Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් උළෙල 2021 ජූලි - අගෝස්තු

ඔලිම්පික් උළෙල 2021 ජූලි - අගෝස්තු

editorial - 2020 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ටෝකියෝ (රොයිටර්)
ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේ (2021) ජූලි මාසය දක්වා කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුව එකඟ වී තිබේ. මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසරේ ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට පසුගිය 30 වැනිදා තීරණය කෙරිණ.
 
ටෝකියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසරේ අගෝස්තු මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුවේ ප්‍රධානී යෂිරෝ මෝරි මහතා නිවේදනය කළේය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෝරි මහතා මෙම නිවේදනය කළේය.
 
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ලබන වසරේ වුවද එහි සන්නාමය “ටෝකියෝ 2020” ලෙසින්ම පවතිනු ඇත.
 
මේ වසරේ ජූලි මාසයේ ටෝකියෝ නුවරදී ආරම්භ කිරීමට තිබූ ඔලිම්පික් උළෙල කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීයාම හේතුවෙන් කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට සහ ටෝකියෝ 2020 සංවිධාන කමිටුවට පසුගිය සතියේ සිදුවිය. වසර 124 ක ඉතිහාසයක් ඇති නූතන ඔලිම්පික් උළෙල කල්දමන ලද පළමු අවස්ථාව මෙයයි.
 
ඔලිම්පික් උළෙල කල්දැමීම ජපානයට අතිශයින් පාඩු ගෙන දෙන තත්ත්වයක් වී තිබේ. මෙම තරගාවලියට සූදානම් වීම සඳහා ඩොලර් බිලියන 13 ක් ආයෝජනය කළ ජපානය, තවත් ඩොලර් බිලියන 3 ක් එරට අනුග්‍රාහකයන් වෙතින් එකතු කර තිබිණ.
 
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රධාන විධායක නිලධාරී තොෂිරෝ මූටෝ මහතා කියා සිටියේ මේ වසරේ ඔලිම්පික් උළෙල සඳහා මිලදී ගත් ප්‍රවේශපත්‍ර ලබන වසරේ තරගාවලිය සඳහා වලංගු කිරීම සම්බන්ධයෙන් තමන් සලකා බලමින් සිටින බවයි.
 
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා කියා සිටියේ ටෝකියෝ 2020 සංවිධායක කමිටුව, ටෝකියෝ අගනුවර පාලනය, ජපන් රජය සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ කොටස්කරුවන් සමග එක්ව මෙම අසීරු අභියෝගය ජයගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
 
“මානව වර්ගයා මේ වන විට අඳුරු උමගක් තුළ හිරවෙලයි ඉන්නෙ. මෙම ටෝකියෝ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල එම උමග අවසානයේ ආලෝකයක් විය හැකියි”. යැයි තෝමස් බෙක් මහතා වැඩි දුරටත් පැවසීය.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර පැරලිම්පික් කමිටුවේ සභාපති ඇන්ඩෘ පාසන්ස් මහතා සඳහන් කළේ පැරලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසරේ ටෝකියෝහිදී පැවැත්වෙන විට, එය මානව වර්ගයා එකමුතු වීමේ අති විශේෂ සංදර්ශනයක් වනු ඇති බවයි. එය මානව ප්‍රත්‍යස්ථිතිය පිළිබඳ ගෝලීය සැමරුමක් මෙන්ම ක්‍රීඩාවේ සංවේදී සංදර්ශනයක්ද වනු ඇතැයිද හෙතෙම පැවසීය.
 
“ටෝකියෝ 2020 පැරලිම්පික් ක්‍රීඩා උළෙලට දින 512 ක් දුරින් සිටියදී, මින් පෙර නොවූ විරූ මෙවන් දුෂ්කර අවස්ථාවක පැරාලිම්පික් ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාගේම ප්‍රමුඛතාවය විය යුත්තේ තම තමුන්ගේ පවුල් සහ හිතමිත්‍රාදීන් සමග ආරක්ෂිතව සිටීම කෙරෙහි අවධානය යොමු කිරීමයි” යැයිද පාසන්ස් මහතා කියා සිටියේය.
 
මෙම තරගාවලි ද්විත්වය කල් දැමිමට තීරණය කළේ ක්‍රීඩකයන්ගේ සහ විවිධ ආකාරයෙන් ඊට සහය වන්නන්ගේ සෞඛ්‍ය තත්වයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙන්ම කොරෝනා වයිරසය මර්ධනය කිරීමට සහය දැක්වීම වෙනුවෙන් බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය.
 
මේ වන විට ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නව දින වකවානු සමග සන්සන්දනය කරමින් ලොව වටා තවත් ප්‍රධාන පෙලේ තරගාවලි රැසක දින වකවනු වෙනස් කිරීමට එම තරගාවලින්හි සංවිධායකවරුන් පියවර ගෙන තිබේ.
 
ඒ අනුව යුරෝපා පාපන්දු ශූරතාවලිය ලබන වසරේ (2021) ගිම්හාන සෘතුවටද, ලබන වසරේ අගෝස්තු මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය 2022 වසර දක්වාද කල් දැමීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කරමින් පවතී.
 
යම් හෙයකින් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය වසරකින් පමණ කල් දැමීමට එහි සංවිධායකයන් පියවර ගත‍හොත් එය 2022 වසරේ ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා බර්මින්හැම්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සමග ගැටෙනු ඇත. ඒ සම්බන්ධයෙන් තරගාවලි දෙකේ සංවිධායකයන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.
 
කෙසේ වුවත් වසර 124 ක් පැරණි නූතන ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් දැමූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් විය.
 
මින් පෙර 1916 වසරේදී පළමු ලෝක යුද්ධය හේතුවෙන්ද, 1940 සහ 1944 වසර වලදී දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන්ද ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගු කර තිබේ. 1980 (මොස්කව්) සහ 1984 (ලොස් ඇන්ජලිස්) වසරවල පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඇමරිකානු සහ රුසියාවන් වර්ජනයේ බලපෑම් එල්ල විය.
 

-036

අදහස් (0)

ඔලිම්පික් උළෙල 2021 ජූලි - අගෝස්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.