Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට ලකුණු 168 ක දැවැන්ත ජයක්

ඉන්දියාවට ලකුණු 168 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමාදාස ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති සිවුවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 168 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය රට තුළදී වැඩිම ලකුණු පරතරයකින් පරාජයට පත්වූ තරගය ලෙස මෙම තරගය වාර්තා අතරට එක්විය.
 
ලකුණු 376 ක අසීරු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 42.4 ක් අවසානයේ ලකුණු 207 කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නෝ සමත් වූහ. ජස්ප්‍රීත් බුම්රා, හර්දීක් පාණ්ඩ්‍යා සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව 22 වන විට ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 14 ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවත් කිරීමට සිය මංගල එක්දින ජතාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ශර්දුල් ඨාකූර් සමත් විය. දික්වැල්ලගේ පිත්තේ වැදී තමා වෙත ඇදී ආ උඩ පන්දුව රැකගැනීමට කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි සමත් වුවද, ප්‍රධාන විනිසුරුවරයා එය දැවීයාමක් නොවන බවට සංඥ්ඥා කළේය. අනතුරුව විනිසුරුවයාගේ තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයට යොමු කිරීමට විරාට් කෝලි පියවර ගත් අතර තෙවැනි විනිසුරුවරයා එය දැවීයාමක් ලෙස සඳහන් කළේය.

සිය මංගල එක්දින ජතාත්‍යන්තර තරගයට සහභාගි වූ ඩිල්ෂාන් මුණවීරටද එහිදී වැඩි යමක් කිරීමට නොහැකි වූ අතර ජස්ප්‍රීත් බුම්රාගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණු 11 ක් පමණි.

පිට ඉන්නට වඩාත් ඇතින් පැමිණි වයිඞ් පන්දුවක් හා සමාන පන්දුවකට කට් පහරක් ගැසිමට යෑමේදී එය උඩ පන්දුවක් බවට පරිවර්ථනය වීම නිසා ලකුණු 18 ක් ලබා සිටි ළහිරු තිරිමාන්නට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ ලැබුණ එම උඩ පන්දුව ඩීප් පොයින්ට් කළාපයේ සිට රැකගන්නා ලද්දේ ශිකර් ධවාන් විසිනි.

තිරිමාන්නගේ දැවීයාමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් (70) සමග එක්වූ මිලින්ද සිරිවර්ධන (39) ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. එහෙත් හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් සිරිවර්ධන දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අන්ජලෝ මැතිව්ස්, පන්දු 80 කින් සිය 33 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය. අක්ෂර් පටේල්ගේ පන්දුවක් හමුවේ ෂෝට් තර්ඞ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ශර්දුල් ඨාකූර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 10 ක් අන්තර්ගතවී තිබිණ.

පන්දු 22 කට මුහුණදුන් වනිඳු හසරංග එහිදී ලකුණු 22 ක් රෑස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක්ද සමගිනි. හොඳින් පන්දුවට පහරදෙමින් සිටි හසරංග, නොතිබුණ ලකුණක් ලබාගැනීමට යෑමේදී ජස්ප්‍රීත් බුම්රා සහ අක්ෂර් පටේල් එක්ව ඔහුව දුවද්දී දවාගැනීමකට හසුකර ගත්හ.

විරාට් කෝලි (131) සහ රෝහිත් ශර්මා (104) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 168 කදී ගොඩනැගූ ලකුණු 219 ක අගනා සම්බන්ධතාව නිසා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 375 ක් ලබා ගත්තේය. මෙම ලකුණු සංඛ්‍යාව ආර්. ප්‍රේමාදාස ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව මෙන්ම විදෙස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව මෙරටදී ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාවද විය.
 
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණයට අභියෝග කළ විශ්ව ප්‍රනාන්දු තමා යැවූ පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය. ධවාන් විසින් ගැසූ වේගවත් පහරට පොයින්ට් කළාපයට ඉලින් ඇදී ගිය පන්දුව ඩීප් තර්ඞ්මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි මාලින්ද පුෂ්පකුමාරගේ දෑත් අතර සිරවීමත් සමග ධවාන්ගේ ඉනිම ලකුණු 4 කට සීමා විය.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල බිඳවැටීමෙන් අනතුරුව වේගවත් පිතිහරඹයක නිතර වූ නායක විරාට් කෝලි පන්දු 76 කදී සිය 29 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළේය. කවර් පොයින්ට්හි පන්දු රකිමින් සිටි ඩිල්ෂාන් මුණවීර අතට උඩ පන්දුවක් දෙමින් ලසිත් මාලිංගගේ 300 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වන විට ඔහු සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 17 කින් අලංකාර කර තිබිණ.

කෝලිගේ දැවීයාමෙන් ලකුණු පුවරුවට තවත් ලකුණු 37 ක් එක්වන විට පිට පිට පන්දු 2 කදී හර්දීක් පාණ්ඩ්‍යා (19) සහ රෝහිත් ශර්මා පිටියෙන් ඉවත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. මැතිව්ස් විසින් යවන ලද ඉන්දීය ඉනිමේ 34 වැනි ඕවරයේ පළමු පන්දුවට හර්දීක් පාණ්ඩ්‍යා ලබා දුන් උඩ පන්දුවක් අඛිල ධනංජය අතින් ගිලිහී ගියේය. එහෙත් ලද අවස්ථාවෙන් නිසි ඵල නෙළගැනීමට අපොහොසත් වූ පාණ්ඩ්‍යා එම ඕවරයේම තෙවැනි පන්දුවේදී වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

මැතිව්ස්ගේ ඊළග පන්දුව නිදැල්ලේ යැවීමට රෝහිත් ශර්මා ගත් උත්සාහයක් වැරදී ගියේ එය පිත්තේ ඉහළ දාරයේ වැදී කඩුලු රකිමින් සිටි නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලෙස ඇදීයාම  හේතුවෙනි. පන්දු 88 කදී වාර්තා වූ සිය 13 වැනි එක්දින ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත කිරීමට ශර්මා සමත් විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි ලෝකේෂ් රාහුල්ටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග අතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රාහුල් ලබා සිටියේ ලකුණු 7 ක් පමණි.

මුලු ලකුණු සංඛ්‍යාව 274 ක් වන විට ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 5 ම බිඳවැටී තිබූ අතර එතැන් පටන් මනීෂ් පාණ්ඬේ (නොදැවී 50) සමග එක්වූ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 49) 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 101 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ඉහලට ඔසවා තැබීය. පන්දු 42 කදී වාර්තා වූ දෝනිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 42 කදී වාර්තා වූ පාණ්ඬේගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ඉන්දීය ඉනිමේ 48 වැනි ඕවරයේදී ලසිත් මාලිංග යැවූ පළමු පන්දුවටම ලකුණු 25 ක් ලබා සිටි මහේන්ද්‍ර සිං දෝනි උඩ පන්දුවක් ලබා දුන් අතර එය ඩිල්ෂාන් මුණවීර අතින් ගිලිහී ගියේ දෝනිට තවදුරටත් පිටියේ රැදී සිටීම සඳහා අවස්ථාව ලබා දෙමිනි.

 

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 168 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.