Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් - පාපන්දු නිලවරණ කල්යයි

ක්‍රිකට් - පාපන්දු නිලවරණ කල්යයි

editorial - 2021 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (නාමල් පතිරගේ)

පළාත් සංචරණ සීමා පැනවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණ ඇතුළුව පැවැත්වීමට සූදානම් කර තිබූ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ගණනාවක් නැවත වතාවක් කල් දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. කෙසේවුවත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හා ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ නිලවරණ ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් කීපයක නිලවරණ ‘සූම්’ තාක්ෂණය ඔස්සේ යොදාගත් පරිදි පැවැත්වීම සඳහා අවසර ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ක්‍රිකට් කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයකු ද වන අමල් එදිරිසූරිය මහතා ලංකාදීප ට පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම 20 වැනිදා පැවැත්වීමට යොදාගෙන තිබූ නිලවරණය රහස් ඡන්දයකින් සමන්විත වන බැවින් එය ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම දුෂ්කර කටයුත්තක් බවයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්දැමීම හැරෙන්නට දැනට වෙනත් විකල්පයක් ඉතිරිව නැති බවද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා හා හිටපු උප සභාපතිවරයකු වන කේ. මනිවානන් යන මහත්වරැ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා බාරදී සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මෙම 20 වැනිදා පෙරවරැ 10.00 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණි.
ඒ සඳහා පළාත් ක්‍රිකට් සංගම් හතරක, අනුබද්ධ සංගම් හයක, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 23 ක හා පාලක ක්‍රීඩා සමාජ 23ක ඡන්ද නියෝජිතයෝ සහභාගි වීමට සිටියහ. මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා වන මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවේ එකතුව 144කි.

එහිදී ප්‍රධාන ලේකම් ධුරය අපේක්ෂාවෙන් නාමයෝජනා බාරදී ඇත්තේ හිටපු ලේකම් මොහාන් ද සිල්වා හා නිශාන්ත රණතුංග යන මහත්වරැන්ය. ජයන්ත ධර්මදාස, බන්දුල වර්ණපුර, රවීන් වික්‍රමරත්න හා මොහාන් ද සිල්වා යන මහත්වරැ උප සභාපති ධුර දෙකක් සඳහා නාමයෝජනා බාරදී සිටිති.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය (2021) මෙම 30 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි. එහි වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසුවේ නිලවරණය කල් දැමීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදෙස් ඉල්ලා පාපන්දු සම්මේලනය නිලවරණ කමිටුවේ සම්බන්ධීකරණයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කළ බවයි.
“අපට පාපන්දු ලීග 64 ක නියෝජිතවරැන් එදිනට කොළඹට කැඳවන්න වෙනවා. දැන් පවතින තත්ත්වය අනුව ඔවුන් නිලවරණයට කැඳවන්න අපහසුයි. මේක රහස් ඡන්දයක් හින්දා අපට නිලවරණය පවත්වන්න ‘සූම්’ තාක්ෂණය යොදා ගන්නත් අපහසුයි. මේ නිසා නිලවරණය කල් දැමීමක් අප අපේක්ෂා කරනවා.” යයි ද පාපන්දු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කලින් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ විධායක සභාවේ ප්‍රධාන හා උප තනතුරැ හතක් පිරවීමට පමණක් සීමා කරමිනි. මහ සභා රුස්වීම හා ගිණුම් වාර්තා අනුමත කරගැනීමේ මහ සභා රුස්වීම පසුව පැවැත්වීමට එහිදී අනුමැතිය ලබාදී තිබුණි.

ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ හතක් පැවැත්වීම කල් දමමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නොබෝදා නිකුත් කළ නිවේදනය සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමග යළිත් වෙනස් කිරීමට සිදුව තිබේ.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය මෙම 19 වැනිදා ද ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලවරණය මෙම 20 වැනිදා ද ශ්‍රී ලංකා …කායවර්ධන සම්මේලනයේ නිලවරණය මෙම 21 වැනිදා ද ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ නිලවරණය මෙම 24 වැනිදා ද ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ් බෝල්) සම්මේලනයේ නිලවරණය මෙම 28 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබිණ. මෙම සඳහන් කළ සියලු ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයේ ඍජුව පැවැත්වීමට සූදානම් කර තිබුණු ඒවාය. ඒ හැරෙන්නට මැයි මාසය ඉක්මවීමට පෙර තවත් ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කීපයක් ද පැවැත්වීමට නියමිතව තිබුණි.

කායවර්ධන සම්මේලනයේ නිලවරණය ඇතුළුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඍජු මැදිහත්වීමෙන් පැවැත්වෙන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ගණනාවක් කල් ඉකුත්වූ නිලවරණ වේ. ඒ එකී ජාතික ක්‍රීඩා සංගම් බොහොමයක වසර ගණනාවක් තිස්සේ නිලධාරීන්ගේ කල්ලි අතර පවතින පරිපාලන ආරවුල් හේතුවෙනි.

ඉන් සමහරක් පසුගිය වසරේ මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුව තිබූ නිලවරණ ද විය. ක්‍රිකට් නිලවරණය කල් දැමීමත් සමග මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කළමනාකරණ කමිටුව තවදුරටත් ක්‍රිකට් පරිපාලන කටයුතු මෙහෙයවනු ඇත. එය පත් කෙරැණේ අප්‍රේල් 2 වැනිදාය.

ෂම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ පරිපාලනය පසුගිය පෙබරවාරි 20 වැනිදා අවසන් වූ බැවින් නිලවරණය පවත්වා අවසන් වන තෙක් ක්‍රිකට් කළමනාකරණ කමිටුවක් පත් කිරීමට රජයේ නීතිපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබාදුන්නේය. කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වන නිශාන්ත රණතුංග මහතා ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කළ විරෝධතාවයක් මෙම තීරණයට හේතුපාදක විය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර නිලවරණයට යන ලෙස ඉල්ලමින් පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, හිටපු ක්‍රිකට් පරිපාලන නිලධාරීන් හා විද්වතුන් 12 දෙනකුගේ එකතුවෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීම ජුනි මාසය දක්වා කල් ගියේය. ඉන් කියැවෙන්නේ ක්‍රිකට් නිලවරණයට දැන් යොදා ගන්නා ඡන්ද ඒකක ගණන අඩු කළ යුතු බවයි.

 


අදහස් (0)

ක්‍රිකට් - පාපන්දු නිලවරණ කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.