Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවස්ථාව අල්ලා ගැනීම තරගයේ වාසියයි - තිසර

අවස්ථාව අල්ලා ගැනීම තරගයේ වාසියයි - තිසර

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 තරගය පස්වරු 7.00 ට ආරම්භ වන බැවින් එහි කාසියේ වාසිය ජය ගැනීම එතරම් වැදගත් නොවන බවත්, කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය කෙරෙහි ගැන වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා විස්සි20 කණ්ඩායමේ නායක තිසර පෙරේරා පවසයි.  

දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-1 ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් වූ අතර විස්සයි20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසන් පුහුණු සැසිය නිමා වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී තිසර ඒ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය.

“හෙට තරගය පටන් ගන්නේ 7.00 ට. පින්න වැටෙනවා නම් ඒ වෙනකොට වැටෙන්න පටන් අරන් ඉවරයි. ඒ නිසා කාසියේ වාසිය තරගයට ලොකු බලපෑමක් කරයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා කාසියේ වාසිය ගැන අපි එච්චර හිතන්නේ නැහැ. කොහොමත් කාසියේ වාසියයි, කාලගුණයයි කියන්නේ අපිට පාලනය කරන්න බැරි දෙකක්.”

“විස්සයි20 තරගයක පන්දු රැකීමෙදි වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායම තමයි ජයගන්නේ. ඒ නිසා ක්‍රීඩා පිටිය තුළදි උඩ පන්දු අතහරින්නේ නැතුව, හොඳ ජවයකින් පන්දු රැකීමේ නිරත වුණොත් මම හිතනවා අපිට විස්සයි20 තරගයත් දින්නන් පුළුවන් වෙයි කියලා. ලැබෙන පොඩි අවස්ථාවක් පවා අපේ වාසියට හරවා ගත්තොත් අපිට ඒක කරන්න බැරි වෙන එකක් නැහැ.” යැයිද තිසර පැවසීය.

ආධුනික ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් අවසන් එක්දින තරගයට සහභාගි නොවූ ලසිත් මාලිංග හෙට තරගයට සහභාගි වීමට සූදානමින් සිටින බවද, විස්සයි20 කණ්ඩායමට නම් කරන කුසල් පෙරේරාගේ තත්වය තවමත් යහපත් අතට හැරී නොමැති බැවින් ඔහු වෙනුවට අතිරේක ක්‍රීඩක සධීර සමරවික්‍රම කණ්ඩායමට ඇතුළත්ව සිටන බවද වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් තිසර පෙරේරා දැක්වූයේ මෙවන් අදහසකි.

“පස්වැනි එක්දින තරගයේදී අපි ආධුනික ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා. ලසිත් මාලිංග කියන්නේ ඕනම වෙලාවක තරගයක් ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. තවමත් අවසන් කණ්ඩායම නම් කරලා නැහැ. හෙට තණතීරුව දිහා බලලා තමයි අවසන් කණ්ඩායම තීරණය කරන්නේ. එකේදි මාලිංගට කණ්ඩයමට ඇතුළත් වෙන්න වැඩි ඉඩක් තියනවා කියලා මම හිතනවා.”

“කුසල්ගේ ආබාධය තාමත් 100% ක්ම සුව වෙලා නැහැ. ඒ නිසා එයා හෙට තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වෙනුවෙට අපි එක්දින තරගාවලියේදි දස්කම් දක්වපු සධීර සමරවික්‍රමව සංචිතයට කැඳවලා තියෙනවා.” යැයි තිසර සඳහන් කළේය. එක්දින තරගාවලියේ තරග 3 කට ක්‍රීඩා කළ සධීර එහිදී අර්ධ ශතකයක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 90 කි.

විස්සයි20 සංචිතයට එක්ව සිටින තවමත් ජාත්‍යන්තර වරම් දින නොමැති යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සම්බන්ධයෙන් තිසර මෙසේ සිය අදහස් දැක්වීය.

“කමිඳු මෙන්ඩිස් කියන්නේ දක්ෂ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පළාත් තරගාවලියේදි මමයි, ඔහුයි කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කළේ. ඒ නිසා මම ඔහුගේ දක්ෂතා ගැන දන්නවා. අත් දෙකෙන්ම පන්දු යවන්න පුළුවන් කියන්නේ ලොකු වාසියක්. මොකද එහෙම කෙනෙකුට දකුණත්, වමත් පිතිකරු සම්බන්ධතාවකදී පන්දු යවන්න ලේසියි. මමත් ලංකාවට ක්‍රීඩා කළේ අවුරුදු විස්සෙදි. ඒ නිසා මම හිතනවා කමිඳුට වුණත් දැන්මම කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දෙනවා නම් අපි අයින් වෙන කාලෙක එයා හොඳ තත්වයකට ඇවිත් ඉඳීවි කියලා.”


ශ්‍රී ලංකා සංචිතය
තිසර පෙරේරා (නායක), නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, අකිල ධනංජය, ලසිත් මාලිංග, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන

එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙයාස්ට්‍රෝ, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, මුයින් අලී, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජෝඩාන්, ලයෑම් ප්ලන්කට්, ආදිල් රෂීඞ්, ඔලී ස්ටෝන්, සෑම් කරන්, මාක් වුඞ්, ටොම් කරන් සහ ඇලෙක්ස් හේල්ස්

 


අදහස් (0)

අවස්ථාව අල්ලා ගැනීම තරගයේ වාසියයි - තිසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.