Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශාන් හත්වැනි මෝටර් රථ කිරුළත් දිනයි

අශාන් හත්වැනි මෝටර් රථ කිරුළත් දිනයි

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසර (2019) තුළදී දිනාගත් 7 වැනි මෝටර් රථ ශූරතාවටද හිමිකම් කියමින් ඉකුත් ඉරිදා (1 වැනිදා) වැලිසර, නාවික හමුදා ධාවන පථයේදී නිමාවට පත්වූ ‘කොළඹ සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ගැනීමට අශාන් සිල්වා සමත් විය.
 
අශාන් දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානයට හිමිකම් කීවේ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර දෙකම ජයගනිමිනි. තරගකරුවන් 7 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති එම අදියර දෙකේදීම එක් වරක් හෝ තමා පසුකරයෑමට අන් කිසිදු තරගකරුවකුට ඉඩ ලබා නොදීමට අශාන් වග බලාගත්තේය.

එහි පළමු අදියර පහසුවෙන්ම ජයගැනීමට අශාන් සමත් වුවත්, වසර එකහමාරකට පමණ පසුව යළිත් තරග බිමට අවතීරණ වූ පසිඳු පීරිස්ගෙන් දෙවැනි අදියරේදී අශාන්ට දැඩි අභියෝගයක් එල්ල විය. අදියර දෙකේදීම දෙවැනියා ලෙසින් අශාන් පසුපස හඹාගිය පසිඳු දෙවැනි අදියර නිමා කළේ අෂාන්ට වඩා තත්පර කිහිපක් පසුපසිනි.

අශාන්ට සහ පසිඳුට තරගයක් දීමට නොහැකි වුවත්, එම ඉසව්වේ ප්‍රබල ක්‍රීඩකයන් වන උෂාන් පෙරේරා සහ කුෂාන් පීරිස් පසුපසට ඇද දැමූ ඉෂ්රාක් වහබ්, අදියර දෙකේම තෙවැනි ස්ථාන හිමිකර ගත්තේය. පළමු අදියරේ සිවුවැනි ස්ථානයට පත්වූ උෂාන්ට දෙවැනි අදියරේදී සිය මෝටර් රථය නිසි ලෙස පාළනය කරගැනීමට නොහැකි වූ අතර පළමු අදියරේදී අනතුරකට ලක්වූ කුෂාන්, සිවුවැනියා ලෙස දෙවැනි අදියර නිමා කළේය.
 
එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගත් ලාබාල ක්‍රීඩක ෂෙනාල් ගුණවර්ධන, ඉන් නොනැවතී එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ තෙවැනි ස්ථානයද හිමිකර ගත්තේය. එහිදී ෂෙනාල්ට හොඳ තරගයක් දුන් ප්‍රවීණ ක්‍රීඩක උපුල්වන් සේරසිංහට එම ඉසව් දෙකේම දෙවැනි ස්ථාන හිමිවිය.

සෙසු තරගකරුවන්ට ප්‍රභල අභියෝගයක් වෙමින් එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය ජයගැනීමට මාලික කුරුවිටාරච්චි සමත් වෙද්දී, පළමු වරට ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි.ධා. 5500 දක්වා) ඩීසල් ජීප් රථ තරගය ජය ගැනීමට ප්‍රවීණ ක්‍රීඩක ඉන්දු සමරකෝන්ගේ පුත් චමෝද් සමරකෝන් සමත් විය.

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සහ නුවර එළිය මෝටර් රථ සමාජයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා සහභාගි විය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළ අතර ප්ලැටිනම් අනුග්‍රාහකයන් ලෙස සියැට්, හොණ්ඩා සහ කේ.ටී.එම්. යන සමාගම් කටයුතු කළහ. ඩීමෝ, අබාන්ස් යන සමාගම් සහ ලංකා බැංකුව සම අනුග්‍රාහකයන් ලෙසද, ෂෙල් ගෑස් සමාගම සහ කෝස්වේ පේන්ට්ස් සමාගම සෙසු අනුග්‍රාහකයන් ලෙසද තරගාවලියට එක්ව සිටියහ.


තරග ප්‍රතිඵල
එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 අදීෂ කිත්විත් (නිසාන් මාර්ච් 1000)
2 ජගත් ප්‍රනාන්දු (නිසාන් මාර්ච් 1000)
3 ඩිලුක්ෂ පෙරේරා (නිසාන් මාර්ච් 1000)


එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ
1 සඳරු වීරසිංහ (ඔටෝ බැක්ස් මිනි 1275)
2 කුෂාන් පෙරේරා (ඔස්ටින් මිනි 1275)
3 නිෂාත් ද අල්විස් (ඔස්ටින් මිනි 1275)


එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කෝලිත එදිරිසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 ශාමල් වෑගොඩපොල (මැස්ඩා බී.එෆ්. 1300)
3 තේනුක ලියනආරච්චි (මැස්ඩා බී.එෆ්. 1300)


එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 ෂෙනාල් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 සුදීර නිලවීර (ෆෝඞ් ලේසර් 1300)


එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 තරිඳු ධර්මරත්න (මැස්ඩා 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3 ෂෙනාල් ගුණවර්ධන (මැස්ඩා 1500)  


එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 ප්‍රබාජි බණ්ඩාර (සුබාරු ලෙගාසි 2200)
3 මේනක සඳරුවන් (සුබාරු ලෙගාසි 2200)


ටී. සහ ජේ. කාණ්ඩයේ (සි.ධා. 5500 දක්වා) ඩීසල් ජීප් රථ
1 චමෝද් සමරකෝන් (මිට්සුබිෂී පෙජරෝ 2800)
2 කාසිම් වහබ් (සැංයොං 1998)
3 මංජුල විජේසිංහ (මිට්සුබිෂී පෙජරෝ 2800)   


එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 2000)


එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

 


අදහස් (0)

අශාන් හත්වැනි මෝටර් රථ කිරුළත් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.