Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපානය පෙරළිකාර ජයකින් කඩුල්ල පැනගනී

ජපානය පෙරළිකාර ජයකින් කඩුල්ල පැනගනී

editorial - 2019 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ නව පිටුවක් සටහන් කරමින් පළමු වරට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ජපානය අද (13) පස්වරුවේ සමත් විය. යොකොහාමාහිදී ඊයේ පැවැති මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේදී සත්කාරක ජපානය ලකුණු 28-21 කින් ස්කොට්ලන්තය පරාජය කරමින් අපරාජිතව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනුණි.
 
ජපානය 1987 පළමු රග්බි ලෝක කුසලානයේ සිට ආසියාව නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලි අටකට සහභාගි වී ඇති අතර පළමු වටයේ සියලුම තරග ජය ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ.
 
අටවැනි ලෝක කුසලාන තරගාවලියේදී 2015 වසරේ පළමු වටයේ තරග හතරෙන් තුනක් ජය ලැබීම මීට පෙර ඉහළම ප්‍රතිඵලය බවට පත්ව තිබුණි. ජපානය එම තරගාවලියේදී තරග තුනක් ජයග්‍රහණය කළ ද අතිරේක ප්‍රසාද ලකුණු රැස්කිරීමට අපොහොසත්වීමෙන් අර්ධ අවසන් පූර්ව වටය අහිමිවිය. එහිදී ස්කොට්ලන්තය ද තරග තුනක් ජය ලබා අතිරේක ප්‍රසාද ලකුණු 2 ක් ලබා ප්‍රසාද ලකුණු 14 ක් ලබා අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියේය.
සෙසු ලෝක කුසලාන තරගාවලි හයේම පළමු වටයේ තරග 19 ක් පරාජය වී ඇති ජපානය අතර තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ජපානය මෙම ජයග්‍රහණ හතරත් සමගින් ලෝක කුසලාන රග්බි තරග 32 කින් තරග 8 ක් ජය ලබා තරග 22 ක් පරාජයට පත්ව ඇති අතර තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් වී ඇත.
 
ජපානය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සැබෑ පෙරළිකරුවන් බවට මේ වන විට පත්ව සිටියි. මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වූයේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටි අයර්ලන්තය පරාජය කරමින් ජපානය පෙරළියට මුල පුරුවේය.
 
ජපානය එම ජයග්‍රහණයත් සමඟ පළමු වටයේ තරග හතරම ජය ලබා ප්‍රසාද ලකුණු 19 ක් හිමිකරගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගත්තේය. අයර්ලන්තය තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 16 ක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.
 
ජපන් ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-7 ක් ලෙස පෙරමුණ ගැනීම ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් බවට පත්විය. ස්කොට්ලන්ත ක්‍රීඩක ෆින් රසල් 7 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. නායක ග්‍රෙඞ් ලයිඞ්ල්වා එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ස්කොට්ලන්තය ලකුණු 7-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

ජපානයට මිනිත්තු අටක් තුළ එකතු වූ උත්සාහක දිනුම් දෙකට අතිරේක ලකුණු ද මුසුවීමෙන් 26 වැනි මිනිත්තුව වන විට ලකුණු 14-7 ක් ලෙස ජපානය පෙරමුණ ගත්තේය. ජපානයට පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී එකතු වූ ගෝලයත් සමඟ ලකුණු පුවරුව 21-7 ක්ව තිබියදී එම අර්ධය අවසන් විය.
 
දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් ගතවීමට පෙර එනම් තරගයේ 42 වැනි මිනිත්තුවේදී ෆුකුඕකා ඉතා විශිෂ්ට ලෙස ස්කොට්ලන්ත ඉදිරිපෙළ වෙතින් ලබාගත් පන්දුව ගෝල සීමාවේ පතිත කිරීමෙන් ජපානය ගව් ගණනක් ඉදිරියට පැමිණියේය. එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමඟ ජපානය ලකුණු 28-7 ක් ලෙස පරතරය ලකුණු 21 ක් බවට පත්කරගත්තේය.
 
මෙම උත්සාහක දිනුමත් සමඟ ජපානයට අතිරේක ප්‍රසාද ලකුණ ද එකතු විය.
 
ඉන් මිනිත්තු අටකට පසුව ස්කොට්ලන්ත ඉදිරි පෙළ ක්‍රීඩක ඩබ්ලිව්. පී. නෙල් ගෝල සීමාව ආක්‍රමණය කළ අතර නායක ලයිඞ්ල්වා අතිරේක ලකුණු දෙක එකතු කිරීමෙන් ලකුණු තත්ත්වය 28-14 ක් බවට පරිවර්ථනය විය.
ෆින් රසල් ක්‍රියාත්මක වෙමින් 55 වැනි මිනිතත්ුවේදී ස්කොට්ලන්තයට සිය දෙවැනි උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ තරගයේ උණුසුම වැඩිවිය. එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 28-21 ක්ව පරතරය 7 ක් බවට පත්විය.
 
කෙසේ වෙතත් ජපානය අවසන් මිනිත්තු 25 තුළ සිය ලකුණු හත රැකගැනීමේ උපක්‍රමයක යෙදමින් ජය තහවුරු කරගත්තේය.  
 


 

- 048
 

 


අදහස් (0)

ජපානය පෙරළිකාර ජයකින් කඩුල්ල පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.