Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා - ක්‍රීඩා ඇමති හරීන්

ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා - ක්‍රීඩා ඇමති හරීන්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී මුහුණ දී සිටින ඛේදජනක තත්ත්වයෙන් මුදවා ස්ථාවර අනාගතයක් ඇතිකිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කර එහි පරිපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහ ගතකළ යුතු යයි ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා කියයි. ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරාහිදී මේ වන විට පැවැත්වෙමින් තිබෙන වෝන් - මුරලිදරන් කුසලාන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය නැරඹීම සඳහා මනුකා ඕවල් පිටියට ගිය ක්‍රීඩා ඇමතිවරයා එහිදී ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවේ විස්තර කථක මැතිව් ක්ලින්ච් සමග පැවැති ගුවන් විදුලි පිළිසඳරකදී එසේ පවසා තිබේ.

“මමත් දේශපාලනඥයෙක් තමා. ඒත් කිසිම හිතක් පපුවක් නැතිව, වෙන දෙයක් වුණාවේ කියලා, ඇත්ත කතා කරනවා නම් මේක (ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සහ ව්‍යවස්ථාව) සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනා කියන එක කියන්නම වෙනවා” යයි කී ක්‍රීඩා ඇමතිවරයා....

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලධාරී මණ්ඩලය 21 වැනිදා තේරී පත්වුණාම ඔවුන් කටයුතු කළ යුත්තේ කෙසේද කියාත් කියන්න මට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නැවත වරක් මැදිහත් වෙන්න අපට සිද්ධ වෙනවා.....”

“ක්‍රීඩා ඇමතිවරයා ජාතික කණ්ඩායමට අනුමැතිය දිය යුතු ලෝකයේ එකම රට අපි තමයි. ඒත් මට ඒක කරන්න ඕන නෑ. ඒ තත්ත්වය මට වෙනස් කරන්න ඕනා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කරන්න මට ඕන නෑ....මේවා කෙරුණේ අතීතයේදී. අවාසනාවකට වගේ පරිපාලනය සෘජුව ක්‍රියා නොකළ නිසා. ඒත් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා, මේ ජාතික කණ්ඩායමට අනුමැතිය දීමේ කාර්යයත් මගෙන් ඉවත් කරනවා නම් මම ඉතාම කැමතියි” යයිද ඕස්ටේ්‍රලියානු ගුවන් විදුලි සංස්ථාව හා පැවසීය.

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් සමරු උත්සවය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වීම සඳහා කැන්බරා නුවරට ගිය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ටෙස්ට් තරගයේ දෙවැනි දින දිවා ආහාර විවේකයේදී මෙම පිළිසඳරට එක්විය. හරීන් ප්‍රනාන්දු මහතා සහ මැතිව් ක්ලින්ච් අතර පැවැති පිළිසඳර මෙසේ සටහන් වෙයි.


තරගයේ පළමු දින දෙකේදී මේ වෙනකම් ඔබලා මොනවද කරලා තියෙන්නේ?
ටිකක් අමාරු තත්ත්වයක්. මෑත කාලයේ අපේ ළමයි ක්‍රිකට් තරග රාශියකට සහභාගි වුණා. ලෝක කුසලාන තරගාවලිය වෙනකම්ම ඔවුන් ක්‍රීඩා කරන්නත් ඕනේ...ඔවුන් වැඩි කාලයක් හිටියේත් රටින් පිට. ඒ එක්කම ආබාධ කිහිපයකුත් තිබුණා. ඒ අතරවාරයේදී තරුණ ක්‍රීඩකයන්වත් යොදා ගන්න බැලුවා.


නවසීලන්ත සංචාරයේ සිටම එන මේ ආබාධ වැල නම් ප්‍රශ්නයක් තමා. ඒත් මේවත් එක්ක මේ අසීරු සංචාරයට මුහුණ දෙන්නේ කොහොමද ?
කණ්ඩායම මේ වන විට ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙනවා කියන එක රහසක් නෙමේ. ක්‍රීඩකයන් ගැන එක එක විදිහේ අදහස් පළකෙරෙනවා. ඒවාට විසඳුම් ගෙනෙන්න අපි කටයුතු යොදා තියෙනවා. මම ඕස්ට්‍රේලියාවට එන්න ඉස්සර වෙලාත් ක්‍රීඩකයන්ට කතා කරලයි ආවේ. ඇවිල්ලත් ක්‍රීඩකයන් හමුවුණා. ක්‍රීඩකයන් සියලු දෙනාම වාගේ ඉතාමත් උනන්දුවෙන් ඉන්නේ නැවතත් දස්කම් අතරට එන්න.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම මේ වගේ පහතට වැටිලා ඉන්න කැමති අය නෙමේ. ඔවුන් ඉක්මනින්ම දස්කම් අතරට ඒවි. දස්කම් අතරට එන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ලෝක කුසලාන තරගාවලිය දිහා දෑස් දල්වා බලාගෙන ඉන්නේ. මේ ටෙස්ට් තරගයේදී වුණත් හොඳින් සෙල්ලම් කරන්න අපි ඔවුන්ට ධෛර්යය දෙනවා....ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයටත් එන්නත් පුළුවන්. අපි කොහොම දන්නේ?


ඔබලාගේ වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියාවට ආවේ ඔවුන්ට ගැලපෙන ආකාරයේ තණතීරු මත ක්‍රීඩා කරන්න. ඒත් ඇතැම් පන්දු යවන්නන්ට ක්‍රීඩා නොකරම ආපසු ගෙදර යන්න වුණා. ඔබ ඔවුන් සමග කතා කළාද ?
ඔව්. අපේ ඊළඟ සංචාරය දකුණු අප්‍රිකාවට. එතැනින් පස්සේ එංගලන්තය. ඒ සංචාර දෙකේදීම ඔවුන්ට පන්දු යවන්න වෙන්නේ මේ වාගේම තණතීරු මත තමයි. ඉතින් මේක අපට ලැබුණු හොඳ අවස්ථාවක්. කාත් එක්කද, කොයි තරුණ පන්දු යවන්නා එක්කද ඉදිරියට යන්නේ කියලා කිසියම් අදහසක් ලබාගන්න.

මම ළමයින්ට කිව්වේ මේකයි. ඔබේ අවස්ථාව හැමදාම ලැබෙන්නේ  නෑ. ලැබුණාම ඒක හයියෙන් අල්ලා ගන්න කියලයි මම ඔවුන්ට කිව්වේ. මේ වගේ තරගාවලියක් වෙනුවෙන් මෙහි එන්න ලැබෙන අවස්ථාව කොයි තරම් අසීරුද කියලා වටහා ගන්න කියන එකයි මම ඔවුන්ට කිව්වේ.


ඒ අභියෝගය ඔවුන් බාරගත් ආකාරය ඔබට වැටහෙන්නේ කොහොමද ?
ටෙස්ට් තරගයේ පළමු දිනය ඊයේ (සිකුරාදා). ඔවුන් හොඳ ආරම්භයක් ලබාගත්තත් පස්සේ ඔවුන්ගෙන් ග්‍රහණය වගේම ජවයත් ගිළිහී ගියා. ඒක තරමක් අවාසනාවන්ත තමයි. ඒකෙන් පෙනෙන්නේ ක්‍රීඩකයන්ගේ ආත්ම ධෛර්යය වගේම අත්දැකීම් මඳ බවයි.

මා හිතන්නේ ඔවුන් තවමත් ඉගෙන ගනිමින් ඉන්නේ. ඒත් මට විශ්වාසයි තවත් මාස දෙක තුනකින්, ඒ කියන්නේ දකුණු අප්‍රිකානු සංචාරය වෙනකොට, තමන්ට ලැබෙන අවස්ථාව අල්ලා ගන්න ඔවුන් සූදානමින් ඉඳීවි.


ක්‍රීඩා පිටිය ඇතුළතදී කිසියම් ස්ථාවරත්වයක් ලබාගන්න බැරි වුණාම ක්‍රීඩා පිටියෙන් පිටතදීත් ස්ථාවරත්වයක් ලබාගන්න එක අසීරුයි. මේ වගේ තත්ත්වයක් තියෙද්දි, ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තේරීම් කමිටුවෙන් ඉවත් කිරීමට ගත් තීරණයෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද ?
පුහුණුකරුවාගේ කාර්යය පුහුණු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමයි. තේරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම තේරීම් කමිටුවේ කාර්යයක්. මේ සිද්ධියට මුල් වුණේ සංචාරයකදී කණ්ඩායමක් තෝරන අවස්ථාවේදී පුහුණුකරුවා තීරණාත්මක සාධකය වීමයි. අපට එවැනි දෙයක් අවශ්‍ය වුණේ නෑ. අපට ඕනෑ වුණේ සෑම දෙයක්ම විමසා බලා සිද්ධවෙන ක්‍රියා පටිපාටියක්.

සංචාරයකට සහභාගි වන තේරීම් කමිටු නිලධාරියෙක් ඉන්නවා. ඒ නිසා පුහුණුකරුවාට පුළුවන් එයාගේ අදහස් තේරීම් කමිටු සාමාජිකයාට දෙන්න. ඒ නිසා කණ්ඩායම තේරීම, පුහුණුකරුවාත් ඇතුළත්ව, තේරීම් කමිටුවේ සාමාජිකයන් පස්දෙනාගේ කාර්යයක් වෙනවා. අපට ඕනෑ කළේ කණ්ඩායම තේරීමේදී පුහුණුකරුවා සතු ඒකාධිකාරය නැතිකිරීමයි.


මෙ වන විට කණ්ඩායම තුළ බෙදීම් කිහිපයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙනවා. ඒ ගැන ඔබට කියන්නට තියෙන්නේ කුමක්ද ?
ඕස්ට්‍රේලියාව බලා පිටත්වෙන්න කලින්, මම ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාම මුණ ගැසුණා. කණ්ඩායමේ සිටින වඩාත්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ ඔවුන් දෙදෙනායි. මැතිව්ස් මේ වන විට තමන්ගේ (කලව පිටුපස මස්පිඬුවේ) ආබාධයෙන් සුවය ලබමින් සිටිනවා. එයා බොහෝ වේලාවට දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන එක්දින තරග 5 ටම ක්‍රීඩා කරාවි.

පසුගිය දෙසැම්බර් මාසයේදී මම ක්‍රීඩා ඇමතිවරයා වුණේ මේ සියලු දේත් උරුම කරගෙනයි. ඉතින් මේ ගලායන සියලු දේ එක්ක මටත් ඉදිරියට යන්න වෙනවා. ඒ එක්කම බරපතළ ප්‍රශ්න මොනවාද කියා තේරුම්ගන්න මාත් උත්සාහ කරනවා.

ඇත්ත...කණ්ඩායමේ බෙදීම් කිහිපයක් තියෙනවා තමයි. ඒත් අපි ඒගොල්ලන්ට පැහැදිළිවම කියලා තියෙනවා අපට ඉතාමත් හොඳ 19 න් පහළ කණ්ඩායමක් සිටින බව. ඔවුන් ශ්‍රී ලංකාවෙදි ඕස්ටේ්‍රලියාව පරාජය කළා. ඒ වගේම අපට ඉතාමත් හොඳ නැගී එන කණ්ඩායමක් වගේම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමකුත් තියෙනවා. ඒ නිසා තමන්ගේ ස්ථානය ගැන ඕනෑවට වඩා විශ්වාසය තියාගන්න එපා කියලා මම කණ්ඩායමට කිව්වා.

ඔවුන්ට විනයක් නැත්නම් අපට වෙනස්කම් කරන්න වෙනවා. මේ සමාජ මාධ්‍ය අපට මහ කරදරයක් වෙලා. ඒත් කණ්ඩායමේ බෙදීම් තියෙන්න  ඒක කාරණාවක් නෙමේ. අපි ඔවුන්ට කිව්වේ ක්‍රීඩාව ගැන හිතන්න.

පිට්ටනියෙන් එහා දේවල් ගැන හිතන්න යන්න එපා කියලයි. ඔවුන්ට අනවශ්‍ය කාරණා සම්බන්ධයෙන් ඔවුන් කතා කළ යුතු නෑ.

අනෙක තමයි ඔවුන් දීර්ඝ කාලයක් සංචාරයේ යෙදී ඉන්න නිසා තරමක් අසහනයට පත්වෙලා ඉන්නේ. අපි, ශ්‍රී ලාංකිකයන් වශයෙන්, අපේ පවුලේ අයත් එක්ක ගතකරන කාලය ඉතාම ඉහළින් සලකනවා. ඒක ගැනත් මට තරමක වැටහීමක් තියෙනවා. මේ සංචාරය මීට වඩා ටිකක් හොඳට සැලසුම් කළා නම් හොඳයි. ඒත් ක්‍රීඩකයන් මේ ගැන වටහාගත යුතුයි. ඔවුනොවුන්ගේ හැකියාවන් ගැන තේරුම්ගත යුතුයි....

අපට දස්කම් වලින් කිසිම අඩුවක් නෑ. ඒත් අපි කණ්ඩායමක් වශයෙන් එක්ව ක්‍රීඩා කරන එකේ කිසියම් අඩුවක් තියෙනවා. අන්න ඒක හදාගත යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩ කරන්නේ.


සමාජ මාධ්‍යවල තමන්ට මඩ ගහන බව තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලියා තිබෙනවා යයි මාධ්‍ය වලින් කියැවෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර මෙනවාද ?
කතාකිරීමේ නිදහස මම අගය කරනවා. ඒත් මේ වෙලාවේ, මෙතැනදී, ක්‍රීඩකයන් නෙමේ ඔවුන්ගේ බිරින්ඳෑවරු තමයි මේ කතාවට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මම කිව්වේ මේකයි. ළමයි ඔයගොල්ලා ක්‍රිකට් ගහන්න.

ගෑණුන්ට ඕනෑ දෙයක් ගෑණු කරගත්තාවේ. ඒත් ඒ තමන්ගේ සැමියාගේ ක්‍රිකට් දක්‍ෂතාව ගැන නෙමේ. මා හිතනවා ඔවුන් එය නිසි බරින් යුතුව බාරගනීවි කියලා. එහෙම නොවුනොත් ඒ වෙනුවෙන් බරපතළ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න ඔවුන් දෙදෙනාටම සිදුවේවි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දස්කම් වල හිඟයක් නෑ. අපේ ක්‍රිකට් ක්‍රීඩාව විශාල ගැඹුරක් ඇති එකක්. අපේ තරුණයෝ ඇවිදිල්ලා ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් ඉන්නවා. ඒත් අපට පළපුරුද්දත් යම් තරමක් දුරට ඕනේ. ඒත් ඔවුන් ඒ තත්ත්වය නියමාකාරයෙන් වටහාගැනීමට සූදානම් නැත්නම්, පවතින තත්ත්වයට අනුව හැඩගැහෙන්න සූදානම් නැත්නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිරීති පද්ධතියට අනුගත වෙන්න සූදානම් නැත්නම්, තදබල පියවරක් ගන්න අපට සිද්ධ වෙනවා.


ඔබ කියන ආකාරයට ශ්‍රී ලංකාවට දස්කම් වලින් කිසිම අඩුවක් නෑ. එහෙනම්, ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සමග ඔබ පැවැත්වූ සාකච්ඡාවලට බඳුන් වූයේ මොනවාද ?
මා සකච්ඡා කළේ ක්‍රීඩකයන්ගේ කාමරයේදී සිද්ධ වෙන දේ ගැනයි. වඩාත්ම වැදගත් තැන තමයි ක්‍රීඩකයන්ගේ කාමරය. නායකයකුට වුණත්, පුහුණුකරුවකුට වුණත් ඉතාමත් වැදගත් දේ සිද්ධවෙන්නේ එතැන. ඔවන්ට එකතු වෙලා ඒ ගැන සාකච්ඡා කරලා පියවරක් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපට මැදිහත් වෙන්න වෙනවා.
 
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් මේවාට මැදිහත් වෙන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් මේ වෙලාවේ මේ අසීරු තත්ත්වයෙන් එළියට ගමන් කරන්න ඔවුන්ට මඟ පෙන්වන්න මා උත්සාහ කරනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔවන් ඒ තත්ත්වය ඇතිකරගන්න සමත් වේවි කියලා


ඒ කියන්නේ මේ ප්‍රශ්න ඉක්මනින් නිරාකරණය කරගන්න හැකිවේවි කියා ඔබ විශ්වාස කරනවාද ?
ඔව්. ඒත් මා දන්නේ නෑ. අපට කොයි තරම් කාලයක් ඉතිරිවෙලා තියෙනවාද කියලා. තිසර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට එන්නේ 9 වැනිදා. ඉතින් මට ඕනෑ කරලා තියෙනවා. මැතිව්ස්, මාලිංග සහ තිසර යන තුන්දෙනාම එක මේසෙක වාඩිවෙලා, සාකච්ඡා කරලා, තීරණයක් ගන්න.

ඒ එක්කම පුහුණුකරුවාගේ ප්‍රශ්නයත් එනවා. මා ඔහුවත් හමුවුණා. සාකච්ඡා කළා. මා විශ්වාස කරනවා මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන් කියා. අපි අතර ප්‍රශ්න තියෙනවා. ඒත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතික වැදගත්කමක් ඇති දෙයකදී අපි ප්‍රශ්න අමතක කරලා එකතු වෙනවා.


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ සිට පහළටම යනතුරු දූෂණයෙන් පිරිලා යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියනවා. මේ තත්ත්වයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද ?
ඒක හරිම සංකීර්ණ මාතෘකාවක්. ඒත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් එක්ක එකතු වෙලා අපි ක්‍රීඩකයන්ට සහන කාලයක් දුන්නා. තමන් දන්නා කිසිවක් ඇත්නම් හෙළිදරව් කරන්න කියලා. අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් එතැනදී අපට කාරුණිකව සැලකුවා, ජනවාරි 31 වැනිදා දක්වා සහන කාලයක් දෙන්න. එතැනදී ගොඩාක් දෙනෙක් ඉදිරියට ආවා.

මා හිතන්නේ බොහෝ දෙනෙක් මේ ආචාර ධර්ම ගැන දැනගෙන හිටියේ නෑ. නැත්නම් ඒ ගැන වැඩිය හිතන්න යන්නේ නෑ. ඒත් ශ්‍රී ලංකාවේ අපි දේශීය වශයෙන් ඉතා විශාල තරග සංඛ්‍යාවකට සහභාගි වෙනවා. ප්‍රධාන කාණ්ඩයේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ සංඛ්‍යාව බොහොම වැඩියි. එතැන ක්‍රීඩා සමාජ 24 ක් තියෙනවා. ඒ නිසා පවතින ක්‍රමය අවභාවිතා කරන්න ඉතාම පහසුයි. අනෙක ක්‍රීඩකයන්ට හොඳින් ගෙවීම් කෙරෙන්නේ නැතිනම් මේ වගේ දේවල් කරන්න ඉතාම පහසුයි. ඒ නිසා මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න, පිරිසිදු කරන්න ඕනේ.

අනෙක මේක තරග දිනන එක ගැනවත්, ලෝක කුසලාන දිනන එක ගැනවත් ප්‍රශ්නයක් නෙමේ. බොහෝ දෙනා එහෙම හිතුවත්, මේක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් 20 දෙනාට ඇතුළත් වන එක ගැන ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 400 ක් විතර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. අනෙක ශ්‍රී ලංකාවේ තියෙන තරග සංඛ්‍යාවත් හොඳටම වැඩී. මේ වගේ තත්ත්වයකදී අප ඉන්නේ ඉතාම අවදානම් කලාපයක.

මේ වගේ තත්ත්වයක් තියෙද්දී, මේවා එක්ක හැප්පෙන්න නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා. මේ ගැන බොහෝ සිත්තැවුල් තියෙනවා. ඒත් ඒක කරන්නම වෙනවා. මට ඒ සඳහා තරමක කාලයක්, ඒ කියන්නේ මාස දෙක - තුනක කාලයක් ඕනෑ කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයත් ඉදිරියේ එනවා. ඒ නිසා පරිපාලනමය වශයෙනුත් විසඳාගත යුතු ප්‍රශ්න රාශියක් අපට තියෙනවා. ක්‍රීඩකයන් හොඳින් දස්කම් දක්වන්න නම් මේ ප්‍රශ්නත් නිරාකරණය කරගත යුතුයි. තරග වලදී කණ්ඩායම දුර්වල වීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ටම දොස් කියන්න බෑ. පරිපාලනමය වශයෙන් තියෙන ගැටළුත් නිරාකරණය කරගන්න වෙනවා.


එතකොට ක්‍රිකට් දූෂණ හෙළිදරව් කිරීමට දුන් දින 15 ක සහන කාලය සාර්ථකයි ද ? අසාර්ථකයි ද ?
ඉතාම සාර්ථකයි. හිතාගන්නත් බැරි තරම් සාර්ථකයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාව වුණත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිදරව් කරන්නේ නෑ. ඒත් මා දන්නවා කී දෙනෙක් ඒ සහන කාලය ඇතුළත අන්තර්ජාතික ක්‍රිකට් සභාව එක්ක කටයුතු කළාද කියලා.

මේ සහන කාලය ඇතුළතදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවට තොරතුරු දුන්නා කියලා ඒ ක්‍රීඩකයන්ට ඔවුන් මුහුණ දී සිටින තත්ත්වයෙන් ගැලවීමක් ලැබෙන්නේ නෑ. ඒත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීති අනුව ඒ ගැන අධිකාරීන් දැනුවත් නොකර සිටීම නම් වරදක් ලෙස තමයි ගැනෙන්නේ. ඒ නිසා මා හිතන්නේ බොහෝ දෙනෙක් තමන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. තමන් දන්න දේ කිව්වා. ඒ නිසා අප දැන් මුහුණ දී සිටින තත්ත්වයෙන් මිදෙන්න එය අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ නිසා දැනට අප අතර තියෙන නරක් වෙච්ච අඹ ගෙඩිටික ඉවත් කරගන්න අපට පුළුවන්.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපට උදව් කරන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි. ඔවුන්ගේ නිලධාරියෙක් පූර්ණ කාලීන වශයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා. අපි ඔහුට කාර්යාලයක් දෙනවා. සහයෝගය දෙනවා. එහෙම කරන්නේ මේ ප්‍රශ්නයේ තියෙන මුල් ඉවත් කරගන්නයි. ඒක අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝකාලීන යහපතට ඉවහල් වෙනවා.

ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරගන්නත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපට උදව් කරනවා. වඩාත් සාර්ථක වගේම සවිමත් ව්‍යවස්ථාවක් හදාගන්න ඔවුන් අපට උදව් කරාවි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් මේ ක්‍රීඩාවට බොහෝ තදින් ඇලුම් කරනවා. ඉතින් අපගේ ස්වර්ණමය යුගයට ආයෙත් එන්න ඔවුන්ට අවස්ථාව සලසා දිය යුතුයි.


ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනිකව නම රැන්දූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හිටියා. ඔවුන්ට කරන්න කිසියම් වැදගත් වැඩ කොටසක් තියෙනවාද ?
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියමයන්ට අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමග ටික කාලයකට සම්බන්ධ විය නොහැකි කිහිප දෙනෙක් ඉන්නවා. ඒත් ක්‍රිකට් ගැන ඉතාමත් ඉහළින් උනන්දු වන ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම වගේ අය මා සමග ඉතාමත් සමීපව කටයුතු කරනවා.

ඒ වගේම සිදත් වෙත්තමුණි මහතා ඇතුළු පිරිසක් ක්‍රිකට් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශාල උනන්දුවකින් කටයුතු කරමින් ඉන්නවා. ඒක වෙනස් කරන්නේ කොයි ආකරයෙන්ද, ක්‍රීඩකයන්ගේ යහපත වෙනුවෙන් ඒක භාවිතා කරන්නේ කොහොමද, පුහුණුකිරීමේ සැකිල්ල කොයි ආකරයෙන් විය යුතුද කියලා ඔවුන් සොයා බලනවා. උසස් දස්කම් මධ්‍යස්ථානය වගේම දේශීය ක්‍රිකට් ක්‍රීඩාවත් කොයි ආකාරයෙන් වෙනස් විය යුතුද කියා ඔවුන් සැලසුම් සකස් කරමින් ඉන්නේ. ඔවුන් නිශ්ශබ්ද නෑ. දිගටම වැඩ.

මට තියෙනවා කරුණු දෙකක් ගැන අවධානය යොමු කරන්න. එකක් කෙටි කාලීන ඉලක්ක. අනෙක දීර්ඝ කාලීන ඉලක්ක.

කෙටි කාලීන ඉලක්කය වෙන්නේ අපේ තරග ජයගැනීමේ ප්‍රතිශතය 60්‍ර කට ඉහළින් රඳවා ගැනීමයි. දැන් ඒක තියෙන්නේ සියයට 35 විතර. ඒක 60්‍ර සීමාවට ගෙනාවොත් අපට පුළුවන් අපේ ක්‍රිකට් සැකිල්ල ඒ අනුව හදාගන්න. ඒ කියන්නේ අපේ 19 න් පහළ කණ්ඩායම්, නැගී එන කණ්ඩායම් සහ ‘ඒ’ කණ්ඩායම් අතර සංයුතිය හදාගන්න.

ඒ වගේම පරිපාලන ව්‍යූහය කෙසේ වෙනස් විය යුතුද කියන එක. ඒක තමයි දීර්ඝ කාලීන ඉලක්කය. මා හිතන්නේ තව මාස 12 ක විතර කාලයක් ලැබුණොත් අප ඉතාම හොඳ තැනක සිටීවි.


දූෂණ මර්ධන කටයුතු සම්බන්ධයෙන් සහයෝගය නොදීම ගැන සනත් ජයසූරියටත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ ?
ඒ සම්බන්ධයෙන් කිසිම දේකට අපි මැදිහත් වන්නේ නෑ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වාගේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිරීක්‍ෂණයට ලක්වෙලා තියෙන්නේ. අපේ ආදායම් වලින් සියයට 82 ක් ලැබෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන්. ඒ නිසා එක ආකාරයකින් අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට වගවී සිටිනවා අපි මොනවාද කරන්නේ, අපේ ක්‍රීඩකයන් ආරක්‍ෂා කරගන්නේ කොහොමද කියලා.

මා හිතන්නේ ඒක සන්නිවේදනය පිළිබඳ ප්‍රශ්නයක්. මා බොහෝ විට එහෙම කියනවා. සමහර වෙලාවට පරිපාලන නිලධාරීන් පවා දන්නේ නෑ මොකක්ද හරි ? මොකක්ද වැරදි කියලා. ඒත් දැන් ඒ අය ඒක දන්නවා. අපි නිරන්තරයෙන් ක්‍රීඩකයන්ට කතා කරනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් වගේම ඔවුන්ට කරන්න පුළුවන් දේ මොනවාද කියලා ඔවුන්ට කියා දෙනාවා. ඒ නිසා තරුණ පරම්පරාව මේ ගැන අවධානයෙන් කටයුතු කරනවා.
ඇතැම් පාවාදීම් තරග පාවාදීම් ලෙස සලකන්න බෑ. උදාහරණයකට කියනවා නම් කිසියම් ඕවරයක හතර වැනි පන්දුව නිලකුණු පන්දුවක් වීම වගේ දේවල්. ඒත් ඒකත් ක්‍රිකට් දූෂණ නීති පද්ධතිය උල්ලංඝණය කිරීමක් කියා මේ ක්‍රීඩකයන් දන්නේ නෑ. ඒ නිසයි මා කියන්නේ මේක තියන තත්ත්වය වටහා නොගැනීමක් කියා. ඒත් මම කියන්න කැමතියි දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිසාවට ගමන් කරනවා කියා.

කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලධාරී මණ්ඩලය 21 වැනිදා තේරී පත්වුණාම ඔවුන් කටයුතු කළ යුත්තේ කෙසේද කියාත් කියන්න මට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නැවත වරක් මැදිහත් වෙන්න අපට සිද්ධ වෙනවා.....ක්‍රීඩා ඇමතිවරයා ජාතික කණ්ඩායමට අනුමැතිය දිය යුතු ලෝකයේ එකම රට අපි තමයි. ඒත් මට ඒක කරන්න ඕන නෑ. මට ඒ තත්ත්වය වෙනස් කරන්න ඕනා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කරන්න මට ඕන නෑ....

මේවා කෙරුණේ අතීතයේදී. අවාසනාවකට වගේ පරිපාලනය සෘජුව ක්‍රියා නොකළ නිසා. ඒත් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා, මේ ජාතික කණ්ඩායමට අනුමැතිය දීමේ කාර්යයත් මගෙන් ඉවත් කරනවා නම් මම ඉතාම කැමතියි....

මමත් දේශපාලනඥයෙක් තමා. ඒත් කිසිම හිතක් පපුවක් නැතිව, වෙන දෙයක් වුණාවේ කියලා, ඇත්ත කතා කරනවා නම් මේක (ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සහ ව්‍යවස්ථාව) සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනා කියන එක කියන්නම වෙනවා. මොකද මම හිතන්නේ මෙහෙමයි. කිසියම් ක්‍රීඩකයක් කිසියම් සංචාරයකට යන්නේ නෑ. ඒක අසාධාරණයි කියලා කවුරුහරි කියන පළියට, ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවක් ගැන වැඩියමක් නොදන්නා ක්‍රීඩා ඇමතිවරයා කණ්ඩායම වෙනස් කරනවා නම් එතැන ඉතාම සංකීර්ණ තත්ත්වයක් ඇතිකරනවා. ඒ වගේම ක්‍රීඩාව දේශපාලනීකරණය වෙලා කියලා ඒකෙන් හැඟවෙන්නත් පුළුවන්....


අයර්ලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගාවලිය සඳහා ක්‍රීඩකයකු ඇතුළත් කරන ලෙස ඔබටත් අල්ලස් දෙන්න පුද්ගලයෙක් උත්සාහ කළාලු නේද ? ඒ ගැන අපට මොනවාද කියන්න පුළුවන් ?
ඕහ්.....ඒ වෙලාවෙදි මාව තිගැස්සුණා. මට හිතාගන්න බැරිවුණා ඒ වගේ දෙයක් මට කියන්න තරම් ඒ පුද්ගලයාට හයියක් ආවේ කොහොමද කියලා. වාසනාවට වගේ ඒක එවලා තිබුණේ වට්ස් ඇප් පණිවුඩයක. ඒ නිසා මට ඔප්පු කරන්න දෙයක් තිබුණා....මට ඉස්සරවෙලාම හිතුණේ ඒක මාව අල්ලන්න දාපු ඇමක්ද කියලයි. මම නිකමට හරි “ආ...මාව මිලියනයක් වටිනවාද....” වගේ කියලවත් ඇහුවානම් මගේ ප්‍රතිරූපයත් ඉවරයි.

ඒකේ දෙපැත්තක් තිබුණා. එකක් තමයි කලින් ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා කියන අදහස. අනෙක තමයි මම එතැන ඉන්නවාට අකමැති කවුරුන් හරි මාව අල්ලන්න ඒ වගේ උපක්‍රමයක් යොදාගන්නවාද කියන සැකය....ඒ නිසා මම හොඳටම කැළඹුනා. මම අන්තර්ජාතික ක්‍රිකට් සභාවට කතා කළා....දැන් අපට තේරුම් යන්නේ ඒ වගේ දේවල් අතීතයේදීත් සිදුවෙමින් තිබුණා කියන එකයි....දැන් තත්ත්වය ඉතාමත් සංකීර්ණයි. ඒත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඒ ගැන බලාගනීවි. ඉදිරියේදී බොහෝ දේවල් එළියට එයි.


කැන්බරාහිදී ඔබගේ සැලසුම කුමක්ද? ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශ්‍රී ලාංකික භෝජනාගාරයකදී රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමද ?
ඔව්. ඔවුන්ට ශ්‍රී ලංකාවේ රස කෑම බොහෝ කාලයක් තිස්සේ නොලැබී තියෙනවා. දැන් එහෙම කෑම වේලක් කන්න ආසා ඇති. මේ සලාද කාලම ඇතිවෙලා ඇති. මා හිතන්නේ අපට හුරු පුරුදු හොදි මාළු පිණි සමග බත්වේලක් තිබුණොත් ඔවුන් සතුටු වේවි.

ඇත්තටම මේ (දෙවැනි ටෙස්ට්) තරගයට ඉස්සරවෙලා මා ඔවුන්ව මුණ ගැසුණා. මට තේරුණා ඔවුන් කිසියම් අසහනයකින් පෙළෙන බව. ඔවුන් වෙනදා දකින ජීවයෙන් පිරි පිරිස නෙමේ. ඒ නිසා ඔවුන්ව දිරිමත් කරන්න මොනවා හරි කරන්න ඕනා. ඒක තදබල නීති රීති දාලා කරන්න පුළුවන් දෙයක් නෙමේ. මාස තුනක කාලයක් තිස්සේ ඔවුන්ට ඔවුන්ගේ සමාජ ජාල භාවිතා කරන්න බෑ. කණ්ඩායමේ කළමණාකාරීත්වය ඔවුන්ව පාලනය කරනවා. ඒ වගේ වෙලාවක ඔවන් එක්ක සුහදශීලී වෙලා ඉන්න ඕනේ. ස්වභාවිකත්වයට ළං වෙන්න ඔවුන්ට අවස්ථාව දෙන්න ඕනේ. ශ්‍රී ලාංකිකයන් වඩාත් හොඳ වන්නේ එතැනදී..
අපේ කණ්ඩායම ඉතාම ඉක්මනින් දස්කම් අතරට ඒවි කියලා මට විශ්වාසයක් තියෙනවා.


ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔබේ පසුබිම කොහොමද ? පාසල් වියේදී රග්බි ක්‍රීඩා කළාද ?
ඔව්. ක්‍රීඩාව කියන දේ එදා ඉඳන්ම මගේ හදවතට බොහෝ ළංව තිබුණ දෙයක්. මම ඇත්තටම 1996 දී අපි ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී ලාහෝර් පිට්ටනියේ සිටියා. මාව එක්කන් ගියේ මගේ තාත්තා. එදා කොළඹ ඉඳන් විශේෂ ගුවන් යානයක් ලාහෝර් නුවරට ගියා. තාත්තාට පුළුවන් වුණා කොහොම හරි ඒකේ ආසන දෙකක් වෙන්කර ගන්න.

රූපවාහිනියේ විශේෂ ක්‍රිකට් තරගයක් තියෙනවා නම් එදාට තාත්තාගෙන් මට නිවාඩු ලැබෙනවා. ඒ නිසා මම ගොඩාක් ක්‍රිකට් තරග බලලා තියෙනවා.

රග්බි අපේ පාසලේ ප්‍රධාන ක්‍රීඩාවක්. ඇන්ජලෝ මැතිව්ස්ගේ සොහොයුරාත් මාත් එකම පන්තියේ. අපේ ආණ්ඩුවක් ආවාම මට මේ තනතුරු උවමනා කළේ නෑ. මොකද මම හිතුවේ ක්‍රීඩාව ප්‍රශ්න වලින් පිරුණ තැනක් කියලා. ඒත් ක්‍රිකට් වගේම අනෙකුත් ක්‍රීඩාත් මේ තරම් පල්ලම් බහිද්දි, (අපේ රටේ ක්‍රීඩා 64 ක් තියෙනවා) මා හිතුවා මේක කාලයේ අවශ්‍යතාව කියලා. හැකිනම් මම වෙනසක් කරනවා කියලත් හිතුවා. ඒක මගේ අනාගතයටත් හොඳ වේවි... !!!

අනුග්‍රහය : ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාව
සාකච්ඡා කළේ  : මැතිව් ක්ලින්ච් (ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාව)
පරිවර්තනය : දමින්ද විජේසූරිය


අදහස් (0)

ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා - ක්‍රීඩා ඇමති හරීන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.