Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපේක්‍ෂාවත් - කීර්තිනාමයත් අතර අභියෝගය

අපේක්‍ෂාවත් - කීර්තිනාමයත් අතර අභියෝගය

editorial - 2019 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

එඩී ජෝන්ස්ගේ එංගලන්ත පිලට ඇත්තේ අවසන් පූර්ව වටයේදී නවසීලන්තය පරාජය කරමින් පෙන්වූ දස්කම් සම කිරීමට හෝ ඊට වැඩි යමක් කිරීමේ අපේක්‍ෂාවයි. එහෙත් දකුණු අප්‍රිකානුවෝ තරමක් වෙනස් ආකාරයට සිය සැලසුම් සකස් කරති. ඔවුන්ගේ අපේක්‍ෂාව කීර්තිනාමයයි.

ජපානයේ යොකොහාමා ක්‍රීඩාංගණයේදී හෙට (සෙනසුරාදා) පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය ජයගනු ඇතැයි කාගේත් අපේක්‍ෂාව වූවත් දකුණු අප්‍රිකානුවන්ගේ වත්මන් ක්‍රීඩා රටාව අනුව පෙරළියක් සිදුවීමේ සම්භාවිතාවක්ද තිබේ.

එංගලන්තය අවහිර කළේ පිට පිටම තුන්වැනි වතාවටත් ‘වෙබ් එළිස්’ කුසලාන සොයා ගිය නවසීලන්ත කණ්ඩායමටයි. ඇරත් අවසන් පූර්ව වටයේදී එංගලන්තයේ ආක්‍රමණශීලී තරග රටාව හේතුවෙන් නවසීලන්තය පසුබා ගිය අන්දම කිසිවකුට ඇදහිය නොහැකි තරම් විය. එය ආරම්භ වූයේ නවසීලන්ත ක්‍රීඩකයන්ගේ ‘හකා’ නර්තනයට එංගලන්තය ක්‍රීඩකයන් දැක්වූ ‘වී’ හැඩයේ ප්‍රතිචාරයෙනි.

මෙම ‘වී’ අකුරේ ප්‍රතිචාරය හේතුවෙන් එංගලන්ත පිලට දඩගැසුම් කන්නට සිදුවුවද තරගයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රීඩකයෝ ඒ ගැන තඹයකට නොතකති. නවසීලන්තයට එරෙහි තරගයෙන් 19-7 ක විශිෂ්ට ජයක් එංගලන්ත පිල අත්කරගත්තේය.

අවසන් මහ තරගය සඳහා ක්‍රීඩා කරන එංගලන්ත පිලේ ක්‍රීඩකයන් 15 දෙනාගේ වෙනසක් නොවේ.  එංගලන්තයේ ලොක් ෆෝවර්ඞ් ක්‍රීඩකයන් වන කර්ට්නි ලෝස් සහ මාරෝ ඉතෝජේ දෙදෙනාට පසුපෙළ ක්‍රීඩකයන් වන බිලී උනිපෝලා මෙන්ම ෆ්ලෑන්කර්ලා දෙදෙනා වන සෑම් අන්ඩර්හිල් සහ ටොම් කරී වෙතින් කදිම සහයෝගයක් ලැබේ. මෙම තරගාවලිය පුරාම එය හොඳින් දැකගන්නට ලැබිණ. ජෝර්ජ් ෆෝර්ඞ් මෙන්ම නායක ඔවෙන් ෆැරල් කොයි වේලාවේදීත් තමන්ගේ කණ්ඩායම ඉදිරියෙන් තැබීමට වගබලා ගනිති. ජොනී මේ සහ ඇන්තනි වොට්සන් දෙදෙනා තුළ එංගලන්තයට අවශ්‍ය ජවය රැඳී තිබේ.

වසර හතරකට ඉහතදී රග්බි ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේදී පැවැති අවස්ථාවේදී එංගලන්තය ඉතාමත් අවාසනාවන්ත ලෙසින් මුලික වටයේදීම ඉවතට විසිවය. ඉන් පසුව කණ්ඩායමේ පුහුණුකරුවා වූ එඩී ජෝන්ස් එදා සිටම කියා සිටියේ ජපානයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ජයගැනීම සිය අරමුණ බවයි.

වසර 2003 දී ඕස්ටේ්‍රලියානු පිල ලෝක කුසලාන අවසන් මහ තරගය දක්වා කැඳවාගෙන ගිය පුහුණුකරු එඩී ජෝන්ස් 2007 දී දකුණු අප්‍රිකානු පිලේ උපදේශකවරයකුව සිටියදී දකුණු අප්‍රිකානුවන් විසින් එංගලන්තය පරාජය කරන ලදි.

අවසන් පූර්ව වටයේදී වේල්සය ලකුණු 16-13 කින් පරාජය කළ දකුණු අප්‍රිකානුවන් වෙතින් සුවිශේෂී යමක් ප්‍රදර්ශනය නොවුණ නමුත් ඔවුන් එය අවසන් මහ තරගය දක්වා සඟවා ගත්තාද යන්නත් සැකයක් තිබේ.
දකුණු අප්‍රිකානුවන්ගේ විශාලතම ශක්තිය වන්නේ මනා ශාරීරික යෝග්‍යතාවයි. වේගවත් ඉදිරි පෙළ ක්‍රීඩකයන් හය දෙනකු සිටින දකුණු අප්‍රිකානු පිලට චෙල්සින් කෝල්බිගේ පැමිණීම ශක්තිය වැඩි කරන්නකි. අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු පිලෙන් අපේක්‍ෂා කළ හැකි එකම වෙනස එයයි.

ෆෆ් ඩි’ක්ලර්ක් සහ හෙන්රි පොලාර්ඞ් දෙදෙනා ප්‍රතිවාදීන් පීඩනයට නතු කිරීමටත් එමගින් දඬුවම් පහර නිර්මාණය කරගැනීමටත් මහත් සමර්ථයෝ වෙති.

මේ දක්වා රග්බි ලෝක කුසලාන දිනාගත් කිසිම කණ්ඩායමක් සිය මූලික වටයේ තරග පරාජය වී නැත. එහෙත් දකුණු අප්‍රිකානුවෝ මූලික වටයේදී නවසීලන්තය හමුවේ පරාජය වී සිටිති.

පසුගිය වසර දෙක පුරාම දකුණු අප්‍රිකානු පිලට ගුරුහරුකම් දෙමින් සිටින රාසි එරැස්මස් කණ්ඩායමේ සීඝ්‍ර දියුණුවක් ලබාගත් පුහුණුකරුවෙකි. දකුණු අප්‍රිකානු රග්බි ඉතිහාසයේ පළමු වැනි කළු ජාතික නායකයා වන සියා කොලිසි යටතේ දකුණු අප්‍රිකානුවන් මේ වසරේදී සහභාගි වූ ටෙස්ට් තරග 11 න් පරාජය වී ඇත්තේ එකම තරගයක් පමණි.

“අපි කාගේත් තේරීම නොවෙන්න පුළුවන්. ඒත් මේ ක්‍රීඩකයන් කිසිදෙයක් ඉතිරි කරන්න සූදානම් නෑ.... ඒ වගේම 1995 දීත් 2007 දීත් ලෝක කුසලාන දිනාගැනීම නිසා රටක් වශයෙන් අපි ඉහළට එසවුණ ආකාරය අපි හොඳින්ම දන්නවා” යයි පුහුණුකරු එරැස්මස් කියයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයේ ජයග්‍රහණයකින් කියැවෙන්නේ වෙබ් එළිස් කුසලාන ජයගන්නා දෙවැනි අවස්ථාව එයවන බව පමණක් නොවේ. එංගලන්තය ජයගතහොත් දකුණු අර්ධගෝලයේ රග්බි දැවැන්තයන් තිදෙනකුම (ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව) සති දෙකක් තුළදී පරාජය කිරීමට එංගලන්තය සමත් වන බවයි.

දකුණු අප්‍රිකානු ජයග්‍රහණයක් තුළ ලියැවෙන්නේ වෙනත් කතාවකි. එනම් වර්ණභේදවාදය ඉවතලා ඇතිකරගත් එක්සත් බවේ ජයග්‍රහණයයි.


අදහස් (0)

අපේක්‍ෂාවත් - කීර්තිනාමයත් අතර අභියෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.