Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා සංගම් රැසක නිලවරණ කල්යයි

ක්‍රීඩා සංගම් රැසක නිලවරණ කල්යයි

editorial - 2021 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් රැසක නිලවරණ කල් දැමීම ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව මැයි 29 වැනිදා පැවැත්වීමට තීන්දු කර තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය දින නියමයකින් තොරව කල් දමා ඇතැයි දැනටමත් ප්‍රකාශයට පත්ව තිබේ.

මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ නිලවරණය, ශ්‍රීලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ නිලවරණය, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය, ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ් බෝල) සම්මේලනයේ නිලවරණය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ද වෙයි.

මේ වන විටත් කල් දැමීම ප්‍රකාශ වී තිබෙන දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය හා හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරියක වන රංජනී ජයකොඩි මහත්මිය ද තරග වැදීමට සූදානමින් සිටියහ.

පාර්ශ්ව තුනකින් ඔවුන් දැල්පන්දු මුල් පුටුවට තරග වදින අතර, නාමයෝජනා විරෝධතා ඉදිරිපත්වීමේදී සභාපති අපේක්ෂිකා රංජනී ජයකොඩි මහත්මිය ඇතුළු දෙපාර්ශ්වයන් නාමයෝජනා රැසකට එරෙහිව විරෝධතා ඉදිරිපත්වීම කැපී පෙනුණි. එම විරෝධතා විභාග කර තීන්දු ප්‍රකාශ කිරීමට ඊයේට (මැයි 5 වැනිදා) නිලවරණ කමිටුව සැරසෙද්දී නිලවරණය කල් දැමීම ප්‍රකාශ විය.

මේ වන විට රට තුළ කොවිඩ් -19 වයිරසයේ ශීඝ්‍ර පැතිරීමක් පෙන්නුම් කරන තත්ත්වයක් තුළ රටේ  බොහෝ පෙදෙස් හුදෙකලා කෙරෙමින් පවතියි. මෙම තත්ත්වය ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීමට බාධාවක් වන බැවින් නිලවරණ කල්දැමීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ප්‍රධානතම ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය (2021-23) මැයි 20 වැනිදාත්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය මැයි 30 වැනිදාත් පැවැත්වීමට තීන්දු කර තිබිණ. තවත්  ජාතික ක්‍රීඩා සංගම් බහුතරයක නිලවරණය ද මැයි අවසන් සති අන්තයේදී පැවැත්වෙන බව නිවේදනය කර තිබිණ.

පසුගිය වසරේ මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුව තිබූ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කීපයක්ද මෙම වසරට කල් දමා තිබිණ. දැන් යළිත් වතාවක් ඒවා කල් දැමීමට සිදු වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

තවත් ප්‍රධානතම ජාතික ක්‍රීඩා සංගම් දෙකක් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සහ හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ  නිලවරණ කල්යාමේ අනතුරෙන් ගැලවුණේ ඒවා පසුගිය අප්‍රේල් මාසය තුළ පවත්වා අවසන් කිරීමට සමත් වූ නිසාය.

කොවිඩ් හමුවේ දැන් රට තුළ පැන නැගී තිබෙන අලුත්ම තත්ත්වය තුළ මෙම වසරේත් ජාතික ක්‍රීඩා සංගම්වල කටයුතුවලට දැඩි අහිතකර තත්ත්වයක් උද්ගත වී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාතික ක්‍රීඩා සංගම් ගණන 70කට ආසන්න වේ.

 


අදහස් (0)

ක්‍රීඩා සංගම් රැසක නිලවරණ කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.