Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු

කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු

Nisanka Sandeepani - 2018 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නිසාම මහේල ජයවර්ධනගේ සමුගැනීමෙන් පසු හිස් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බර උසුලන්නාගේ ස්ථානය හෙවත් අංක 4 ස්ථානය සඳහා සුදුසුම ක්‍රීඩකයා මෙන්ඩිස් බවද බොහෝ ක්‍රීඩා විචාරයෝ කියති. 

අයර්ලන්තයට එරෙහිව අර්ධ ශතකයක් ලබාගනිමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ මෙන්ඩිස්, තරග 29 කදී ඉනිම් 28 ක් තුළ ලකුණු 39.18 ක සාමාන්‍යයක් රැඳවාගනිමින් එක්දින ලකුණු 1000 සීමාව ඉක්මවා ගියේ ක්‍රීඩා විචාරකයන්ගේ කියමන් නිවැරදි බව පසක් කරමිනි. මෙන්ඩිස්ගේ එම ලකුණු 1000 බංග්ලාදේශයට එරෙහිව දඹුල්ලේදී ලබාගත් අනර්ඝ ශතකයකින් සහ අර්ධ ශතක 11 කින් සමන්විත විය. 

මේ වන විට එක්දින තරග 51 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මෙන්ඩිස්, එහිදී ලකුණු 1325 ක් රැස්කරගෙන සිටියි. කෙසේ වුවත් ඔහු ඉන් ලකුණු 1086 ක්ම ලබාගෙන ඇත්තේ සහභාගි වූ මුල් තරග 31 තුළදීය. අවසන් වරට සහභාගි වූ තරග 20 තුළදී මෙන්ඩිස්ට රැස්කරගත හැකි වී ඇත්තේ ලකුණු 239 ක් පමණි. එහි සාමාන්‍ය ලකුණු 11.95 කි.  

ඉකුත් අගෝස්තු මස දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී ලබාගත් ලකුණු 38, අවසන් තරග 20 තුළ ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ. 

ඉන් පෙනී යන්නේ පසුගිය කාල වකවානුව තුළ මෙන්ඩිස්ගේ ක්‍රීඩා විලාශයේ යම් පසුබෑමක් දක්නට ලැබෙන බවයි. සහභාගි වූ අවසන් තරග 20 තුළ 5 වරක් ලකුණු නොළබා දැවී ගිය මෙන්ඩිස්, එම අවස්ථා 5 ද ඇතුළත්ව අවස්ථා 10 කදී ලකුණු 10 සීමාව පසුකර යෑමට අපොහොසත් වී තිබේ. අවසන් වරට ඔහු අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්ව ඇත්තේ මින් වසරකට පමණ පෙර එනම් 2017 වසරේ ජූනි මාසයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැති තරගයකදීය. 

මෙන්ඩිස්ගේ අවසන් එක්දින තරග 20 ට දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළ තරග 5 ක්, ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ තරග 4 ක්, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරග 4 ක්, බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කළ තරග 4 ක්, පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරග 2 ක් සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරගයක් ඇතුළත් වේ. මුල් තරගවලදී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය තරගාවලියේ 5 වැනි තරගයේදී සහ පාකිස්තාන තරගාවලියේ තෙවැනි තරගයේදී මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානයක් අහිමි විය. 

එම තරග 20 තුළ අවස්ථා 13 කදී කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 168 ක් රැස්කළ මෙන්ඩිස්, අවස්ථා 2 කදී අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 69 ක්ද රැස්කිරීමට සමත් විය. අංක 5 පිතිකරු ලෙස ක්‍රීඩා කළ අවස්ථාවකදී ලකුණු 2 කට දැවී ගිය ඔහු, අංක 6 පිතිකරු ලෙස ක්‍රීඩා කළ අවස්ථාවකදී සහ ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ අවස්ථා 2 කදී ලකුණු නොළබා දැවී ගියේය.  

අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ තරග 13 දී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 12.92 ක අගයක් ගන්නා අතර අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කළ තරග 2 දී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 34.5 ක අගයක් ගනී. ඉන් පෙනී යන්නේ කණ්ඩායම තුළ පන්දුවට පහරදීම සඳහා මෙන්ඩිස්ට වඩාත් ගැළපෙන ස්ථානය අංක 3 ටත් වඩා අංක 4 බවයි. කණගාටු දායක කරුණ වන්නේ කණ්ඩායමේ කළමනාකාරීත්වය එය තේරුම් නොගැනීමයි. 

එක් ස්ථානයක ස්ථාවර වී නිදහසේ ඔහුට ඉනිම ගොඩනැගීමට ඉඩ කඩ ලබා දෙනවා වෙනුවට තරගයෙන් තරගයට ඔහුගේ ස්ථානය වෙනස් කරමින් මෙන්ඩිස්ගෙන්ම යැපීමට බලා සිටීම ඔහුට මෙන්ම කණ්ඩායමටද හානි දායක බව වටහා ගත යුතුව තිබේ. 

මේ දිනවල මෙන්ඩිස් මුහුණ පා සිටින ආසාර්ථකත්වයට බෙහෙවින්ම හේතුවී ඇත්තේද ඔහුට කණ්ඩායම තුළ පන්දුවට පහරදීම සඳහා ස්ථිර ස්ථානයක් නොමැතිවීම බව බොහෝ විචාරකයෝ පවසති. ආසියානු කුසලාන තරගාවලියේදී මෙන්ඩිස් ආරම්භක පිතිකරුවකු ලෙස අත්හදා බැලීමට කණ්ඩායමේ කළමනාකාරීත්ව කටයුතු කිරීම ඊට කදිම නිදසුනක් ලෙස හැඳින්විය හැකිය. 

කණ්ඩායම පළපුරුදු ආරම්භ පිතිකරුවන් කිහිප දෙනෙක්ම (කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා සහ ෂෙහාන් ජයසූරිය) සිටියදී ඉනිම ආරම්භ කිරීම සඳහා උපුල් තරංග සමගින් මෙන්ඩිස් යොදාගැනීම කෙතරම් දුරට සාර්ථක වූයේ දැයි මේ වන විට සියල්ලෝම දනිති. 

ඉන් සිදුවූයේ ඉනිම ආරම්භ කළ අවස්ථා දෙකේදීම කුසල් ලකුණු නොලබා දැවී යෑම පමණක් නොව, සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පීඩනයකට ලක්වීමයි. මෙවර ආසියානු කුසලාන තරගවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීමට හේතුව උඩ පන්දු අත්හැරීම පමණක් නොවේ. පිතිකරුවන්ගේ ආසාර්ථකත්වයද ඊට තදින් බලපෑවේය. තරග දෙකේදීම ලකුණු 250 කට වැඩි ඉලක්ක කරා යාම සඳහා සාර්ථක ආරම්භයක් නොලැබීමත් ඊට හේතුවක් බව කියයුතුව තිබේ. 

ඉතාම පැහැදිළිව කිව හැක්කේ කුෂල් මෙන්ඩිස්ගෙන් මීට වඩා යමක් ලබාගත හැකි බවයි. එහෙත් ඒ සඳහා දිගින් දිගටම අසාර්ථක වෙද්දී මෙන්ඩිස්ව පිතිකරු ලයිස්තුවේ ඉහළට සහ පහළට තල්ලු කරනවා වෙනුවට ඔහුට වඩාත් සුදුසු කොටස තෝරා බේරා දීම අගනේය. ඒ වෙනුවෙන් තරග කිහිපයක් කණ්ඩායමෙන් ඉවත් කර තැබුණද එය කණ්ඩායමේත් මෙන්ඩිස්ගේත් යහපත පිණිස වෙයි. 

 


අදහස් (2)

කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.