගලන්තයට එරෙහිව මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හෙට (14 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට පෙරාතුව පැවැතියේ එවන් වාතාවරණයකි. දිගින් දිගටම පැවැති වර්ෂාව තරමක් පාලනය වී තිබෙන අතර හෙට පෙරවරු 10.00 ට තරගය ආරම්භ කිරීමට ඇතිවිය හැකි බාධාවක් ඊයේ සවස් වන තුරුත් පෙනෙන්නට නොතිබිණ. 


ගාල්ලේදී පැවැති තරගය පරාජය වූ නමුත් 2018 වසරේදී ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් වාර්තාව සාර්ථක එකකි. මේ වසර මුල සිටම ටෙස්ට් තරග 8 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඒවායින් තරග 4 ක් ජයගෙන තිබේ. ජයගත් තරග 4 න් දෙකක්ම ශ්‍රී ලංකාවෙන් පිටතදී ජයගත් ඒවාද වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී පරාජය වී ඇත්තේ ටෙස්ට් තරග දෙකක් පමණි. 


“එක තරගයක් පැරදුණා කියලා අපි මානසිකව වැටිලා නෑ. මොන දේ වුණත් අපි ක්‍රීඩා කරන්නේ අපේ මව්බිමේදී.....අපට මේක වැදගත් තරගයක්. අපි තරගාවලියේ රැඳී ඉන්න නම් මේ තරගය දිනන්න ඕනේ” යයි තාවකාලික නායක සුරංග ලක්මාල් ඊයේ දහවල් පල්ලෙකැළේදී පැවසීය. 


චන්දිමාල් ප්‍රශ්නයකට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගත් සුරංග ලක්මාල් කණ්ඩායම මෙහෙයවූ ටෙස්ට් තරග තුනේදීම ශ්‍රී ලංකා පිල ජයගත්තේය. 


පල්ලෙකැළේ තරගය පිතිකරුවන්ගේ අවස්ථාව ද විය හැකිය. 


දකුණු අප්‍රිකානු පිලට එරෙහිව දිමුත් කරුණාරත්න ලබාගත් ලකුණු 169 හැරෙන්නට ශ්‍රී ලංකාවේදී පැවැති අවසන් ටෙස්ට් තරග තුනේදී වෙනත් කිසිම ශ්‍රී ලංකා පිතිකකරුවෙකු දිගු ඉනිමක් ක්‍රීඩා කර නැත. එහෙත් හෙට තරගයට පිවිසිය හැකි පිතිකරුවන් හය දෙනා අතර සිටින කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා යන ඕනෑම ක්‍රීඩකයකුට ටෙස්ට් තරගයකදී දිගු ඉනිමක් කරා යාමේ හැකියාව නොඅඩුවම තිබේ. නැත්තේ ඒ වෙනුවෙන් තිබිය යුතු තදබල උනන්දුව පමණි. 


කුසල් මෙන්ඩිස් සිය කෙටි ටෙස්ට් දිවියේ දෙවතාවක්ම ලකුණු 190 පසුකර ඇතත් එකම ද්විත්ව ශතකයක් හෝ ලබා නැත. කුමාර් සංගක්කාර 2015 වෙලින්ටන් නුවරදී ලබාගත් ද්විත්ව ශතකයෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම ටෙස්ට් ද්විත්ව ශතකයක් හෝ වාර්තා නොවීමත් සටහන් කළ යුතුව තිබේ. එහෙත් ඒ සඳහා අවස්ථාව ඕනෑ තරම් තිබිණ. ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොතිබුණේ නම් ඒ වෙනුවෙන් තිබිය යුතු තදබල ආශාව සහ උද්යෝගය පමණි. 


ගාල්ල තරගයේදී එංගලන්ත දඟ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කඩුලු 16 ක් බිඳ වැටුණ නමුත් මෙම තරගයේදීත් දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් සකස් කර දෙන මෙන් ශ්‍රී ලංකා නායකයා ඉල්ලා තිබේ. 


රංගන හේරත් කණ්ඩායමේ නොමැති අවස්ථාවක මෙම තීරණය තනි කකුලෙන් ඒදණ්ඬේ යාම වැනි අභියෝගයකි. මක්නිසාද යත් රංගන හේරත් කඩුලු දවාගත්තත් නැතත්, ටෙස්ට් කඩුලු 433 ක හිමිකරුවකු වන හේරත්ගෙන් ලැබෙන උපාය මාර්ගික උපදෙස් සෙසු දඟ පන්දු යවන්නන්ට මහත් පිටුවහලක් වන බැවිනි. මේ වන විට පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත ලයිස්තුවට එක්ව සිටින අකිල ධනංජයගේ පිට දඟ පන්දුවද මෙම තරගයේදී අහිමි වීමේ වැඩි ඉඩක් තිබේ. 


ගාල්ල ක්‍රීඩාංගණයේදී මෙන්ම පල්ලෙකැළේදීත් තණතීරුවට ඉතාමත්ම ආසන්නයෙන් තිබෙන්නේ හණ ගෝණි එකට එක තබා මැසූ ආවරණයකි. තණතීරුවේ තිබෙන අන්තිම තෙත බිඳුවත් එයින් උරාගනු ලබයි. එබැවින් පල්ලෙකැළේ තණතීරුව දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයක් බවත් කාසියේ වාසිය දිනාගන්නේ කවරෙකු වුවද පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගන්නා බවත් අරුමයක් නොවේ. 


“ඇත්තම කියනවා නම් දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් සකස් කරලා අතිරේක වේග පන්දු යවන්නකු ගැන හිතන එකේ තේරුමක් නෑ. ඇරත් අතිරේක වේග පන්දු යවන්නකු යොදාගන්න ඕනෑ නම් අපට පිතිකරුවකු ඉවත් කරන්න වෙනවා.....ඒ නිසා අපි ඒ ගැන හිතලා නෑ. මොකද අපේ බලාපොරොත්තුව දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් නිසා” යයි ද ලක්මාල් පැවසීය. 


පන්දුව යැවීමේ ඉරියව්ව සැක සහිත ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට එක්ව සිටින අකිල ධනංජය මෙම තරගයට ක්‍රීඩා කරන නමුත් ඔහුගේ පිට දඟ පන්දුව පල්ලෙකැළේදී දැකගත හැකිවේද යන්න සැක සහිතය. කෙසේ වෙතත් අකිල ධනංජය ඊයේත් ඔහුගේ පිට දඟ පන්දුව පුහුණු වෙමින් සිටියේය. 


“මම ධනංජයට කතා කළා. මම එයාට කිව්වේ එක දෙයයි..චෝදනාව ගැන හිත කරදර කරගන්න එපා. මේ තරගය ගැන අවධානය යොමු කරන්න කියලයි” යයි සාර්ථකත්වය සම්බන්ධයෙන් 100% ක වාර්තාවක් සහිත ශ්‍රී ලංකා නායකයා පැවසීය. 


පසුගිය ඉරිදා (11 වැනිදා) පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට ඇතුළත් වූ අකිල ධනංජය දින 14 ක් ඇතුළතදී ඒ සම්බන්ධ පරීක්‍ෂණයකට මුහුණ දිය යුතුව තිබේ. 


පළපුරු ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් කණ්ඩායමේ නොසිටියද තරුණ ක්‍රීඩකයන් කෙරේ නායකයාගේත් පුහුණුකරුවාගේ මෙන්ම තේරීම් කමිටුවේත් විශ්වාසය රැඳවී තිබේ. 


“චන්දිමාල් වෙනුවට අපට රොෂේන් සිල්වාත්, චරිත් අසංලකත් දෙදෙනාම ඉන්නවා. ඒ දෙන්නාගෙන් කෙනෙක් 11 දෙනාට ඇතුළත් වේවි ඒත් අපි තවමත් තීරණය කරලා නෑ එයා කවුරුද කියලා” යයි පැවසූ ලක්මාල් වැඩිදුරටත් කියා සිටියේ රංගන හේරත්ගේ ස්ථානයට ලක්ෂාන් සඳකැන් හෝ මාලින්ද පුෂ්පකුමාර ඇතුළත් වන බවයි. 


දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු සකස් කළද දකුණු අප්‍රිකානු පිලේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ කේෂව් මහරාජ් සහ තබ්රේෂ් ෂම්සි දෙනොට වඩා ගව් ගණනක් ඉදිරියෙන් එංගලන්ත දඟ පන්දු යවන්නෝ සිටිති. අනෙක් අතට එංගලන්ත දඟ පන්දු යවන්නන් තිදෙනා අතරේ ඉදිරිපෙළ පිතිකරුවකු (මොයින් අලී) මෙන්ම ලකුණු 20 ක් 30 ක් ලබාගත හැකි පිතිකරුවෝ දෙදෙනෙක්ද වෙති. එංගලන්ත කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව ඇතුළේ ඉදිරිපෙළ පන්දු යවන්නකු වන බෙන් ස්ටෝක්ස්ද සිටී. අංක 8 ස්ථානයෙන් පන්දුවට පහර දෙන්නට එන නමුත් සෑම් කරන්ද බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවෙකි.


එංගලන්ත පිලේ අවසන් ටෙස්ට් තරග 6 න් තරග 5 කදීම සෑම් කරන් සාර්ථක වූ අතර එංගලන්තය එම තරග පහම ජයගත්තේය. සෑම් කරන් ක්‍රීඩා නොකළ එකම තරගයේදී එංගලන්තය ඉන්දියාව හමුවේ පරාජය විය. 


එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 123 ක් ක්‍රීඩා කරමින් කඩුලු 433 ක් දවාගෙන සිටින ස්ටුවර්ට් බ්‍රෝඞ්ටත් එංගලන්ත පිලේ 11 දෙනා අතර ස්ථානයක් සොයාගත නොහැකිව ඇත්තේ බෙන් ස්ටෝක්ස් සහ සෑම් කරන් දෙදෙනා සිටින බැවිනි. ඔවුන් දෙදෙනා පමණක් නොව ක්‍රිස් වෝක්ස්ද එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ස්ථානය සොයමින් සිටී. 


මේ සියලු කරුණු සලකා බැලූ කල්හි, මේ වන විටත් තරගාවලියේ 1-0 ක් ඉදිරියෙන් සිටින එංගලන්තයට සිය කණ්ඩායම වෙනස් කිරීම සඳහා අවශ්‍යතාවක් නැත. 

ශ්‍රී ලංකා සංචිතය 
සුරංග ලක්මාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, චරිත් අසලංක, මාලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ අකිල ධනංජය


එංගලන්ත සංචිතය 
ජෝ රූට් (නායක), මුයීන් අලි, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, ජේම්ස් ඇන්ඩසන්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, කීටන් ජෙනින්ංග්ස්, ජැක් ලීච්, අදිල් රෂීඞ්, බෙන් ස්ටෝක්ස්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්, ජොනී බෙයාර්ස්ටෝ සහ බෙන් ෆෝක්ස්

 

අදහස් (0)

තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.