Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෙක්කෙන් බැරිනම් කොක්කෙන් නම්බුව බේරා ගන්න

කෙක්කෙන් බැරිනම් කොක්කෙන් නම්බුව බේරා ගන්න

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන්ගේ නම්බුව බේරා ගැනීමට අවශ්‍ය නම් ‘කෙක්කෙන්  බැරිනම් කොක්කෙන්’ හෝ ලකුණුත් කඩුලුත් ලබාගත යුතු බව ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රී තුන්වැනි ටෙස්ට් තරගයට පොරතුව සිය කණ්ඩායමට කියා තිබේ. ඉන්දියාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් තරගය අද (18 වැනිදා) නොටිංහැම්ෂයර්හිදී ආරම්භ වෙයි.  

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියේදී පළමු තරග දෙකම පරාජය වී සිටින ඉන්දීය කණ්ඩායම මේ වන විටත් 0-2 ක් ලෙසින් තරගාවලියේ පසුපසට වැටී සිටී. එහි වඩාත්ම භයංකාර තත්ත්වය වන්නේ අද (18 වැනිදා) නොටිංහැම්ෂයර්හිදී ආරම්භ වන තුන්වැනි තරගයත් පරාජය වුවහොත් එංගලන්තය හමුවේ තරගාවලි පරාජයක් ලබන්නේ ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වීමයි. 

එජ්බැස්ටන්හි පැහැති පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය පිලට ලකුණු 31 ක පරාජයක් හිමිවිය. පසුගිය සතියේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායම ඉනිමක සහ ලකුණු 159 ක දැවැන්ත පරාජයක් ලැබීය. 

මෙවැනි අවස්ථාවලදී තමන්ගේ ගෞරවය වෙනුවෙන් සටන් කිරීමේ ක්‍රමය කියාදීමට ශාස්ත්‍රි තරම් සුදුස්සෙකු නැති තරම්ය. වමතින් පා දඟ පන්දු යවන්නකු වශයෙන් සිය තරග දිවිය ආරම්භ කළද සිඞ්නි පිටියේදී ආරම්භක පිතිකරුවකු වෙමින් ටෙස්ට් ශතක 11 කට හිමිකම් කියන රවී ශාස්ත්‍රි ඉන්දියාව වෙනුවෙන් කිහිප අවස්ථාවකදීම සටන්කාමී ඉනිම ක්‍රීඩා කර තිබේ. 1980 දශකයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කැරීබියන්හි පැවැති තරගාවලියකදී ශතකයක් ලබාගත් ශාස්ත්‍රි 1990 දී ලෝඞ්ස් සහ ඕවල් ක්‍රීඩාංගණයේදී ලකුණු 107 ක් සහ 187 ක් ලබාගත්තේය. 

“අවස්ථාව ආවම ඒක මානසික සමබරතාව පිළිබඳ ප්‍රශ්නයක්. එතැන තියෙන්නේ ප්‍රශ්නයට මුහුණ දීලා, මනසින් ප්‍රශ්නය යටකරගන්න එකයි. මේ ටෙස්ට් තරගයට යන සියලුම පිතිකරුවන් හමුfවේ තියෙන අභියෝගය ඒකයි” යයිද ඉන්දීය පුහුණුකරුවා පැවසීය. 

මේ වන විට පිටකොන්දේ ආබාධයකට මුහුණ දෙමින් අපහසුතාවකට පත්ව සිටින විරාට් කෝලි සම්බන්ධයෙන් වුවත් රවී ශාස්ත්‍රීට ඇත්තේ වෙනස් මතයකි. ශාස්ත්‍රී කියන ආකාරයට පවතින තත්ත්වය දරාගනිමින් කෝලි ක්‍රීඩා කළ යුතුව තිබේ. 

“ඔබ ගැනම විශ්වාස කරන්න” ඔහු කෝලිට කීවේය. 

“මීට පෙර අවස්ථා දෙක තුනකදීම ඔබ මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීලා ඒ හැම අවස්ථාවකදීම සාර්ථකව ප්‍රතිචාර දක්වලා තියෙනවා. මේ වතාවෙත් ඒකම කරන්න” යයි ශාස්ත්‍රි සිය නායකයාට පවසා ඇත. 

“ලෝඞ්ස් පිටියේදී පරජය ගැන ඒ තරම් හිතන්න යන්න එපා. එතැන තිබුණ තත්ත්වය වේග පන්දු යවන්නන්ට හරිම වාසිදායකයි. ඒ වගේ දෙයක් ඕනෑම කණ්ඩායමකට වෙන්න පුළුවන්”

“ඒත් මෙතැන ඉන්නේ ආපසු හැරෙන කණ්ඩායමක් නෙමේ. ඒක සහතිකයි....අපට ඕනේ දිනන්න..එච්චරයි” යයි ඉන්දීය පුහුණුකරුවා සිය නායකයාට කියා තිබේ. 

අද ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයේදී පිතිකරු ලයිස්තුවට තවත් විශේෂඥ පිතිකරුවකු එක් කිරීමට ඉන්දියාව සූදානම් වෙයි. එහෙත් එය තණතීරුවේ ස්වභාවය මත රඳා පවතින්නකි. 

“තණතීරුව පන්දු යවන්නන්ට වාසිදායක වගේ නම් අපි තවත් පිතිකරුවකු කැඳවනවා” යයි විරාට් කෝලි පැවසීය. 

මේ අතර බෙන් ස්ටෝක්ස් නැවතත් සංචිතයට එක්ව සිටීම නිසා එංගලන්ත තේරීම් කමිටුව උහතෝකෝටිකයකට මුහුණ දී සිටී. 

ස්ටෝක්ස් කණ්ඩායමේ සිටිමින් පළමු තරගයේදී එංගලන්ත පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය ක්‍රීඩකයාය. දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රිස් වෝක්ස් කැඳවන ලද්දේ නඩු විභාගයට යැවීම සඳහා ස්ටෝක්ස්ට නිවාඩු දීමේ අවශ්‍යතාව තිබූ බැවිනි. එහෙත් දෙවැනි ටෙස්ට් තරගයේදී ශතකයක් සමගින් කඩුලු 4 ක් දවාගත් ක්‍රිස් වෝක්ස් එංගලන්ත පිල ජයග්‍රහණය කරා ගෙන ගිය ක්‍රීඩකයාද විය. 

 - 213


අදහස් (0)

කෙක්කෙන් බැරිනම් කොක්කෙන් නම්බුව බේරා ගන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.