Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවේ බලාපොරොත්තු සුන්වේ

ඕස්ට්‍රේලියාවේ බලාපොරොත්තු සුන්වේ

editorial - 2019 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩංගණයේදී අද (11 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ට ජයක් හිමිකරගත් එංගලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කය හඹාගිය එංගලන්ත පිතිකරුවෝ ඕවර 32.1 ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගියහ. නායක ඔයින් මෝගන් (නොදැවී 45) සහ ජෝ රූට් (නොදැවී 49) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 79 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය තහවරු කළහ.

පන්දු 46 කදී වාර්තා වූ රූට්ගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 39 කදී වාර්තා වූ මෝගන්ගේ ඉනිමද හතරේ පහර 8 කින් සමන්විත විය. ජයග්‍රහණය සඳහා ලකුණු 2 ක් අවැසිව තිබියදී රූට් සිය 34 වැනි එක්දින අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටි නමුත් 32 වැනි ඕවරයේ පළමු පන්දුවට මෝගන් හතරේ පහරක් එල්ල කිරීමට නිසා රූට්ට අර්ධ ශතකය ලබාගැනීමට නොහැකි විය.

එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ ජේසන් රෝයි (85) සහ ජොනී බෙයාස්ටෝ (34) ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු පන්දු 104 කදී ලකුණු 124 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. කෙසේ වුවත් මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් බෙයාස්ටෝ දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පිටිය සිසාරා පහර එල්ල කළ ජේසන් රෝයි, පන්දු 65 කදී වාර්තා වූ සිය 17 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 9 කින් අලංකාර කළේය. ඊට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් යැවූ ඕවරයේ පිට පිට පන්දු 3 කදී එල්ල කරන ලද හයේ පහර 3 ක්ද අන්තර්ගත විය.

එංගලන්ත පන්දු යවන්නන් ලබාගත් විශිෂ්ට ආරම්භය හේතුවෙන් ඕස්ට්‍රේලියානු පිලේ ඉනිම නියමිත ඕවර 49 කදී ලකුණු 223 කින් නතර විය. ක්‍රිස් වෝක්ස් සහ ජොෆ්රා ආචර් මෙම ආරම්භය එංගලන්තයට ගෙන දුන් අතර අදිල් රෂීඞ්ගෙන් එංගලන්තයට කදිම තල්ලුවක් ලැබිණ. ක්‍රිස් වෝක්ස් සහ ජොෆ්රා ආචර් දෙදෙනා එක්ව යැවූ පන්දු 108 න් පන්දු 75 ක් ම නිලකුණු පන්දු විය. ජොෆ්රා ආචර්ගේ ඕවර 10 දී ඕස්ටේ්‍රලියානු පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ එකම හතරේ පහරක් පමණි.

වසර 1992 න් පසුව මේ දක්වා ලෝක කුසලාන අවසන් මහ තරගයකට ක්‍රීඩා කර නැති එංගලන්ත කණ්ඩායමේ අපේක්‍ෂාව වූයේ මෙම තරගය ජයගනිමින් අවසන් තරගයට පිවිසීම පමණක් නොවන අතර ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම ලෙසින් නැවත වරක් අභිෂේක ලැබීමයි.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පැකිලීමකින් තොරවම පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් ඔවුන්ට ලැබුණේ භයංකාර ආරම්භයකි. ක්‍රිස් වෝක්ස් සහ ජොෆ්රා ආචර් දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 14 ක් තුළදී ඉදිරිපෙළ පිතිකරුවෝ තිදෙනාම දැවී ගියහ. තරගාවලියේ සාර්ථකම පිතිකරුවන් දෙදෙනකු වන ඬේවිඞ් වෝනර්, ඒරන් ෆින්ච් සහ පීටර් හැන්ඞ්ස්කොම්බ් දැවීගිය පිතිකරුවා් අතර වූහ.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්ටීවන් ස්මිත් සහ ඇලෙක්ස් කේරි දෙදෙනා ඕස්ට්‍රේලියානු පිල නැවතත් තරගයට ඇදගෙන ආහ. පන්දු 119 ක් පුරා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තනිවම සටන් කළ ස්මිත් දුවද්දී දැවී ගියේ ලකුණු 250 ඉලක්කය කරා යාමේ ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු බොඳ කර දමමිනි.

බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් බාර්බඩෝස්හිදී උපත ලද ක්‍රීඩකයකු වන ජොෆ්රා ආචර් සිය පළමු පන්දුවේදීම ඕස්ට්‍රේලියානු නායකයා පිටියෙන් ඉවත් කළේය. පසුව ක්‍රිස් වෝක්ස් හමුවේ ඬේවිඞ් වෝනර් සහ පීටර් හැන්ඞ්ස්කොම්බ් දෙදෙනාම උඩපන්දු දෙමින් දැවී ගියහ.

ආචර්ගේ පන්දුවකින් ඇලෙක්ස් කේරිගේ හිස් ආවරණය ඉවත්වී ඔහුට තුවාල විය. එහෙත් පිටිය මැදදීම ප්‍රතිකාර ලබාගත් කේරි නැවතත් සිය ඉනිම ඇරඹූයේ ස්මිත් සමග ශතක සම්බන්ධතාව දීර්ඝ කරමිනි.

මෙම තරගයේ ජයග්‍රාහකයන්ට ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී නවසීලන්ත පිල සමග තරග කිරීමට සිදුවනු ඇත.

වසර හතරකට ඉහතදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු වැනි වටයෙන්ම ඉවතට විසිවූ එංගලන්ත පිල එතැන් පටන් එක්දින තරග කෙරේ නව ආකල්පයක් දරමින් සිය තරග රටාව වෙනස් කළේය. ඒ සඳහාම ඕස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටේ‍රවර් බේලිස් මහතාගේ සේවය ලබාගත් එංගලන්ත කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම සන්නද්ධ කළේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඔයින් මෝගන්ගේ නායකත්වය යටතේ එක්දින ශ්‍රේණිගතකිරීම් අතරේ එංගලන්තය අංක 1 ස්ථානයට පත්වීමයි.


ඕස්ට්‍රේලියාව - ඕවර 49 කදී සියලු දෙනා දැවී 223
(ස්ටීවන් ස්මිත් 85, ඇලෙක්ස් කේරි 46, ග්ලෙන් මැක්ස්වල් 22, මිචෙල් ස්ටාක් 29, ක්‍රිස් වෝක්ස් 20/3, ජොෆ්රා ආචර් 32/2, අදිල් රෂීඞ් 54/3)

එංගලන්තය - ඕවර 32.1 කදී කඩුලු 2 ක් දැවී 226
(ජේසන් රෝයි 85, ජොනී බෙයාර්ස්ටෝ 34, ජෝ රූට් නොදැවී 49, ඔයින් මෝගන් නොදැවී 45)

 

- 036


අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ බලාපොරොත්තු සුන්වේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.