Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්ඩි පිතිකරු ලයිස්තුවේ 4 හෝ 5 ට

චන්ඩි පිතිකරු ලයිස්තුවේ 4 හෝ 5 ට

යොහාන් භාසුර - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව රාවල්පින්ඩි නුවරදී මේ මස 11 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී හිටපු නායක දිනේෂ් චන්දිමාල් පිතිකරු ලැයිස්තුවේ අංක හතර හෝ පහ ස්ථාන දෙකෙන් එකක ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා පැවසීය.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල තරග දෙකකින් යුත් සංචාරයට අද (8 වැනිදා) රාත්‍රීයේ පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා පිල පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී අසන්ත ද මැල් මහතා මෙසේ පැවසීය.

“දිනේෂ් චන්දිමාල් අංක හතරේ හෝ පහ ස්ථානයේ ක්‍රීඩා කරයි. මම මේ පිළිබඳව පුහුණුකරු සමඟත් සාකච්ඡා කළා. චන්දිමාල්ගේ අත්දැකීම් පිතිකරු ලැයිස්තුවේ එම ස්ථාන දෙකට වටිනවා. දිමුත් එක්කත් මම සාකච්ඡා කළා. මම හිතනවා ඔහුගේ අත්දැකීම් වැදගත්”

ශ්‍රී ලංකා පිලේ අවසන් ටෙස්ට් තරගාවලිය වූ නවසීලන්ත තරගාවලියේදී චන්දිමාල් සංචිතයට ඇතුළත්ව සිටිය ද ඔහුට කණ්ඩායමේ ස්ථානයක් නොලැබුණි.

උණ රෝගය නිසා රෝහල්ගතව සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සම්බන්ධයෙන් අසන්ත ද මෙල් මහතා මෙසේ අදහස් දැක්වීය.

“සුරංග මීට දින දෙකකට පමණ පෙර තමයි අපිට කිව්වෙ ඔහු අසනීපෙන් කියලා. ඔහුට ඩෙංගු උණ කියලා තමයි කියන්නේ. ඒ නිසා ඔහුට විවේක ගන්න වෙනවා. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා”

“සුරංගගේ ස්ථානයට පසුගිය කාලයේ වැඩිම දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු ආදේශ කළා. නමුත් ඔහු මේ වන විට නේපාලයේ ඉන්නේ. 11 වැනිදා සාග් ක්‍රීඩා අවසන් මහ තරගයට ක්‍රීඩා කරලා 12 වැනිදා හෝ 13 වැනිදා නැවත ලංකාවට ඇවිත් පාකිස්තානයට එයි. ඒ අනුව අපිට ඔහුගේ සේවය ලබාගන්න වෙන්නේ දෙවැනි තරගයට පමණයි”

“සුරංග නැති වීම පාඩුවක් තමයි. ඒත් අපිට ලෙඩ වෙන එක නවත්වන්න බෑ”

“කසුන් රාජිත, ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු වේගපන්දු යවන්නන් ලෙස සංචිතයේ ඉන්නවා. අපි පුහුණුකරුත් එක්කත් සාකච්ඡා කළේ වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් දෙදෙනා බැගින් ක්‍රීඩා කරන්න. තණතීරුවේ තණකොළ තිබුණොත් වේග පන්දු යවන්නන් තිදෙනෙක් ක්‍රීඩා කරන්නත් අපිට ප්‍රශ්නයක් නෑ” යැයි අසන්ත ද මැල් මහතා වැඩි දුරටත් පැවසීය.   

නායක දිමුත් කරුණාරත්න මෙම සංචාරයේ වැදගත්කම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගාවලිය මෙය වීම නිසා මෙම තරගාවලිය අපිට ඉතාමත් වැදගත් තරගාවලියක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අපේ ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි වෙන්නේ වසර 10 කට පසුවයි”

“මම ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනෙක්ම පාකිස්තානයේ සංචාරය කරන්නේ පළමු වතාවටයි. පාකිස්තානයේ මීට පෙර පැවැති එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් අපිට ආරක්‍ෂාව පිළිබඳව හොඳ සහතිකයක් දීලා තියෙනවා”

“සුරංග ලක්මාල් නොමැති වීම ලොකු පාඩුවක්. විශ්ව ප්‍රනාන්දුට එය හොඳ අවස්ථාවක්”

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දීමෙන් පසුව පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පිලේ උපදේශක ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක යන මහත්වරු ද සහභාගි වූහ.  

 


අදහස් (0)

චන්ඩි පිතිකරු ලයිස්තුවේ 4 හෝ 5 ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.