Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සම්පූර්ණයෙන්ම විවෘත තරගාවලියකදී නවසීලන්තය ත්‍රිත්ව ශූරතා සිහිනයක

සම්පූර්ණයෙන්ම විවෘත තරගාවලියකදී නවසීලන්තය ත්‍රිත්ව ශූරතා සිහිනයක

editorial - 2019 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේදී හෙට (20 වැනිදා) ආරම්භ වන රග්බි ලෝක කුසලාන තරගාවලියේදී ‘වෙබ් එලිස්’ කුසලාන දිනාගනිමින් පිට පිට තෙවැනි වරටත් ලෝක ශූරයන් වීම නවසීලන්තයේ අරමුණයි. එහෙත් තරගාවලියට සහභාගි වන රටවල් අතුරින් අඩුම තරමින් තවත් රටවල් 6 ක් වත් රග්බි ලෝක කුසලනය හෙවත් ‘විලියම් වෙබ් එලිස්’ කුසලානය තම රටට ගෙන යාම සඳහා සියලු සැලසුම් සකස් කරමින් සිටිති.

රටවල් 20 ක් සහභාගි වන රග්බි ලෝක කුසලාන තරගාවලිය අද සිට නොවැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලිය ජපානයේ නගර 12 කදී පැවැත්වෙයි.

ක්‍රීඩාවක් සම්බන්ධයෙන් ඔට්ටු දමන්නෝත් ඔට්ටු බාරගන්නෝත් කවදත් කොතැනත් සිටියහ. ඔට්ටු බාරගන්නන්ගේ ප්‍රියතම තේරීම ‘ඕල් බ්ලැක්ස්’ හෙවත් නවසීලන්ත කණ්ඩායම වුවත්, නවසීලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන්නේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම ලෙසින් නොවේ. ඊට හේතුව ‘සය කොන් ග්‍රෑන්ඞ් ස්ලෑම්’ තරගාවලියේ ශූරයන් වූ වේල්සයට එරෙහිව තරග දෙකක් ජයගත් අයර්ලන්තය ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානයේ පසුවීමයි.

එසේ වූවායැයි කියා ස්ටීව් හැන්සෙන් ගේ නවසීලන්ත කණ්ඩායමේ ශක්තිය සහ හැකියාව ගැන කිසිදු සැකයක් නොමැත. ඔවුන් මෙවර තරග වදින්නේ වසරේ රග්බි ක්‍රීඩකයා බවට පත්වූ ක්‍රීඩකයන් තිදෙනෙකුද සමගිනි. ඒ නායක කරන් රීඞ්, බ්‍රෝඩී රෙටැලික් සහ බියුඩෙන් බැරෙට් තිදෙනාය.

1987 දී පැවැති පළමු ලෝක කුසලාන තරගාවලිය මෙන්ම, 2011 දී සහ 2015 දී පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකම දිනා සිටින නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශතය 84්‍ර ක් වැනි ඉහළ අගයක් ගනී. එබැවින් නවසීලන්තයේ ගමන නවතාලීමට නම් අනෙක් කණ්ඩායම් සුවිශේෂී ආකාරයකින් තරග වැදිය යුතුව තිබේ.

‘බී’ කාණ්ඩයේ ප්‍රබලයාද වන නවසීලන්තය සිය ලෝක කුසලාන ගමන ආරම්භ කරන්නේ සැප්තැම්බර් 21 වැනිදාය. පළමු  තරගයේදීම ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ අති ප්‍රබල දකුණු අප්‍රිකාවයි. දෙවරක් ලෝක ශූරයන් බවට පත්වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර සියා කොලිසි විසින් මෙහෙයවනු ලබන අතර, ඔහු ලෝක කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවන පළමු කළු ජාතිකයා ලෙසින්ද ඉතිහාස ගතවෙයි.

ඉතාලිය, නැමිබියාව සහ කැනඩාව ‘බී’ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන අතර දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය බොහෝ විට බී කාණ්ඩයේ ජයග්‍රාහකයා තීරණය කරන තරගය වීමට ඉඩ තිබේ.  
‘බී’ කාණ්ඩයේ ජයග්‍රාහකයා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා සමග තරග වැදීමට නියමිත අතර, ‘ඒ’ කාණ්ඩය නියෝජනය කරන රටවල් වනුයේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ජපානය, රුසියාව සහ සැමෝවා ය.
“මේ තරග සැලැස්මට අපි කැමැතියි....”

“අපිට කෙලින්ම ඉදිරියට යන්න පුලුවන් වගේම, නිදහසට කරුණු කීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම වේගවත් බවක් ලබාගැනීමට බලාසිටීමට වුවමනාවකුත් නැහැ..... ඒ වේගය අපි ඉස්සරටම ඇවිත් තියෙනවා” යයි නවසීලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු ඉයන් ෆොස්ටර්  මහතා පැවසීය.

“අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඉතා හොඳ විශ්වාසයක් සහිත දකුණු අප්‍රිකානු කණ්ඩායමටයි. ඒත් ඔවුන් මුහුණ දෙන්න යන්නේ හොඳ අධිෂ්ඨානයක් ඇති නවසීලන්ත කණ්ඩායමටයි..... දකුණු අප්‍රිකාව සියයට සියයකින් සුදානමින් ඉන්නවා කියලා අපි දන්නවා. අපිත් එහෙම තමයි” යයිද ෆොස්ටර් වැඩිදුරටත් පැවසීය.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය (අද) පැවැත්වෙන්නේ ‘ඒ’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන රුසියාව සහ ජපානය අතරය. නමුත් මෑත කාලයේදී (2016 සහ 2018) දෙවරක්ම නවසීලන්තය පරාජයට පත්කළ අයර්ලන්තය ‘ඒ’ කාණ්ඩයේ ප්‍රබලයා වෙයි. සය කොන් තරගාවලියේ ප්‍රතිවාදියෙකු වන ස්කොට්ලන්තය මෙන්ම සත්කාරක ජපානය, රුසියාව සහ සැමෝවා ද ‘ඒ’ කාණ්ඩයේ සෙසු සාමාජිකයෝ වෙති.

අයර්ලන්ත කණ්ඩායමේ සිටින නවසීලන්ත ජාතික පුහුණුකරුවා වන ජෝ ස්ච්මිඞ්ට් ප්‍රංශයේ ක්ලෙමොන්ට් සමගින් යුරෝපා කුසලාන දෙකක්, 2014 සහ 2015 වසරවලදී පිට පිට සයකොන් තරගාවලි දෙකක් දිනා සිටින අත්දැකීම් බහුල පුහුණුකරුවෙකි. ඔහු කණ්ඩායමේ දක්ෂතා උපරිමයෙන් උකහාගෙන ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට අයර්ලන්ත කණ්ඩායම අර්ධ අවසාන පූර්ව වටයෙන් ඔබ්බට රැගෙන යාමට උත්සාහ දරනු ඇත. එම ගමනේ නියමුවා වනු ඇත්තේ වර්තමානයේදී වසරේ රග්බි ක්‍රීඩකයා වන ජොනී සෙක්ස්ටන් ය.
සෙක්ස්ටන් අයර්ලන්ත කණ්ඩායමට ශක්තියක් වුවත්, ඔහුගෙන් වැඩක් ගැනීමට නම් දැනට මාස ගණනක් ඔහු සොයන ඔහුගේ හැකියාවන් යළි අත්පත් කරගැනීමට සෙක්ස්ටන්ට හැකිවිය යුතුය.

“ඔව්, අපි අවසන් පූර්ව වටයට යාමට කැමැතියි... ඒත් මම තාමත් ඉලක්කයක් හදලා නැහැ” යැයි ස්ච්මිඞ්ට් පවසයි.

“ඉතිං ඒක ඉලක්කයක් නොවෙයි, ඒක අපේ සිහිනයක්. ඒ සිහිනය සැබෑවක් වෙනවා දකින්න අපි හැමෝම කැමැතියි”

මේ අතර සත්කාරක රටේ ආධාරකරුවන් බලාපොරොත්තු වන්නේ 2015 ලෝක කුසලාන තරගාවලියේදී 34 -32 ක් ලෙසින් දකුණු අප්‍රිකාව පරාජයට පත්කරමින් ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයක් නැවත වරක් ප්‍රතිනිර්මාණය කිරීමට ජපානයට හැකිවනු ඇති බවයි. එම ජයග්‍රහණය සැළකෙන්නේ එදා මෙදා තුර ලෝක කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකාව වෙතින් සිදුවූ ලොකුම අත් වැරැද්ද ලෙසිනි.

“බ්රේව් බ්ලොසම්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජපාන රග්බි කණ්ඩායම මීට වසර හතරකට පෙර සැමෝවා සහ ඇමෙරිකානු කණ්ඩායමටවලට එරෙහිව කාණ්ඩ වටයේ ජයග්‍රහණ ලබාගත්තේය. කාණ්ඩ වටයේ තරග 3 ක් ජයග්‍රහණය කළත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ජපානය අපොහොසත් විය.

2015 වසරේදී ජපානයේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඕස්ටේ්‍රලියානු ජාතික එඩී ජෝන්ස් මෙවර ‘සී’ කාණ්ඩයේ ප්‍රබලයා වන එංගලන්ත කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි. එංගලන්ත කණ්ඩායම 2003 වසරේදී රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ එවැනි දක්ෂතාවයක් කළ උත්තරාර්ධ ගෝලයේ පළමු රට බවට පත්වෙමිනි.

ඕවෙන් ෆැරල් නායකත්වය යටතේ තරග කරන ඉංග්‍රීසි කණ්ඩායමේ කැපී පෙනෙන සාමාජිකයන් වන්නේ හුකර් ක්‍රීඩක ජාමි ජෝර්ජ් සහ ලොක් ක්‍රීඩක මාරෝ ඉටොජි ය. 2015 ලෝක කුසලාන තරගාවලියේදී එකම කාණ්ඩයේ ප්‍රතිවාදීන් වූ ඕස්ටේ්‍රලියාව සහ වේල්සය හමුවේ පරාජයට පත්වූ එංගලන්තය එම ලෝක කුසලාන තරගාවලිය අවසන් කළේ ලෝක කුසලාන අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා නොගත් පළමු සත්කාරක රට බවට පත්වෙමිනි.

කෙසේ වෙතත් ප්‍රංශය, ආර්ජන්ටිනාව, ඇමෙරිකාව සහ ටොංගා යන රටවල්  ‘සී’ කාණ්ඩයෙන් තරග වදින තත්ත්වයක් තුළ පිළිමළුන් පිටුදැකීමේ වටය වෙත යාමට එංගලන්තයට දැඩි උත්සාහයක් දැරීමට සිදුවනු ඇත.
ප්‍රංශය මේ වන විට 6 වතාවක් ලෝකු කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇතත්, ඔවුන් පසුගිය වසර තුනක කාලයක් තුළ කැපී පෙනෙන දස්කම් දක්වා නැත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය සමන්විත වන්නේ වේල්සය, ඕස්ටේ්‍රලියාව සහ ෆිජි යන කණ්ඩායම්වලිනි. ජෝර්ජියාව සහ ආධුනික උරුගුවේ කණ්ඩායම්ද තරග වදින්නේද ‘ඩී’ කාණ්ඩයෙනි. කෙසේ වෙතත් ඕස්ටේ්‍රලියාව දෙවරක් ලෝක කුසලනාය දිනාගත් කණ්ඩායමකි.

වේල්ස් කණ්ඩායමේ පුහුණුකරු වොරන් ගැට්ලන්ඞ් සිතන්නේද මෙවර ලෝකු කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා තම කණ්ඩායමට හොඳ අවස්ථාවක් තිබෙන බවයි.

“මම හිතන්නේ මේ තමා කාලෙකට පස්සේ ආව වාඩාත් විවෘත ලෝක කුසලාන තරගාවලිය. කණ්ඩායම් 6 කට හෝ 7 කට ලෝක කුසලානය දිනාගැනීමේ අවස්ථාව තිබෙනවා” යැයි වොරන් ගැට්ලන්ඞ් පවසයි.

(සැකසුම : අනිල් කරුණාරත්න)


අදහස් (0)

සම්පූර්ණයෙන්ම විවෘත තරගාවලියකදී නවසීලන්තය ත්‍රිත්ව ශූරතා සිහිනයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.