Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාක් - කෞෂාල් ශූරතා දිනති

ජාක් - කෞෂාල් ශූරතා දිනති

editorial - 2019 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල, පාන්ගොල්ල සන්නහා සන්නද්ධ බලකා මූලස්ථාන ධාවන පථයේදී ඉකත් ඉරිදා පැවැති ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට කෞෂාල් සමරසිංහ සමත් වෙද්දී, ජාක් ගුණවර්ධන එහි දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.

කලකට පසු මෝටර් රථ තරග බිමට අවතීර්ණ වූ කෞෂාල්, තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් වූයේ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර දෙකම ජයගනිමිනි. එය ඔහු ‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලියක දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ පළමු අවස්ථාව ලෙසද සටහන් විය.

පළමු අදිරේදී උෂාන් පෙරේරා සමගද, දෙවැනි අදියරේදී කුෂාන් පීරිස් සමගද කරට කර තරගයක නිරත වූ කෞෂාල් අවසානයේදී එම අදියර දෙකේම ජයග්‍රහණ තමන් සතුකර ගත්තේය. පළමු අදියරේ දෙවැනි ස්ථානයට පත්වූ උෂාන්ට දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූයේ කුෂාන් එහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීම හේතුවෙනි.

කාල ගණනයට අනුව එම ඉසව්වේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානයට හිමිකම් කීමට අශාන් සිල්වා සමත් වූ නමුත් පළමු අදියර අතරතුරදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා ඔහුට සිය සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි විය. පළමු අදියරේදී තෙවැනි ස්ථානයට පත් වූ අෂාන්ට දෙවැනි අදියර නිමා කිරීමට අවස්ථාවක් නොලැබිණ.

වසර පුරා කැපී පෙනෙන දස්කම් දැක්වූ ජාක්, එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ අදියර දෙකම ජය ගනිමින් මෙම තරගාවලියේද දක්ෂතම දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් විය. මෙම වසරේදී ජාක් දක්ෂතම යතුරුපැදි කිරුළක් දිනාගත් සිවුවැනි අවස්ථාව මෙය වන අතර ඔහු ‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ පළමු අවස්ථාවද මෙය විය.  

එම ඉසව්වේ පළමු අදියරේ පස්වැනි වටය දක්වා පෙරමුණේ ගමන් කිරීමට සමීර ප්‍රේමරත්න සමත් වුවද, හයවැනි වටය තුළදී ඔහු පසුපසට ඇද දමනිමින් තරගයේ පෙරමුණ තමන් සතුකර  ගැනීමට ජාක් සමත් විය. එතැන් පටන් පළමු අදියරේ තරග නිමාව දක්වාම ජයග්‍රාහී ලීලාවෙන් ගමන් කළ ජාක්, ඉතා දක්ෂ ලෙස දෙවැනි අදියරද ජයගත්තේය.

පළමු අදියරේ තෙවැනියා බවට පත්වූ ඉවෝන් බියාජි ගුරුසිංහ, දෙවැනි අදියරේදී ජාක්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් දෙවැනි ස්ථානයට පත් විය. එහෙත් පළමු අදියරේ දෙවැනි ස්ථානයට පත්වූ සමීර ප්‍රේමරත්නට දෙවැනි අදියර නිමා කළ මුල් ක්‍රීඩකයන් පස්දෙනා අතරට එක්වීමට පවා නොහැකි විය.

මෙවර තරගාවලියේදී යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමට හොණ්ඩා කණ්ඩායම නියෝජනය කළ ඉමාල් මංචනායක සමත් වූ අතර එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි (සිලින්ඩර ධාරිතාව 250 සිට 750 දක්වා) ඉසව්වේ අදියර දෙකම ජය ගනිමින් ඔහු එම ජයග්‍රහණයන්ට හිමිකම් කීවේය.

එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද ස්ට්‍රීට් ට්‍රේල් යතුරුපැදි ඉසව්වද වඩාත් තරගකාරී ඉසව්වක් වූ අතර එහිදී ළහිරු ජීවන්ත, ශානුක සඳරුවන් සහ ඉවෝන් බියාජි ගුරුසිංහ අතර කරට කර තරගයත් පැවැත්විණ. පළමු අදිරය ජයගත් ළහිරු, දෙවැනි අදියරේදී දෙවැනි ස්ථානය පත් වූ අතර පළමු අදියරේ තෙවැනි ස්ථානයට පත්වූ ශානුක, දෙවැනි අදියර ජයගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහා සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව 9 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළේය.

-036


අදහස් (0)

ජාක් - කෞෂාල් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.