Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එපාවුණ තුන්වැනි තැන සොයා යාම

එපාවුණ තුන්වැනි තැන සොයා යාම

editorial - 2019 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

අවසන් පූර්ව වටයේදී තමන් ලද පරාජයෙන් මහත් සන්තාපයට පත්ව සිටින බව වසන් කිරීමට නවසීලන්තය හෝ වේල්ස් කණ්ඩායම උත්සාහ නොගනී. කණ්ඩායම් දෙකේම අරමුණ වන්නේ තරගාවලියේ තුන්වැනි ස්ථානය හෝ දිනාගනිමින් අවසන් පූර්ව වටයේදී ලද පරාජයේ සන්තාපය මඟහරවා ගැනීමයි.

දෙපිලේම සිටින්නේ නවසීලන්ත ජාතික පුහුණුකරුවෝ දෙදෙනෙකි. ජාතික පුහුණුකරුවන් වශයෙන් ඔවුන් දෙදෙනාගේම අවසන් තරගාවලිය මෙයයි. නවසීලන්තයේ පුහුණුකරු ස්ටීවන් හැන්සන් මෙන්ම වේල්සයේ පුහුණුකරු වොරන් ගැට්ලන්ඞ් දෙපිලටම ගෙන දී තිබෙන ජයග්‍රහණ සංඛ්‍යාව අති විශාලය.

මෙවන් තත්ත්වයක් යටතේ හෙට (1 වැනිදා) ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ තුන්වැනි ස්ථානය මෙම පුහුණුකරුවන් දෙදෙනාටම අනවශ්‍ය වූ අභියෝගයකි. ඔවුන් දෙදෙනාගේම බලාපොරොත්තුව වූයේ තරගාවලියේ අවසන් මහ තරගයෙන් සමුගැනීම වුවත් ඉරණම ලියැවී ඇත්තේ වෙනස් ආකාරයෙනි. මක්නිසාද යත් ඔවුන් දෙදෙනාම නවසීලන්ත මෙන්ම වේල්ස් රග්බි ඉතිහාසයේත් සාර්ථකම පුහුණුකරුවන් දෙදෙනා බැවිනි.

තරගයේ තීරණය කුමක් වෙතත් හෙට රාත්‍රිය කඳුළේ රාත්‍රියක් වන බව නම් නිසැකය.

කළු කමිස කාරයන්ගේ විශිෂ්ටතම ක්‍රීඩකයන් වන කිරන් රීඞ්, බෙන් ස්මිත්, සොනී බිල් විලියම්ස්, රයාන් ක්‍රොටී සහ මැතිව් ටොඞ් රග්බි පිටියේදී සිය හංස ගීතය ගයමින් සිටිති. වේල්සයේ රොබින් මැක්බ්‍රයිඞ්ද සිය අවසන් තරගයට මුහුණ දීමේ සූදානමින් පසුවෙයි.

මේ කරන් රීඞ්ගේ 127 වැනි ටෙස්ට් තරගයයි. ටෙස්ට් තරග 143 කට ක්‍රීඩා කළ වේල්ස් නායකයා, ඇලන් වින් ජෝන්ස්, රග්බි ඉතිහාසයේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ අය අතුරින් දෙවැන්නාය.

ඇලන් වින් ජෝන්ස්ගේ අභිප්‍රාය වන්නේ 1953 සිටම නවසීලන්තය හමුවේ එක දිගට ටෙස්ට් තරග 30 කින් පරාජය වී සිටින වේල්ස් කණ්ඩායම මෙම පරාජයන් වැලෙන් මුදවා ගැනීමයි. එහෙත් කිසියම් පරාජයක් ලැබීමෙන් පසුව කළු කමිසකාරයන් වියරු වැටෙන බව ඇලන් නොදන්නවා නොවේ. ඇරත් අවසන් පූර්ව වටයේදී එංගලන්තය හමුවේ නවසීලන්තයට අත්වූයේ නිකම්ම නිකම් පරාජයක් නොවේ. එය ලෝක කුසලාන ඉතිහාසයේදී ඔවුන් ලද විශාලතම පරාජයකි.

එම පරාජයෙන් පසුව නවසීලන්ත ක්‍රීඩක සොනී බිල් විලියම්ස් කීවේ තුන්වැනි ස්ථානය සඳහා ක්‍රීඩා කිරීමට තමන්ට වුවමනා නැති බවයි.

“පුහුණුකරුවෙක් වශයෙන් සාර්ථක වෙනවා කියන්නේ හැම තිස්සේ දිනනවා කියන එකම නෙමේ... කණ්ඩායමේ හැකියාවන්ට වඩා ඉදිරියෙන් සිටිමින් දස්කම් පෙන්වීමට කණ්ඩායම හැඩගැස්වීමයි..... මා හිතන්නේ අපි ස්ථිර වශයෙන්ම ඒ දේ කරලා තියෙනවා” යයි වොරන් ගැට්ලන්ඞ් කීවේය.

වසර 12 ක් පුරා වේල්ස් පිලට ගුරුහරුකම් දුන් වොරන් ගැට්ලන්ඞ්ගේ පිලට තව එක වතාවක් ඒ දේ කළ හැකිවේවිද ? එසේ නැතහොත් නවසීලන්තයට ගුරුහරුකම් දෙන 107 වැනි ටෙස්ට් තරගයේදී 93 වැනි දිනුම වාර්තා කිරීමට ස්ටීවන් හැන්සන්ගේ පිලට හැකිවේවිද ?

අවසන් වරට පැවැති තරග 5 ගතහොත් දෙපිලම පරාජය වී ඇත්තේ ලෝක කුලාන අවසන් පූර්ව තරගය පමණි. එහෙත් නවසීලන්තය සහ වේල්සය අතර පැවැති තරග ගතහොත් තරග 34 කින් 31 ක් ජයගැනීමට නවසීලන්තය සමත් වී තිබේ.

තරගාවලිය පුරාම ක්‍රීඩකයන් මුහුණ දුන් අනතුරු සහ ආබාධ හේතුවෙන් ස්කොට්ලන්ත පිලේ වැඩිදෙනෙකුට හෙට තරගය අහිමි වී තිබේ. එබැවින් ස්කොට්ලන්ත පිලේ වෙනස්කම් 9 කි. නවසීලන්ත පිලේ වෙනස්කම් 7 කි.

නවසීලන්තය මීට පෙර දෙවතාවක්ම ලෝක කුසලාන තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ඇති අතර වේල්සය ඒ දස්කම කළේ 1987 ආරම්භක තරගාවලියේදීය.


අදහස් (0)

එපාවුණ තුන්වැනි තැන සොයා යාම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.