Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් කණ්ඩායමේ දොරටුව අබියස

චන්දිමාල් කණ්ඩායමේ දොරටුව අබියස

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී හෙට (14 වැනිදා) පැවැත්වෙන විස්සයි20 තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එකම විස්සයි-20 තරගය සඳහා නම් කරන ලද සංචිතයට ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ඇතුළත්ව නැත.

නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ උපුල් තරංග හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් 5 දෙනා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතය. උපුල් තරංග එක්දින තරගාවලියේදී දිගින් දිගටම අසාර්ථක වූ බැවින් තරංගගේ ස්ථානය චන්දිමාල්ට හිමිවීමට වැඩි ඉඩක් තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සහ අවසන් එක්දින තරග දෙකේදීම සාර්ථක වූ දසුන් ශානකද සිටින බැවින් කණ්ඩායමේ පිතිකරුවන් හත් දෙනා සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිලට අර්බුදයක් නොමැත.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ෂෙහාන් ජයසූරිය, පළමු තරගයේදී ලකුණු නොලබා දැවී ගිය අතර දෙවැනි තරගයේදී රැස්කළේ ලකුණු 18 ක් පමණි. ඒ හේතුවෙන් ඔහු හෙට තරගයට එක්වන්නේ නම් ඒ ජයසූරිය සතු පිට දඟ පන්දු යැවීමේ හැකියාව නිසාය.

මෙම විස්සයි20 තරගය සඳහා නම් කරන ලද සංචිතයට චන්දිමාල් තෝරාගනු ලැබුවේ ඔහුට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් සභාව පනවා තිබූ තරග 6 ක තහනම අවසන් වීමෙන් පසුවය. ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීම් ලැබෙන විට ඔහු දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අතර පැවැත්වෙමින් තිබූ එක්දින තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියේය.

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායකයා ලෙස දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම එරෙහිව පැවැති පළමු නිල නොවන එක්දින තරගයට ක්‍රීඩා කළ චන්දිමාල්, එහිදී පන්දු 38 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 58 ක් රැස්කළේය. එම තරගයෙන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට ලකුණු 215 ක දැවැන්ත ජයක් ලැබීය.

මේ දක්වා විස්සයි20 තරග 52 කට සහභාගි වී ඇති චන්දිමාල් එහිදී ලකුණු 738 ක් රැස්කරගෙන ඇත්තේ අර්ධ ශතක 4 ක් සමගිනි. විස්සයි20 තරගයකදී 103.50 ක පන්දුවට පහරදීමේ වේගයක් රඳවාගෙන සිටින චන්දිමාල්ගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය සටහන් වන්නේ 17.57 ක් ලෙසිනි. මේ වසරේ (2018) මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව කොළඹදී පැවැති විස්සයි20 තරගය චන්දිමාල් සහභාගි වූ අවසන් විස්සයි20 තරගයයි.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය සහ ශ්‍රී ලංකා නැඟී එන සංචිතය යන සංචිත දෙකටම නම් කර සිටි ක්‍රීඩකයන් අතරින් ජෙෆ්රි වැන්ඩසේ සහ ෂෙහාන් මධුෂංක දකුණු අප්‍රිකා නැඟී එන කණ්ඩායමට එරෙහිව හෙට (14 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට සහභාගී වන බැවින් ඔවුන් දෙදෙනා වෙනුවට ඉසුරු උදාන සහ කසුන් රාජිත ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (13 වැනිදා) නිවේදනය කර සිටියේය.

දකුණු අප්‍රිකානු විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩුප්ලෙසි ආබාධයකට ලක්ව සිටීම නිසා හෙට තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී. ඩුමිනිට පැවරී ඇතැයි වාර්තවේ. විස්සයි20 ජාත්‍යන්තර තරග 76 කට ක්‍රීඩා කර ඇති ඩුමිනි, එහිදී අර්ධ ශතක 11 ක් සමග ලකුණු 1822 ක් රැස්කරගෙන ඇති අතර බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව කඩුලු 20 කි.  

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර (2018) තුළදී විස්සයි20 තරග 6 කට සහභගි වී තිබේ. එහිදී බංගලාදේශයට එරෙහිව පැවැති තරගය 4 න් 2 ක් ජයගෙන 2 ක් පරාජය වූ ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහිව පැවැති තරග 2 න් තරගයක් ජයගෙන සෙසු තරගය පරාජයට පත්විය. දකුණු අප්‍රිකාව මේ වසර තුළදී සහභාගි වී ඇත්තේ විස්සයි20 තරග 3 කට පමණි. ඉන්දියාවට එරෙහිව පැවැති එම තරග 3 න් 2 ක් ජයගත් දකුණු අප්‍රිකාව, සෙසු තරගය පරාජයට පත්විය.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව විස්සයි20 තරග බිමේදී අවසන් වරට මුණගැසී ඇති අවස්ථා 5 න් 3 කදීම දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර සෙසු අවස්ථා දෙකේදී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.


ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, බිනුර ප්‍රනාන්දු, ඉසුරු උදාන සහ කසුන් රාජිත

දකුණු අප්‍රිකානු සංචිතය
ජේ.පී. ඩුමිනි (නායක), හෂීම් අම්ලා, ක්වින්ටින් ඩි’කොක්, රීසා හෙන්රික්ස්, හෙන්රිච් ක්ලාසෙන්, ඒඞ්න් මාක්‍රම්, ඬේවිඞ් මිලර්, විලියම් මල්ඩර්, ඇන්ඩිල් පෙලුක්වායෝ, කේෂව් මහරාජ්, තබ්‍රේස් ශම්ෂි, කගිසෝ රබාඩා, ලුන්ගි න්ගිඩි සහ ජූනියර් ඩලා

 

 


අදහස් (0)

චන්දිමාල් කණ්ඩායමේ දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.