Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආර්ජන්ටිනාව - ප්‍රංශය ගල උඩ සටනක

ආර්ජන්ටිනාව - ප්‍රංශය ගල උඩ සටනක

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුළු ආර්ජන්ටිනාවේම එකම බලාපොරොත්තුව බවට පත්වූ ලයනල් මෙසී ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයේදී අප්‍රමාණ පීඩනයකට නතුවනු ඇත. ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර අද පැවත්වෙන පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී මෙම තත්ත්වය වඩාත් කැපී පෙනෙනු ඇතැයි ප්‍රංශයේ ආරක්ෂක පෙළ ක්‍රීඩක සැමුවෙල් උම්ටිටි කියයි.

බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකරද්දී මෙම ක්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායම් සගයින් වන නමුත් කසාන් හීදී අද පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී දෙන්නා දෙපිලේ සිටිනු ඇත. එහෙත් තමාට මෙන් නොව ආර්ජන්ටිනාව වෙනුවෙන් වැඩි බරක් කරපින්නා ගැනීමට තම බාසිලෝනා සගයාට සිදුවීම ගැනත් සැමුවෙල් අනුකම්පාවෙන් කතා කළේය.

“මම ඔහුව හැමදාම දුටුවා. ඔහුව නැවැත්වීම හරිම අපහසුයි”

“හෙට තරගයේදී අපේ ඉලක්කය ඔහු තමා. හැබැයි ඔහු වගේම දස්කම් ඇති තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම (ආර්ජන්ටිනා) කණ්ඩායමේ ඉන්නවා” යයි මෙසී සමග වසර දෙකක් පුරා බාසිලෝනා පිලට ක්‍රීඩා කරන සැමුවෙල් කියන්නේ  එසේය.

“ආර්ජන්ටිනාවේ වැසියන් ඔහුට තදින් ඉන්නවා. ඒත් හැමෝම දැනගන්න ඕනා හැමදේම ඔහුට තනියෙන් කරන්න බැරි බව” යයි සැමුවෙල් උම්ටිටි කියන්නේ අනුකම්පා සහගතවය.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්වට වටයට සුදුසුකම් ලබාගැනීමට නම් මෙසීට තම ගෝල ඉඩෝරය නිමා කරගත යුතුව තිබේ. ඔහු මූලික වටයේ පළමු තරග දෙකේදීම ගෝල ලබාගත්තේ නැත. ලැබූ එකම ගෝලය අන්තිම තරගයේදී නයිජීරියාවට එරෙහිවය. එහෙත් එය අලංකාර ගෝලයකි.

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ බලවත්ම රටවල් දෙකක් වන ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර තරගය වේලාසනින්ම පැවැත්වීම එක අතකින් නරඹන්නන්ගේ අපේක්‍ෂා සුන්කර දමන්නකි. 1978 දී සහ 1986 දීත් ලෝක පාපන්දු කුසලාන දිනාගත් ආර්ජන්ටිනාවත්, 1998 පාපන්දු ලෝක කුසලානය අයිතිකරගත් ප්‍රංශයත් මෙවර තරගාවලියට එක්වූයේ අවසන් 4 දෙනා අතරට යාමේ බලාපොරොත්තුවෙනි. එහෙත් හෙට වෙද්දී එක් කණ්ඩායමකටම නැවත ගම්බිම් බලා යාමට ගුවන් ටිකට්පත් සූදානම් කරගැනීමට සිදුවනු ඇත.

සර්ජියෝ අගියුරෝ, මාකෝස් රෝජා හෙට තරගයේදී මෙසීගේ පීඩනයෙන් වැඩි පංගුවක් කර මතට ගැනීමට සූදානමින් සිටිති. ඒ අතරවාරයේදීම හියුගෝ ලෝරිස්, පෝල් පෝග්බා සහ කයිලාන් එම්බපේ ප්‍රංශ කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට හැකි සෑම උත්සාහයක්ම ගනු නිසැකය.

මෙසී තරමක අයහපත් කාලයකට මුහුණ දී සිටින හෙයින් කාගේත් බලාපොරොත්තු ප්‍රංශය මත රැඳවී ඇතත් ආර්ජන්ටිනාව යනු පීඩනය වැඩිවන විට වඩාත් හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමකි. විශේෂයෙන්ම පසුගිය ලෝක කුෂලාන තරගාවලියේ අවසාන මහ තරගයේදීත්, කෝපා ඇමරිකා තරගාවලියේ අවසාන මහ තරගයේදීත් තමන්ට සිදුවූ දෙය හොඳින්ම දන්නා අර්ජන්ටිනියානුවෝ මේ තමන්ගේ අවසන් අවස්ථාව බවත් වටහාගෙන සිටිති.


සැකසුම : මොහාන් ප්‍රනාන්දු

 


අදහස් (0)

ආර්ජන්ටිනාව - ප්‍රංශය ගල උඩ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.