Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක

ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක

ශනුක අරවින්ද - 2018 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම ඒ හැටි අසීරු කාර්යයක් නොවන බව ලෝක කුසලාන තරගාවලියේ  අවසන් පූර්ව තරගයට එක්වීමට සූදානම් වන ක්‍රොඒෂියාවේ කළමනාකරු ස්ලැට්කෝ ඩේලික් ආඩම්බර ලීලාවෙන් යුතුව කියයි.  එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර අවසන් පූර්ව තරගය මොස්කව් නුවර ලුසිනිකි ක්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) පැවැත්වෙයි. 
 
මේ කණ්ඩායම් දෙකම මොස්කව් නුවරදී තරග වදින්නේ මේ මස 15 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අටියෙනි.
 
මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙස රන් සපත්තුව සම්මානය කරා යමින් සිටින එංගලන්ත පිලේ නායක හැරී කේන් සහ රහීම් ස්ටර්ලින් අනිද්දා තරගයේදී ක්‍රොඒෂියාවට ඇති ලොකුම තර්ජනය බව පිළිගැනීමට කළමනාකරු මැළි නොවීය.
 
‘‘නමුත් අපේ ශක්තිය ගැන අපිට විශ්වාසයි. අපි එංගලන්තයට බය නෑ.‘‘ ඔහු එසේ කීවේය.
 
‘‘ඔහු (හැරී කේන්) වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා වෙන්න පුළුවනි. ඔහුව නතර කරගැනීමටත් ලෙහෙසි පහසු වැඩක් නොවෙන්න පුළුවනි. නමුත් අපිට ඉහළම වර්ගයේ මැදපෙළ ක්‍රීඩකයන් ඉන්නවා. අපි මූලික වටයේදී ලයනල් මෙසීට කට උත්තර නැතිවෙන්න ආර්ජන්ටිනාවට ගැහුවා. හැරී කේන්වත් ඒ විදිහට පාලනය කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ.‘‘ ඩේලික් කීවේය. 
 
එංගලන්ත බැනියම ඇඳගෙන සිටි නමුත් පසුගිය වසර තුනක් පුරාම ගෝලයක් වාර්තා කිරීමට අසමත්වූ මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ ඉදිරිපෙළ ක්‍රීඩක රහීම් ස්ටර්ලින් පාපන්දු විශාරදයන්ගේ මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්ව වී සිටී. එසේ වුවත් එංගලන්ත පිලේ හිටපු ක්‍රීඩකයන් වන ඩේවිඩ් බෙකම් සහ ගැරී නෙවිල් තවමත් මේ 23 හැවිරිදි ක්‍රීඩකයා ආරක්ෂා කිරිමට ඉදිරිපත්වී සිටින්නේ ඔහු කිනම් මොහොතකදී හෝ නැවත නැගී සිටිනු ඇතැයි යන විශ්වාසයෙනි. 
 
දැන් ඔහු ක්‍රොඒෂියානු කළමනාකරුවාගේ ද දැඩි අවධානයට ලක්වී සිටී.
 
පසුගිය ඔක්තෝබරයේ දී ක්‍රොඒෂියානු පාපන්දු පිලේ කළමනාකාර තනතුර බාරගත් 51 හැවිරිදි  ඩේලික් කියන්නේ එංගලන්ත පිල ගැන වැඩි යමක් කියන්නේ නැති බවය. 
 
‘‘ඔවුන් අවසන් පූර්ව වටයට පැමිණ සිටිනවා. එච්චරයි.‘‘ ඩේලික් කීවේ තමන්ගේ කට පරෙස්සම් කරගනිමිනි. 
 
ක්‍රොඒෂියාවේ ආරක්ෂක ක්‍රීඩක ඩොමැගොජ් විඩා අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ අවවාද කිරීමෙන් පමණක් නිදහස ලැබීම ඔහුගේ සහනයට හේතුවී තිබේ. 
 
රුසියාව සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ අතිරේක කාලයේදී ඔහු ගෝලයක් ලබාගැනීමෙන් පසුව ‘‘යුක්රේනයට ජය වේවා‘‘ යනුවෙන් කෑගැසීම දේශපාලන මුහුණුවරක් ගත් සිදුවීමක් බවට පත්වී තිබිණි. එය එක් අතකින් යුක්රේනය හා රුසියාව අතර ඇති දේශපාලන උණුසුම පිටියට ගෙනයාම නිසා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් තරග තහනමකට ලක්වීමට ඉඩකඩ තිබූ එකකි.  කෙසේ වුවත් පසුව විඩා කියා සිටියේ එය විහිළුවට කළ ප්‍රකාශයක් බවයි. 
 
‘‘එය ක්‍රොඒෂියාව වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක්. කිසිම දේශපාලනයක් නෑ.‘‘ ඔහු කීවේ එසේය.
 
ක්‍රොඒෂියාවේ පළමු තේරීම බවට පත්වී සිටි සිම් ව්ර්සැලිජ්කෝ හෙට තරගයට ක්‍රීඩා නොකිරීම නම් කණ්ඩායමේ කනගාටුවට කරුණක් වී තිබේ. 
 
සිය රට වෙනුවෙන් තරග 39 කට ක්‍රීඩා කළ මේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයාට හෙට පැවැත්වෙන තීරණාත්මක තරගය අහිමිවූයේ රුසියාව සමග පැවැති තරගයේ  97 වැනි මිනිත්තුවේදී කෝපාවිෂ්ඨවීමෙන් තරග තීරකවරයාගේ උදහසට ලක්වීම නිසාය.
 
හෙට තරගයේදී විඩා ආරක්ෂක පෙළට ස්ථානගත කිරීමට කළමනාකරු තීරණය කර තිබේ. ඒ වෙනුවට ඉදිරිපෙළට පරිණත ක්‍රීඩක වෙඩ්රාන් කොර්ලුකා ගෙන්වා ඩිජාන් ලෙව්රේන්ට ක්‍රීඩා රටාව පහසු කිරීම ඔහුගේ අරමුණ වී තිබේ. 
 
ක්‍රොඒෂියාවේ විශාලතම තුරුම්පු වන ලුකා මොඩ්රික් සහ ඉවාන් රැකිටික් ඉදිරිපෙළින් ක්‍රීඩා කරවීම ගැනත් කළමනාකරුගේ අවධානය යොමුවී ඇත. අර්ධ අවසන් පූර්ව තරගයේදී කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ ගෝල් රකින ඩැනියෙල් සුබාසික්ට තරගයට පෙර නැවතත් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවී තිබීම කළමනාකරුගේ සිතට වදදෙන ගැටලුවකි. 
 
මෙවර තරගාවලියේ ශූරයන් වනු ඇතැයි වැඩි දෙනකුගේ අනාවැකිවලින් උද්දාමයට පත්ව සිටින එංගලන්තය හෙට තරගයට එක්වන්නේ සුපුරුදු ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුවය. විනිසුරුගේ අන්තිම නලා නාදය දක්වාම ක්‍රොඒෂියාව අන්දමන්ද කරවීම නායක හැරී කේන්ගේ එකම අරමුණයි.
 
අවසන් පූර්ව වටයේදී එංගලන්ත පිල මෙහෙයවීමට ලැබීමත් ආඩම්බරයක් බව කියන හැරී කේන් මෙවර තරගාවලියේදී එංගලන්ත පිල පැමිණි ගමන්මග එරට තරුණ පරම්පරාවට කදිම දිරිගැන්වීමක් බවද කියයි. එසේ කීවත් එංගලන්ත නායකයා අවධාරණය කරන්නේ තම පිලේ අවධානය යොමුවී ඇත්තේ රාජකාරිය අකුරටම නිමා කිරිම බවය. වසර 1990දී ටෙරී බුචර්ගේ නායකත්වයෙන් අවසන් පූර්ව වටයට යාමෙන් පසුව එවැනි හපන්කමක් කළ පළමු නායකයාද ඔහුය. 
 
ලිවර්පූල් කණ්ඩායමේ නායකත්වය දරන ජොර්ඩන් හෙන්ඩර්සන් ස්වීඩනය සමග පැවැති තරගය අතරතුර 85 වැනි මිනිත්තුවේදී ආබාධයකට ලක්වීම නිසා හෙට තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිතවීම හැරුණු විට එංගලන්ත කඳවුරේ වෙනත් කිසිදු කනගාටුවක් නැත. 
 
හෙට තරගයේදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරන තුරු ආපසු නොහැරෙන බව කළමනාකරු ගැරත් සවුත්ගේට් දැනටමත් සහතික කර තිබේ. 
 
එංගලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවත් නැතත් ගැරත් සවුත්ගේට් නයිට් නාමයෙන් පිදුම් ලැබීමේ පසුබිමක් දැන් නිර්මාණය වී හමාරය. දැන් මුළු රටටම බෝවී ඇත්තේ ගැරත් සවුත්ගේට් උණයි. 
 
එංගලන්තයේ පිරිමින් ඔහු සමග ‘අඩියක්‘ ගැසීමට ආසාවෙන් බලාසිටින අතර ගැහැනුන් සිතන්නේ ඔහු ඉතා සුන්දර මිනිසෙක් බවය. ලබන සතියේදී ඔහු සර් ගැරත් සවුත්ගේට් වනු ඇත. ඒ වෙනුවෙන් එංගලන්ත පාපන්දු ක්‍රීඩාවට ඔහු කර ඇති සේවය දැනටමත් ප්‍රමාණවත්ය. 
 
ක්‍රීඩාලෝලීන්ගෙන් බේරිල්ලක් නැති නිසා මේ වනවිට ඔහු සිය විද්‍යුත් ලිපිනය වෙනස් කර තිබේ. සමාජ වෙබ් අඩවිවලට පිවිසෙන්නේම නැත. වරින් වර ජංගම දුරකතනය පවා විසන්ධි කර තැබීමට සිදුවී ඇති තරමට දුරකතන ඇමැතුම් ගලාගෙන එයි. ඒ කෙසේවුවත් එංගලන්තය ලෝක කුසලානය අතට ගන්නා තුරු හුස්මක් කටක් නොගෙන සිය රාජකාරිය ඉටු කිරීම ඔහුගේ අරමුණය. 
 
එංගලන්තය හිස් අතින් ගෙදර නොයන බව කියන සවුත්ගේට් අනිද්දා තරගයට ක්‍රීඩා කරවන්නට බලාපොරොත්තු වන්නේ අර්ධ අවසන් පූර්ව තරගයට එක්වූ කණ්ඩායම බව කීවේය. එහෙත් හෙන්ඩර්සන්ට ක්‍රීඩා කිරිමට නොහැකිවුවහොත් ජෙමී වර්ඩ් පාවිච්චි කිරීම ඔහුගේ කල්පනාවයි. 
 
සුපුරුදු පරිදි පික්ෆෝර්ඩ්, වෝකර් සහ ස්ටොන්ස් ඉදිරියෙන් තබා මැග්වයර්, ට්‍රිපියර්, යංග් සහ හෙන්ඩර්සන් මැදපෙළට ඇතුළත් කෙරෙනු ඇත. පසුපෙළ ආරක්ෂාව ලින්ගාඩ් සහ අලි දෙදෙනාට පැවරේ.

අදහස් (0)

ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.