Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2020 මෝටර් රථ – යතුරුපැදි තරග රැසක්ම අවලංගු විය හැකියි

2020 මෝටර් රථ – යතුරුපැදි තරග රැසක්ම අවලංගු විය හැකියි

ශානුක අරවින්ද - 2020 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු වනු ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලේකම් රිස්වි ෆාරුක් මහතා ‘ලංකාදීප’යට පැවසීය. තරගාවලි 21 කින් සමන්විත වූ මේ වසරේ (2020) මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයට සුපර්ක්‍රොස් තරගාවලි 8 ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 5 ක්, මෝටර් රථ රැළි 4 ක්, කඳු තරණ 3 ක් සහ රැළික්‍රොස් තරගාවලියක් ඇතුළත් විය.

ඒ අතරින් කොවිඞ්-19 වයිරසයේ බලපෑම හේතුවෙන් මාගස්තොට කඳු තරණය, රදැල්ල කඳු තරණය සහ නරියාකන්ද සුපර්ක්‍රොස් යන තරගාවලි කල්දැමීමට සිදුවිය.

මාගස්තොට කඳු තරණය අප්‍රේල් මස 5 වැනිදාද, රදැල්ල කඳු තරණය අප්‍රේල් මස 6 වැනිදාද, නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය අප්‍රේල් මස 18 සහ 19 යන දිනවලද පැවැත්වීමට නියමිතව තිබූ අතර නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූණේ මැයි මස 2 සහ 3 යන දිනවලය.
 
මාගස්තොට කඳු තරණය සංවිධානය කරන සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය එම තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයෙන් නව දිනයක් ඉල්ලා ඇති බව පැවසූ ෆාරුක් මහතා, තත්වය යහපත් අතට හැරුණ සැණින් නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට එහි සංවිධායන් වන යුද හමුදා විද්‍යාපීඨය සූදානමින් සිටින බවද කියා සිටියේය.

කෙසේ වුවත් රදැල්ල කඳු තරණය සහ නුවර එළිය මාර්ග මෝටර් රථ තරගාවලිය සංවිධානය කරන ශ්‍රී ලංකා යතරුපැදි සංගමය මේ දක්වා එම තරගාවලි සඳහා නව දිනයන් ඉල්ලා නොමැති බවත්, එබැවින් බොහෝ දුරට එම තරගාවලි දෙක මේ වසරේදී නොපැවැත්වෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ෆාරුක් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයට අනුව මැයි මාසයේදී වලව සුපර්ක්‍රොස් තරගාවලියත් (මැයි 30 - 31), ජූනි මාසයේදී සීගිරිය රැළික්‍රොස් තරගාවලිය (ජූනි 6 - 7), කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය (ජූනි 13 - 14) සහ කටුකුරුන්ද මාර්ග මෝටර් රථ තරගාවලියත් (ජූනි 27 - 28) පැවැත්වීමට නියමිතව තිබිණ. ඉන් අනතුරුව ජූලි මාසයේදී පන්නල මාර්ග මෝටර් රථ තරගාවලිය (ජූලි 11 - 12) සහ ගනර්ස් සුපර්ක්‍රොස් තරගාවලිය (ජූලි 25 - 26) ද, අගෝස්තු මාසයේදී කමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලිය (අගෝස්තු 8 - 9) ද පැවැත්වීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය අනුමැතිය ලබාදී තිබිණ.

කෙසේ වුවත් වත්මන් තත්වය එම තරගාවලි සියල්ලටම පාහේ නව දිනයන් යොදාගනිමින් නැවත වරක් දින දර්ශනය සකස් කිරීමට සිදුවනු ඇතැයි රිස්වි ෆාරුක් මහතා කියා සිටියේ මේ වන විට කල් දමා ඇති තරගාවලි සඳහාද නව දිනයන් ලබාදීමට සිදුවී ඇති බව මතක් කරමිනි.

මෝටර් රථ තරග නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් රැස්වීමත්, සෙසු ක්‍රීඩාවලට සාපේක්ෂව වියදම් අධික ක්‍රීඩාවක් වීමත් නිසා තත්වය යහපත් අතට හැරුණද යළිත් මෝටර් රථ තරග ආරම්භ කිරීම තරමක් ප්‍රමාද විය හැකි බවද ෆාරුක් මහතා අවසන් වශයෙන් පැවසීය.

 


අදහස් (0)

2020 මෝටර් රථ – යතුරුපැදි තරග රැසක්ම අවලංගු විය හැකියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.