Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට 39-10 ක පහසු ජයක්

එංගලන්තයට 39-10 ක පහසු ජයක්

editorial - 2019 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ආර්ජන්ටිනාවට අනපේක්‍ෂිත පරාජයක් උරුම කර දුන් එංගලන්ත ක්‍රීඩකයෝ ටෝකියෝ නුවර ජාතික ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 39-10 ක විශිෂ්ට ජයක් ලබාගත්හ.

තරගය ආරම්භ වී 6 වැනි විනාඩියේදීම බෙන්ජමින් උර්ඩාපිලේටා දඬුවම් පහරක් සාර්ථක කරගත් හෙයින් ආර්ජන්ටිනාව ලකුණු 3-0 ක් ලෙසින් ඉදිරියට පැනගත්තේය. එහෙත් විනාඩි දෙකක් ඇතුළතදී ජොනී මේ ලබාගත් උත්සාහක දිනුම හේතුවෙන් එංගලන්තය 5-3 ක් ලෙසින් පෙරමුණ ගත්තේය.

විනාඩි කිහිපයක් තිස්සේ දෙපිලේම ක්‍රීඩකයන් එකිනෙකා තල්ලු කරමින් නොමනා ලෙස ක්‍රීඩා කරන්නට වීම හේතුවෙන් ආර්ජන්ටිනාවේ ක්‍රීඩක තෝමස් ලවානිනිට රතු කාඞ්පතින් අවවාද කළ විනිසුරු නයිජල් ඔවෙන්ස් මහතා දෙපිලේ නයකයන්ට කතා කරමින් අවවාද කර සිටියේය. මෙය තෝමස්ගේ තරග දිවියේ දෙවැනි රතු කාඞ් අවවාදය විය.

35 වැනි විනාඩිය ආසන්නයේදී ලයින් අවුට් එකකින් පන්දුව දිනාගත් එංගලන්ත ක්‍රීඩකයෝ එය ජොනී මේ වෙතටත් අනතුරුව එළියට් ඬේලි වෙතටත් යැවූහ. ආර්ජන්ටිනා ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂක වලල්ල බිඳගෙන ගිය ඬේලි තැබූ උත්සාහක දිනුම ප්‍රවර්ථනය කරගැනීමට නායක ඔවෙන් ෆැරල්ට නොහැකි වූවත් ලකුණු 10-3 ක් ලෙසින් එංගලන්තය ඉදිරියේ විය. බෙන් යංග් ලබාගත් උත්සාහක දිනුම මගින් තරගයේ පළමු අර්ධය නිමා වන විට එංගලන්ත කණ්ඩායම 15-3 ක් ලෙසින් ඉදිරියට ගෙන ගියේ ආර්ජන්ටිනා ක්‍රීඩකයන් බොහෝ අසරණ තත්ත්වයකට ඇද දමමිනි.

පළමු තරගයේදී ප්‍රංශය හමුවේ පරාජය වීම හේතුවෙන්  අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් ලබාගැනීමට නම් ආර්ජන්ටිනාව විසින් මෙම තරගය ජයගත යුතුව තිබිණ. එහෙත් මීට පෙර සහභාගි වූ තරග දෙකම ජයගත් හෙයින් එංගලන්තයට අවශ්‍ය වූයේ මෙම තරගය ජයගෙන අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීම පමණ.

විවේකයෙන් පසුව තරගය ආරම්භ වූයේ ආර්ජන්ටිනා ක්‍රීඩකයන් මන්දෝත්සාහී වීමෙනි. එයින් අනගි ප්‍රයෝජන ගත් එංගලන්තයේ ජෝර්ජ් ෆෝර්ඞ් උත්සාහක දිනුමක් තැබීය. අංශක 30 ක පමණ ආනතියකින් සිට සිය පාදය ක්‍රියාත්මක කළ ඔවෙන් ෆැරල් විසින් එය ප්‍රවර්තනය කිරීමත් සමගම එංගලන්තය ලකුණු 22-03 ක් ලෙසින් ඉදිරියේ විය.

ෆෝර්ඞ්ගේ උත්සාහක දිනුමත් සමගින් එංගලන්තයට අතිරේක ප්‍රසාද ලකුණත් හිමිවය.

පළමු අර්ධයේදී ලකුණු ලබාගැනීමේ අවස්ථා කිහිපයක්ම මඟහැරගත් ෆැරල් දෙවැනි අර්ධයේදී සිය පාදය නිසි ලෙස ක්‍රියා කරමින් තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. ලකුණු සංඛ්‍යාව 25-03 ක් විය.

දිගින් දිගටම පසුපසින් සිටි ආර්ජන්ටිනා පිල වෙනුවෙන් 70 වැනි විනාඩියේදී මතායෙස් මොරෝනි තැබූ උත්සාහක දිනුම එමිලියානෝ බොෆෙලි විසින් ප්‍රවර්ථනය කරන ලදි. ලකුණු පුවරුව වෙනස් වූ නමුත් ඒ වන විට තරගය ආර්ජන්ටිනියානුවන් සිතුවාට වඩා ඔවුන්ගෙන් ඈත්වී තිබිණ.

එහෙත් බුරුළක් දුන්නේ එංගලන්ත ක්‍රීඩකයන් නම් නොවේ. 73 වැනි විනාඩියේදී ජැක් නොවෙල් උත්සාහක දිනුමක් තැබූ අතර 79 වැනි විනාඩියේදී ලූක් කවුන්-ඩිකී විසින් තවත් උත්සාහක දිනුමක් තබන ලදි. නායක ඔවෙන් ෆැරල් ඒ දෙකම ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කළේය.

නයිජල් ඔවෙන්ස් විසින් මෙම තරගය විනිශ්චය කරන ලදි.

..


අදහස් (0)

එංගලන්තයට 39-10 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.