Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එක නායකයකු හිටියා නම් හොඳයි - තිසර

එක නායකයකු හිටියා නම් හොඳයි - තිසර

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමට ස්ථිර නායකයකු පත් කරන්නේ නම් එය 2020 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම ගොඩනඟා ගැනීම සඳහා මනා රුකුලක් වනු ඇතැයි කණ්ඩායමේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ තාවකාලික නායක තිසර පෙරේරා පවසයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තිසර එහිදී මෙසේද පැවසීය.

“මම නායකත්වය බලාපොරොත්තු වෙන ක්‍රීඩකයෙක් නෙමෙයි. මට ඕන කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විධියට දිගු කාලයක් හොඳට ක්‍රීඩා කරන්න. මීට කළිනුත් නායකත්වයට පත් වුණත් මම ඒ දේ බලාපොරොත්තු වුණේ නැහැ. දැන් නැවත කාලය විසින් මට ඒ දේ ලබා දීලා තියෙනවා.”

“නායකත්වයෙන් මාව පහුගිය කාලයේදි ඉවත් වුණා. ඒ වගේම දක්ෂතා දක්වගෙන එනකොට ආයෙමත් මට නායකත්වය ලැබුණා. ඉතින් මම හිතනවා ඉදිරියෙදි නායකයකු වශයෙනුත්, ක්‍රීඩකයකු වශයෙනුත් මට මගේ දක්ෂතා පවත්වාගෙන යන්න හැකි වේවි කියලා.” යැයිද තිසර කියා සිටියේය.

ගෙවී ගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි20 තරග 13 කට සහ ලෝක කණ්ඩායම නියෝජනය කරමින් එක් විස්සයි20 තරගයකට සහභාගි වූ තිසර, එහිදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 259 ක් රැස්කරගෙන ඇත්තේ 21.58 ක සාමාන්‍යක් රැදවාගනිමිනි. එහිදී කඩුලු 8 ක් බිඳහෙළා ඇති තිසර, රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 10 කි.

එංගලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරාට පැවරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තද, එය ස්ථිර පත්කිරීමක් යැයි කීමට තේරීම් කමිටු නිලධාරීහු ඉක්මන් නොවූහ.

මින් පෙර 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී නායකත්වයට පත් වූ තිසර, එම තරගාවලියෙන් අනතුරුව ඉන්දීයාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය. එහෙත් බංග්ලාදෙශයට එරෙහිව පැවැති තරගාවලියේදී තිසර කණ්ඩායමේ සිටියදීම ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලබාදීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.

නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වැදුණ මුල් තරග දෙකේදීද නායකයා ලෙස කටයුතු කළ චන්දිමාල්, කණ්ඩායමේ මන්දගාමී පන්දු යැවීම නිසා විස්සයි20 තරග 2 ක තහනමකට ලක් විය. ඒ හේතුවෙන් එම තරගාවලියේ ඉතිරි තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් වරක් තිසරට පැවරිණ.

එසේ වුවත් අබාධයකට ලක්ව සිටි නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සුවය ලබා පැමිණිමෙන් පසු නැවතත් ඔහු ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය බාරගත් අතර අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණේ මැතිව්ස්ගේ නායකත්වය යටතේය.

මින් පෙනී යන්නේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ (2018) ඔක්තෝබර් මාසය දක්වා වසරක කාලයක් තුළ ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෙහෙයවීම සඳහා විවිධ හේතු මත නායකයන් තිදෙනකුගේ සේවය ලබාගැනීමට තේරීම් කමිටුව කටයුතු කර ඇති බවයි. එම කාල වකවානුව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 තරග 14 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 4 ක් ජයගෙන, තරග 10 ක් පරාජය වී තිබේ.

එම තරග 14 න් තරග 9 ක් තිසර පෙරේරාගේ නායකත්වය යටතේද, තරග 4 ක් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේද, තරගයක් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කර තිබේ. එහිදී ලැබූ ජයග්‍රහණ 4 න් 3 ක්ම ශ්‍රී ලංකාවට හිමි වූයේ චන්දිමාල්ගේ නායකත්වය යටතේ වන අතර සෙසු තරගය ජයගත්තේ මැතිව්ස්ගේ මෙහෙයවීම යටතේය. තිසරගේ නායකත්වය යටතේ සහභාගි වූ තරග 9 දීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.


අදහස් (0)

එක නායකයකු හිටියා නම් හොඳයි - තිසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.