Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආඬි හත්දෙනාගේ කැඳ හැළියක කතාව

ආඬි හත්දෙනාගේ කැඳ හැළියක කතාව

Nisanka Sandeepani - 2017 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන්නා වූ පරාජයන් වැල එන්න එන්නම දිගු වෙමින් පවතින අතර පරාජයන්හි විශාලත්වයද දිනෙන් දින වැඩිවෙයි. ක්‍රීඩා ලෝලීන්ගේ හිතට දැනෙන වේදනාවත් එන්න එන්නම වැඩිවෙනවා මිස අඩුවක් නොදැණේ. 

මේ වේදනාව ක්‍රීඩකයන්ගේ කාමරයේ සිටින අයට දැනෙන්නේ කොහොමද? ඒ වේදනාවේ තරම විස්තර කිරීමට නික් පොතාස් මහතාට දඹුල්ලේදී අවස්ථාවක් ලැබිණ. 

“ඒක රිදීමත් අපහසුතාවට පත්වීමත් අතරේ දෙපැත්තටම යනවා. හැඟීම්බර වුණොත් කේන්ති යයි. කෝපයට පත්වෙයි. ඒත් මම ක්‍රීඩකයන් සම්බන්ධයෙන් කෝපයට පත්වෙලාද ? කිසිසේත්ම නෑ” යයි දඹුල්ලේදී පැවැති පළමු වැනි එක්දින තරගය පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මහතා දඹුල්ලේදී කීවේය.  

තමන් ක්‍රීඩකයන් සමග කෝපයට පත්වී නැති බව පුහුණුකරුවා කී නමුත් ඔහුගේ වදන් අතරේ සැඟවුණ යමක් තිබිණ.  “හැඟීම්බර වුණොත් කේන්ති යයි. කෝපයට පත්වෙයි”  ඔහු කීවේය. 

“ක්‍රීඩකයන් ඔවුන්ට පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරනවා. ඔවුන් නියමයි. කණ්ඩායමේ සහාය නිලධරීන් අති විශිෂ්ටයි. ඔවුන් මේ කොල්ලන් එක්කලා පැය ගණන් එක දිගට වැඩ කරනවා. ක්‍රීඩකයන්ගේ කාමරයේ සිටින කිසිවකුගේ වරදක් මට පේන්න නෑ” යයි කී පුහුණුකරුවා....

“ඇත්ත, අපි අද දවසේ අපගේ හොඳම ක්‍රිකට් ක්‍රීඩාව කළේ නෑ තමයි. ඒක හොඳින්ම පෙනෙන්නට තියෙන දෙයක්. ඒ ගැන ඔබ කෝපයට පත්වෙන්න වුණත් පුළුවන්. ඒත් මා හිතන්නේ ‘මෙතැනට කෝකියෝ වැඩිවෙලා’ කියන එක මේ සම්බන්ධයෙන් කියන්න තියෙන සුදුසුම දේ කියලයි” යයිද පැවසීය. 

මෙය බරපතළ ප්‍රකාශයකි. පුහුණුකරුවාගේ සිත තුළ ඇති අසහනය නොහොත් අප්‍රසාදය කළඑළි බැසීමකි. එහෙත් ඔහු “කෝකියෝ වැඩිවෙලා” යයි කීවා මිස කෝකියන් කවුරුන්ද යන්න හෙළිදරව් නොකිරීමට පරෙස්සම් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම සංක්‍රාන්ති සමයක සිටින බවත් ක්‍රීඩකයන්ට අත්දැකීම් එක්වීමත් සමගින් කණ්ඩායම වඩාත් හොඳ තත්ත්වයකට පත්වන බවත් දිගින් දිගටම කියැවෙන නමුත් “සංක්‍රාන්ති සමයේ කෙළවර කොතැනද?” යන්න කළ විමසීමේදී නික් පොතාස් මහතා දුන්නේ ඊටත් එහා ගිය උත්තරයකි. 

“මේක මටත්, අප කරන දේවල පාලනය අපටත්, බාරවෙලා තිබුණා නම් ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න මම කැමතියි. එහෙනම් මා ඔබට නියමිත කාලයක් දෙනවා. ඒත් මේ ප්‍රශ්නය තවත් කීප දෙනෙකුගෙන්ම ඇසිය යුතු දෙයක්” යයි කීවේ “කෝකියෝ වැඩිවෙලා” යන්න නැවත වතාවක් තහවුරු කරමිනි. 

“මගේ පැත්තෙන් බලන කොට, අපට අපේ පාඩුවේ ඉන්න දෙනවා නම්, ඒ වගේම මේ ක්‍රීඩකයන් එක්ක වැඩ කරගෙන යන්න දෙනවා නම්, මාස හයක කාලයක් ඇතුළත කිසියම් ස්ථාවරත්වයක් ඇතිකරගන්න අපට පුළුවන්. ඉතාමත් විශාල දියුණුවක් ඔබ සියලු දෙනාට දකින්න පුළුවන් වේවි....මේ ක්‍රීඩකයන් සියලු දෙනාම වාගේ හැකියාවන් උපතින්ම ගෙන ආ ක්‍රීඩකයන්”

“ඔවුන්ට ටිකක් කාලය දෙන්න...ඔවුන්ට ආදරය කරන්න...ඔවුන් ගැන හොඳින් බලන්න, විශ්වාසය වර්ධනය කරන්න...ඉතාමත් ඉක්මනින් ඔබට ප්‍රතිඵල දකින්න පුළුවන්” යයිද පුහුණුකරුවා පැවසීය. 

මඳකට ආපසු හැරී බලමු. ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන් 3-0 කින් පරාජය කළේ සංගක්කාර, මහේල, ඩිල්ෂාන් හෝ ලසිත් මාලිංග යන සිවුදෙනාගෙන්ම කිසිවකු නැතිවය. වෙනස් මුහුණු දෙක තුනක් ඇති නමුත් සාධාරණ වශයෙන් දැනට සිටින්නේත් ඒ කණ්ඩායමය. සියල්ල කණපිට පෙරළුණේ බංග්ලාදේශ පිලට එරෙහි තරගාවලියට පෙර අංසක ගුරුසිංහ මහතා කණ්ඩායමට එක්වූ දා සිට යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 

මක්නිසාද යත් බංග්ලාදේශ තරගාවලියට ඉතාමත් ආසන්න තරගාවලි දෙකක් වූ දකුණු අප්‍රිකාවේදී පැවති විස්සයි:20 තරගාවලිය මෙන්ම ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි:20 තරගාවලියත් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ බැවිණි. 

නිහඬ නමුත් සාර්ථක පුහුණුකරුවකු වන ග්‍රැහැම් ෆෝඞ් මහතා කණ්ඩායම හැරගියේත්, ශ්‍රී ලංකා කණ්ඩායමට එකම තරගාවලියක් හෝ ජයගත නොහැකි වූයේත් ගුරුසිංහ මහතා පැමිණිදා සිටය. අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීම පසුපස ඇත්තේ වෙනම කතාවකි. 

ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ හෙංචයියන් ජාතික කණ්ඩායමේ තේරීම් වලට ඇඟිලි ගැසීම හේතුවෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහත් කෝපාවිෂ්ඨ වූයේ වරක් දෙවරක් නොවේ. මෙම කරාණාව නිසාම ඔහු දෙවරක්ම තේරීම් කමිටු සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමටත් සූදානම් වූයේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නමගිය ක්‍රීඩකයන් තමන් සමග වැඩකිරීමට අකමැති බව දන්නා සුමතිපාල මහතා 1996 ලෝක කුසලාන ජයගත් කණ්ඩායමේ ජයසූරියට වඩා ජ්‍යෙෂ්ඨයකු වන අසංක ගුරුසිංහ කණ්ඩායමට කැඳවාගෙන එන්නේ කණ්ඩායමේ කළමණාකරු වශයෙන් රංජිත් ප්‍රනාන්දු මහතා සිටියදීමය. එහි මූලික අරමුණ වූයේ කණ්ඩායම තේරීම සම්බන්ධයෙන් සනත් ජයසූරියට තිබූ ඒකාධිකාරය බිඳ දැමීම සහ ජයසූරියගේ හඬ බාල කිරීමයි. 

දින කිහිපයකට පසුව තේරීම් කමිටුවටත් එක්වන ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු ඇඟළුම් ඇඳ නිතරම ක්‍රීඩාංගණය මැදදී දැකිය හැකි දසුනක් බවට පත්වන්නේ කාලයත් සමගිනි. 

ගුරුසිංහ මහතා ක්‍රීඩා කළ සමයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අබු ෆුවාඞ්, ස්ටැන්ලි ජයසිංහ සහ දුලිප් මෙන්ඩිස් මෙන්ම මෑත කාලයේත් සිටි බ්‍රෙන්ඩන් කුරුප්පු, අනුර තෙන්නකෝන් සහ රංජිත් ප්‍රනාන්දු වැනි කළමණාකරුවෝ කරපටියක් පැළඳ තමන්ට අදාළ රාජකාරිය කළා විනා පිට්ටනිය මැද ප්‍රදර්ශනය වන්නට ගියේ නැත. 

තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ගැනද කිව හැක්කේත් ඒ ටිකමය. සනත්ලා ක්‍රීඩා කරන සමයේ තේරීම් කමිටුවේ සිටි සිදත් වෙත්තමුණි,  රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස් යන මහත්වරුන් හෝ ඉන් පසුව සිටි තේරීම් කමිටු සභාපතිවරුන් වන ලලිත් කළුපෙරුම සහ බ්‍රෙන්ඩන් කුරුප්පු යන මහත්වරුන් පිට්ටනිය මැද දැකගත හැකිවූයේත් නැත. 

කණ්ඩායමේත් පුහුණුකරුවෝ බොහෝ වෙති. වේග පන්දු යවන්නන්ට, පිතිකරුවන්ට, දඟ පන්දු යවන්නන්ට, පන්දු රකින්නන්ට ආදී මෙකී නොකී පුහුණුකරුවෝ වෙති. එහෙත් තරග පරදිති. “කෝකියෝ වැඩිවෙලා” යයි නික් පොතාස් මහතා කියන්නේ මේ අය ගැනද? නැතිනම් සනත් ජයසූරිය හෝ අසංක ගුරුසිංහ මහතා ගැනද? 

වසර 21 කට පෙර, ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ අසංග ගුරුසිංහ පිළිබඳව ශ්‍රී ලාංකිකයන් තුළ මෙතෙක් පැවැති භක්ත්‍යාදරය මේ වන විට නොරිස්සීමක් බවට පරිවර්තනය වී තිබේ. මහත් කැපවීමෙන් තේරීම් කටයුතු කරන නමුත් ජයසූරියගේ තේරීම් සම්බන්ධයෙන්ද ශ්‍රී ලාංකිකයන් තුළ නැගඑමින් පවතින්නේ අප්‍රසාදයකි. මෙම තත්ත්වය හසුරුවාගත හැක්කේ ඔවුන් දෙදෙනාටම පමණි. 
 


අදහස් (0)

ආඬි හත්දෙනාගේ කැඳ හැළියක කතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.