Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව හමුවේ දැවැන්ත පරාජයක්

ඕස්ට්‍රේලියාව හමුවේ දැවැන්ත පරාජයක්

editorial - 2019 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පැතුම් ශ්‍රී විජේරත්න එංගලන්තයේ ලිවර්පූල්හි සිට)  

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තෙවැනි තරගයෙන්ද ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලකුණු 99-24 ක පරාජයක් ලැබුවේය. මෙම තරගය එංගලන්තයේ ලිවර්පූල් නුවර එම්. ඇන්ඩ් එස්. බෑන්ක් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (14දා) පැවැත්විණ.

එහි පළමු කාර්තුව ලකුණු 20-07 ක් ලෙසද දෙවැනි කාර්තුව ලකුණු 27-08 ක් ලෙසද ජයගත් ඔස්ට්‍රේලියාව තෙවැනි කාර්තුව නිමා කළේ ලකුණු 28-07ක් වශයෙනි. කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 100ක් වාර්තා කිරීමේ අදිටනෙන් යුතුව තරගයට පිවිසි ඔස්ට්‍රේලියානුවන්ට සිව්වැනි කාර්තුව තුළදී ලබාගත හැකිවූයේ ලකුණු 24ක් පමණි. එහිදී ශ්‍රී ලංකාවට රැස් කරගත හැකිවූයේ ලකුණු 02ක් පමණි. ඒ හේතුවෙන් තරගයේ අවසන් ලකුණු තත්ත්වය දිස්වූයේ ඔස්ට්‍රේලියාවට ගෝල 75ක ජයක් හිමිකර දෙමින් ලකුණු 99-24ක් වශයෙනි.

මෙම තරගයේදී පන්දුව දැල තුළට විදීමේදී මෙන්ම පන්දුව ආක්‍රමණශීලී ලෙස රැගෙන යාමේදීද පිටියේ ඉතා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කිරීමට දුලාංගි වන්නිතිලක සමත් වූවාය. ලෝක ශ්‍රේණිගත කිරීම්හි 08 වන ස්ථානයේ පසුවන උතුරු අයර්ලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරගෙන තිබුණේද ලකුණු 24 ක් පමණක් වීම සුවිශේෂිය.

ශ්‍රී ලංකාව මූලික වටයේ සියලුම තරග පරාජයට පත්ව 'ඒ' කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්විය. 'ඒ' කාණ්ඩයේ පළමු ස්ථානය ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමටද එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිලිවෙලින් සිම්බාබ්වේට සහ උතුරු අයර්ලන්තයට හිමි විය. ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 79-49 ක පරාජයක් ද උතුරු අයර්ලන්තයට එරෙහිව ලකුණු 67-50ක පරාජයක්ද අත්විඳීමට සිදුවිය.

තරගාවලියේ දෙවැනි වටයේ තරග අද (15දා) ආරම්භ වීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාව 13, 14, 15 සහ 16 වැනි ස්ථාන සඳහා තරග කිරීමට නියමිතය. ඒ පිළිවෙළින් 'බී', 'සී' සහ 'ඩී' කාණ්ඩවල අවසන් ස්ථානවලට පත්වූ සිංගප්පූරුව, ෆීජී සහ සැමෝවා කණ්ඩායම් සමග තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී වඩාත් කැපීපෙනෙන පන්දු විදින්නියන් අතර, ශ්‍රී ලංකාවේ තර්ජිනී සිවලිංගම් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ගෝල 91 ක් වාර්තා කරමිනි. එහි පළමු ස්ථානය හිමිව ඇති එංගලන්තයේ රැචෙල් ඩන් තර්ජිනීට වඩා ගෝල 05 ක් (ගෝල 96ක් ) ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාවේ දුලාංගි වන්නිතිලක මැදපෙළ පන්දු යොමු කරන්නන් අතර, දෙවැනි ස්ථානයටද නායිකා චතුරංගි ජයසූරිය පන්දු ආපසු හැරවූ ක්‍රීඩිකාවන් අතර සිව්වැනි ස්ථානයද ශ්‍රේණිගතව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි වටයේ පළමු තරගය හෙට (15දා) සිංගප්පූරු කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ට පැවැත්වීමට නියමිතය. අනතුරුව අනිද්දා (16දා) ෆීජී දේශය සමගද 17දා සැමෝවා සමගද ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතය. 

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව හමුවේ දැවැන්ත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.