Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා අමාත්‍යංශය බෝල යැවීමේ සෙල්ලමට

ක්‍රීඩා අමාත්‍යංශය බෝල යැවීමේ සෙල්ලමට

නාමල් පතිරගේ - 2019 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරන සියලු ජාතික ක්‍රීඩා සංගම්හි පරිපාලන හා නිලවරණ අර්බුද විසඳීම ජාතික ඔලිම්පික් කමිටුවටම පැවරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ ඒ සම්බන්ධයෙන් ලංකාදීප කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසුවේ එය ක්‍රීඩා අමාත්‍යාංශය ගත් දැඩි තීරණයක් බවයි. 

ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යාංශය අතපෙවීම දේශපාලන මැදිහත්වීමක් ලෙස අර්ථ දැක්වීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ එය එසේ නම් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම්හි පැනනැගෙන පරිපාලන හා අභ්‍යන්තර ආරවුල් හා නිලවරණ කැඳවීමේදී පැනනැගෙන ‘ගැටළු’ විසඳීමත් ජාතික ඔලිම්පික් කමිටුවටම පැවරිය යුතු බවයි.

මෙම තීරණය අනුව මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය සම්බන්ධයෙන් ඊට ඉදිරිපත්ව සිටින පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කර තිබෙන විරෝධතාව විභාග කිරීමත් ජාතික ඔලිම්පික් කමිටුවට පැවරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර තිබේ.

මෙම විරෝධතාව ඊයේ (12) ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව බාරදීමට එම පාර්ශ්වය කටයුතු කර තිබේ. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා එම විරෝධතා ලිපියේ ලිඛිත සටහනක්ද තබමින් දැනුම් දී ඇත්තේ එය ඔලිම්පික් කමිටුවට යොමු කරන ලෙසයි.

ක්‍රීඩා අමාත්‍යංශයේ මෙම තීරණයට ආසන්නතම හේතු වී ඇතැයි වාර්තා වන්නේ ඉකුත් දා ස්විට්සර්ලන්තයේ ලුසාන් නුවරදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ. චූලානන්ද පෙරේරා මහතා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් මුණගැසීමය.

දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවේදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තා හා විගණනය කිරීමේ කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වීමට දරන උත්සාහය දේශපාලන අතපෙවීමක් ලෙස තමන් සලකන බවත්, එය අන්තර්ජාතික ඔලිම්පික් ප්‍රතිඥප්තියට පටහැනි ක්‍රියාවක් බවත්ය.

කෙසේ වුවත් ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ නිගමනය වී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව ද ජාතික ක්‍රීඩා සංගම් මෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට වගකිවයුතු තවත් එක් ජාතික ක්‍රීඩා සංවිධානයක් වන බැවින් එහි කටයුතුවලට එම අමාත්‍යාංශයට මැදිහත්වීමේ අවස්ථාව පවතින බවයි. ජාතික ඔලිම්පික් කමිටුව, ඔලිම්පික් ප්‍රඥප්තියට වගකියන සංවිධානයක් වුවත් එය රටේ ස්වෛරීභාවයට ගරු කළ යුතු තවත් දේශීය සංවිධානයක් පමණක් බවත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ මතය වී තිබේ. ඒ අනුව ඊට මැදිහත්වීම් කිරීමට ශ්‍රී ලංකා රජයට අයිතියක් ඇතැයි ද ලුසාන් සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ.

ලුසාන් නුවරදී පැවැති එම සාකච්ඡාවට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වී තිබේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශය කෙරෙහි අවධානය යොමුකර ඇති ක්‍රීඩා අමාත්‍යාංශය තමන්ට ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතුවලට මැදිහත් විය නොහැකි යයි අර්ථකතනය කෙරෙන්නේ නම් එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගම්වල පරිපාලන ගැටළු විසඳා දීමට මැදිහත් විය යුත්තේත් ඔලිම්පික් කමිටුවම බව අවධාරණය කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් ගණන මේ වන විට 35 කි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් ගණන 61 කි.

ජාතික ඔලිම්පික් කමිටුවට ශ්‍රී ලංකාවේ දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි නැගෙන චෝදනාව වසර 2013 සිට පැනනැගී තිබෙන තත්ත්වයකි.

එම කමිටුවේ පැවති මාධ්‍ය හමු කිහිපයකදීම එහි ප්‍රධානීන් ප්‍රකාශ කර සිටියේ, ජාතික ඔලිම්පික් කමිටුව වගකීමට බැඳී සිටින්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමටුවට පමණක් බවයි.

කෙසේ වුවත් එම තර්කය බැහැර කරන ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ ජාතික ඔලිම්පික් කමිටුව දේශීය ක්‍රීඩා පරිපාලන සංවිධානයක් වන බැවින් එය රටේ නීතියට අවනත විය යුතු බවයි.


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශය බෝල යැවීමේ සෙල්ලමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.