Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අනුන්ට කැපූ වළේ තමන් වැටීම

අනුන්ට කැපූ වළේ තමන් වැටීම

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ වසර 17 කට පසුවය.

ලෝකාවසානය එය නොවේ. මෙහි ඇති කටුක යථාර්තය නම් ශ්‍රී ලංකාවේ පිතිකරුවන් අසාර්ථක වූ බවයි.
සිය මව්බිමේදීම තරග කරන නමුත් එකම ශ්‍රී ලාංකික පිතිකරුවකුට හෝ ශතකයක් ලබාගත නොහැකි වූ අතර ඉනිම හතරෙන් තුනකදීම ශ්‍රී ලංකා ලකුණු පුවරුව 250 කට මෙහායින් නතර විය.

ශ්‍රී ලංකා පිලේ තත්ත්වය එසේ වූවත් ටෙස්ට් තරගාවලියේ ඉනිම හතරෙන් තුනකදීම ලකුණු 320 සීමාව ඉක්මවා ගිය එංගලන්ත පිතිකරුවෝ අනෙක් ඉනිමේදී ලකුණු 290 ක් ලබාගත්හ. එංගලන්තය වෙනුවෙන් පිතිකරුවෝ තිදෙනෙක් ශතක ද ලබාගත්හ.

වමතින් දඟ පන්දු යවන්නා ජැක් ලීච්

වෙනස තිබුණේ පිතිකරුවන් අතරය. නැතිනම් බෙන් ස්ටෝක්ස්ගේ අධි ක්‍රියාකාරී දෑතේ හෝ උඩපන්දු හමුවේ රොබෝවක් මෙන් ක්‍රියා කරන කීටන් ජෙනිස්ගේ දෑතේය.

දඟ පන්දු යවන්නන්ට සුදුසු තණතීරු සකස් කරගනිමින් එංගලන්ත පිතිකරුවන් අමාරුවේ දැමීමට ශ්‍රී ලංකාව සූදානම් වූවත් අනුන්ට කැපූ වළේ තමන්ටම වැටීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. ටෙස්ට් තරග දෙකේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා පිලේ කඩුලු 40 න් කඩුලු 35 ක්ම දවාගන්නා ලද්දේ ජැක් ලීච්, අදිල් රෂීඞ් සහ මුයින් අලී දඟ පන්දු යවන්නන් තිදෙනා විසිනි.

ලකුණු සටහන් පොතේ එසේ ඇති නමුත් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිලේ පරාජය සම්බන්ධයෙන් දක්වන්නේ වෙනත් මතයකි.

“අපි මේ වෙලාවේ බලන්න ඕනා ළඟ නෙමේ දුරයි. මේක මේ වසරේදී අපි පරාජය වෙච්ච පළමු වැනි ටෙස්ට් තරගාවලිය. මීට ඉස්සරවෙලා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තිබුණ තරගාවලිය අපි 2-0 කින් ජයගත්තා.”
“මේ තරග දෙකේදී වුණත් අපිට ජයගන්න අවස්ථාව නොතිබුණාම නෙමේ. ඒත් එංගලන්තය අපට වඩා හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වුණා. අපි ඒක පිළිගන්න ඕනා. ඒත් අපි වැරදිච්ච දේවලින් පාඩමක් ඉගෙන ගන්නත් ඕනා....” යයිද හතුරුසිංහ මහතා පැවසීය.

“මේක තීරණ දෙක තුනක ප්‍රශ්නයක්. ඒත් අපට හැකියාවෙන් කිසිම අඩුවක් නෑ. මම විශ්වාසය තියන්නේ ඒ ගැනයි. මේ කණ්ඩායම සම්බන්ධයෙන් මට බලාපොරොත්තුවක් තියෙනවා” යයි හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී තරගය නිමාවීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හතුරුසිංහ මහතා එසේ කීවේය.

“මේ තරගයේදී අපි පරාජය වුණේ පළමු ඉනිමේදී. අපි කඩුලු 9 ක් ලකුණු 225 කට ගත්තා. එත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් පැවත්වුණා. ඔවුන් ඒ ලකුණු 60 ගත්ත විදිහ දැක්කාම හරිම කණගාටු හිතෙනවා”

“දෙවැනි ඉනිමේදී වුණත් අපි තරගයේ පාලනය අතේ තියාගෙන හිටපු අවස්ථා තිබුණා. ඒත් අපි ඒක අතහැරියා......ඒක පීඩනය පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ. පුංචි පුංචි දේවල්. ලංකාවේදී වුණත් ලංකාවෙන් පිටදි වුණත් දිගින් දිගටම ජයගන්න නම් මේ දේවල් හරියට තියෙන්න ඕනා” යයිද හතුරුසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

ජෝ රූට් ශතකය ලබාගත් මොහොත ...

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත පිල ලකුණු 103 කට කඩුලු 5 ක් අහිමි කරගත්තේය. එහෙත් එංගලන්ත මුල් ඉනිම නතර වූයේ ලකුණු 342 කිනි. එංගලන්ත නායකයා, පිට පිටම දෙවැනි වරටත්, පල්ලෙකැළේදීත් කාසියේ වාසිය දිනාගතේය. එහෙත් ඔහුගේ පිලේ පළමු ඉනිමේ පස්වැනි කඩුල්ල දැවී යන විට පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 134 කි.

ගාල්ලේදී අවසන් කඩුලු 5 වෙනුවෙන් ලකුණු 239 ක් එක්වූ අතර පල්ලෙකැළේදී අවසන් කඩුලු 5 වෙනුවෙන් ඉනිම දෙකේදී ලකුණු 151 ක් සහ ලකුණු 163 ක් එක්විය. වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාවේදී මේවා පහසුවෙන් අනුමත කළ හැකි දේ නොවේ. පුහුණුකරුවා නොකියා කීවේ එයයි.

එසේ වුවත් තමන්ගේ කණ්ඩායම මාධ්‍ය හමුවේ විවේචනය නොකිරීමට ඔහු පරෙස්සම් විය.

“මෙතන කරුණු දෙකක් තියෙනවා. එකක් ඔවුන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. විශේෂයෙන්ම බෙන් ෆෝක්ස්...” හතුරුසිංහ මහතා කණ්ඩායම් දෙකේ කැපී පෙනන ක්‍රීඩකයා හැඳින්වීය.

ටෙස්ට් තරග දෙකේදීම (107, 37, 19 සහ නොදැවී 65) එංගලන්තයට වාසිදායක තත්ත්වය අත්කර දෙන ලද්දේ බෙන් ෆෝක්ස් විසිනි.

ගාල්ල තරගයේදී එංගලන්ත පිලේ කඩුලු 5 ක් ලකුණු 103 කට බිඳ වැටී තිබියදී, තමන්ගේ මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් ෆෝක්ස්, පල්ලෙකැළේදී එංගලන්ත දෙවැනි ඉනිමේදී අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක් එක් කළේය.

“ටෙස්ට් තරග දිනන්න නම් දිගින් දිගටම පීඩනය රඳවාගන්න වෙනවා. විවේක කාලයන් දෙකක් අතරේ තරග කරන්නන් වාලේ තරග කරලා, නැත්නම් ඔහේ පන්දු යවන්නන් වාලේ පන්දු යවලා තරග දිනන්න බෑ. විශේෂයෙන්ම මේ වගේ තණතීරු මතදී ඒ තත්ත්වය තදින් බලපානවා” යයිද පුහුණුකරුවා පැවසීය.

“මේ දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක්. ස්ථර වශයෙන්ම අපිත් ඒ බව දැනගෙන හිටියා. කොහොම වුණත් මේක හොඳ, අභියෝගාත්මක තණතීරුවක්. දවස් පහ පුරාම තණතීරුව හොඳින් පැවතුණා”
“මා හිතන්නේ නෑ අපේ ක්‍රීඩකයන් ‘මේ තණතීරුව වැඩියෙන් දඟ කැවෙනවා’ කියන පූර්ව නිගමනයේ සිට පන්දුවට පහර දෙන්න එනවා කියා. ඒත් ඒක දඟ කැවෙන බව අපි දන්න නිසා අපි ඒකට සූදානම් වුණා” යයිද හතුරුසිංහ මහතා පැවසීය.

තමන් සූදානම් වූ බව පුහුණුකරුවා කීවද එකම ශ්‍රී ලාංකික පිතිකරුවකුට හෝ ශතකයක් ලබාගත නොහැකි විය. එංගලන්ත පිතිකරුවන් තිදෙනෙකුම ශතක ලබාගත් අතර අයෙක් කෝඩුකාරයෙකි.

පන්දු රැකීමේ දුර්වලතා දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායම සමග අත්වැල් බැඳගත් ප්‍රශ්නයක් බව නම් පුහුණුකරුවාත් තර්කයකින් තොරවම පිළිගනී.

“පන්දු රැකීමේ දුර්වලතා පෙන්වන ක්‍රීඩකයන් එකම පිරිසක්. ඔවුන් දිගින් දිගටම මේ යාන්ත්‍රණයේ සිටියා. එක්කෝ ඔවුන් නම්‍යශීලී නෑ. එහෙම නැත්නම් ඒ හැකියාව ඔවුන්ට නෑ. මේ ප්‍රශ්නය ගැන අපි මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ”

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලියේ ඉරණම තීරණය වූයේ බෙන් ස්ටෝක්ස්ගේ අති විශිෂ්ට පන්දු රැකීම් දෙකකින් සහ කීටන් ජෙනිංග්ස්ගේ පන්දු රැකීම් දෙකකින් යයි කිසිවකු තර්ක කළහොත් එය බැහැර කිරීම පහසු නොවේ.
ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුල 2 කට 127 ක් ව තිබියදී තනි අතින් පන්දුව අහුලාගත් බෙන් ස්ටෝක්ස් එය කඩුල්ලට දමා ගසමින් දිමුත් කරුණාරත්නගේ ඉනිම නිමා කළේය. ඕවරයකට පසුව ස්ලිප් හි සිට කුසල් මෙන්ඩිස්ගේ උඩපන්දුව වම් අතින් ඩැහැගත් ස්ටොක්ස් ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව කඩුලු 4 කට 136 ක් ලෙස වෙනස් කළේය.

එතැනින් ඇතිවූ පසුබෑමෙන් ශ්‍රී ලංකා පිලට ගොඩ ඒම අසීරු විය.
දෙවැනි ඉනිමේදී ධනංජය සිල්වා සහ දිමුත් කරුණාරත්න දෙදෙනාම දවාගැනීමට දායක වූ අඩි 6 අඟල් 4 ක් උස ක්‍රීඩකයකු වන කීටන් ජෙනිංග්ස් පන්දුවට ප්‍රතිචාර දක්වන ආකාරය අදහාගැනීමටත් නොහැක. ෆෝවර්ඞ් ෂෝට් ලෙග් ස්ථානයේ සිටින විට ඔහුගේ දෑත් ක්‍රියා කරන්නේ රොබෝවක් ලෙසිනි.

“ක්‍රීඩකයන් තේරීමේදී බොහෝ වෙලාවට අපි අංක 1 ට යොදන්නේ පන්දුවට පහර දීම නැත්නම් පන්දු යැවීමේ හැකියාව. ඒත් පන්දු රැකීම අංක 1 ට ගේන්න අපි දැන්වත් වගබලාගන්න ඕනේ”

“ක්‍රීඩකයකු තෝරා ගනිද්දි ඔහු කොයිතරම් හොඳ පිතිකරුවෙක් නැත්නම් පන්දු යවන්නෙක් වුණත් පන්දු රකින්නකු වශයෙන් ඔහුට දිය හැකි දායකත්වය මොකක්ද කියලාත් සලකා බලන්න ඕනේ”  යයිද හතුරුසිංහ මහතා අවධාරණය කළේය.

තමන්ගේ පන්දු රැකීම දියුණු කරගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩකයකුගේ පැත්තෙන් තිබිය යුතු වටිනාම දේ කුමක්ද යන්න කළ විමසීමේදී පුහුණුකරුවාට තිබුණේ කෙටි පිළිතුරකි.

“හරි ආකල්පයක්” යන්න එම කෙටි පිළිතුර විය.

 


ජෝ රූට් ශතකය ලබාගැනීමෙන් පසුව...
 


අදහස් (0)

අනුන්ට කැපූ වළේ තමන් වැටීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.