Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා - මැකාවෝ තරගය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා - මැකාවෝ තරගය අවිනිශ්චිතයි

නාමල් පතිරගේ - 2019 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැකාවෝ පාපන්දු කණ්ඩායම මේවනතුරුත් ශ්‍රී ලංකාවට පැමිණීම තහවුරු කර නොතිබුණු බැවින් ශ්‍රී ලංකාව සහ මැකාවෝ අතර අඟහරුවාදා (11 වැනිදා) පැවැත්වීමට නියමිත 2022 ලෝක කුසලාන පළමු වටයේ තරගය අත්හැරදැමීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙම තරගය අඟහරුවාදා පස්වරු 3.30 ට කොළඹ සුගතදාස පිටියේදී ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් කොළඹදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට සිය කණ්ඩායම සහභාගී කරවිය නොහැකි බවට මැකාවෝ ජාතික පාපන්දු සංගමය නිකුත් කර තිබෙන නිවේදනයකින් පසුව මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාගෙන් ඊයේ පස්වරුවේදී ලංකාදීප කළ විමසුමකදී පැවසුවේ මැකාවෝ පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරය අත්හිටුවූ බවට ඊයේ පස්වරුව වන විටත් නිල වශයෙන් තහවුරු කර නොතිබු බවයි.

“මේ තරගය යොදාගත් දිනයට පවත්වන්නට නොහැකි වුණොත් අපට ගෝල 3-0 ක් ලෙස සලකළා නිතරග ජයක් ලබාදිය යුතුයි. තරගය වෙනත් රටක පවත්වන්න අපි කිසිසේත්ම එකඟවෙන්නේ නෑ” යයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසීය.

“යුද හමුදාව, පොලිසිය වගේම ප්‍රභූ ආරක්ෂක අංශයත් හෙට පැවැත්වීමට නියමිත තරගයේ ආරක්ෂාවට  යොදවා තිබෙනවා. මේ වගේ දැඩි රැකවරණයක්  මැකාවෝ කණ්ඩායමට ලබාදී තිබියදී ඔවුන් කොළඹට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම ගැන අපි කිස්සේත්ම එකඟ වෙන්නේ නෑ” යයිද සභාපතිවරයා කීවේය.

පසුගිය බ්‍රහස්පතින්දා (06) චීනයේ ගුවැන්ග් ඩොන්ග් නගරයේදී පැවති ලෝක කුසලාන පළමු වටයේ තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 1-0 කින් පරාජයට පත්විය. ඒ අනුව හෙට කොළඹ දී පැවැත්වෙන දෙවැනි තරගයෙන් පසුව තරග දෙකේම සමස්ත ප්‍රතිඵලය සම්පිණ්ඩනය කරමින් ලෝක කුසලාන දෙවැනි වටය සඳහා කණ්ඩායමක් තෝරාගැනේ.

හෙට තරගයට සූදානම්ව, එහි රාජකාරි කටයුතුවල නිරතවන ආසියානු පාපන්දු සමුළුවේ විනිසුරුවරු ඇතුළු නිලධාරීහු ඊයේ වන විටත් කොළඹට පැමිණ සිටියහ. දෙපිලේ නිල මාධ්‍ය හමුව හෙට (10 වැනිදා) පෙරවරු 10.00 ට කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර මේ වනවිට ‘ලන්ඩන්’ නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසුවේ කොළඹ තරගයට යොදන ආරක්‍ෂාව සම්බන්ධයෙන් අන්තර්ජාතික පාපන්දු සමුළුව හා ආසියානු පාපන්දු සමුළුව ඉල්ලා තිබූ වාර්තාවක් ඔවුන් වෙත යොමු කිරිමට මේ වනවිට පියවර ගෙන තිබෙන බවයි.

ඒ අනුව අන්තර්ජාතික හා ආසියානු පාපන්දු සම්මේලනය කොළඹ නගරයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටින බැවින් එය යොදා ගත් පරිදි කොළඹදී පැවැත්වීමට පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇති බවත් ඔහු පැවසීය.

“මේ වෙලාවේ කොහොමටත් අපේ ස්ථාවරය වෙනස් කරන්නෙ නෑ. මොකද රටේ ආරක්‍ෂාව දැන් යහපත් අතට පත්වෙලා තිබෙන බවයි අපි විශ්වාස කරන්නෙ. තරගය කොළඹදී පැවැත්වීම අවලංගු වුණොත් එය රටට හානිකරයි” යයිද ජස්වර් උමාර් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ මැකාවෝ අතර පැවති පළමු තරගය අවසන් මොහොතේදී චීනයේදී පැවැත්වීමට සිදුවූයේ මැකාවෝ පාපන්දු කණ්ඩායමේ ඉල්ලීමකට අනුව බවත් ඒ වනවිටත් සංචාරක ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට මැකාවෝ රාජ්‍යයට ඇතුළුවීම සඳහා ‘වීසා’ ලබාගෙන තිබූ බවත් වාර්තා වේ.

තරගය පැවැත්වීමට නියමිතව තිබූ මැකාවෝ ක්‍රීඩාංගණයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම තත්වය උද්ගත විය. ඒ පිළිබඳව පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ එවැනි සහයෝගයක් ශ්‍රී ලංකාව මැකාවෝ පාපන්දු කණ්ඩායමට ලබාදී තිබියදී ඔවුන් කොළඹ දී තරග වැදීම ප්‍රතික්ෂේප කිරීම කනගාටුදායක තත්ත්වයක් බවයි.

කෙසේ වුවත් අළුත්ම ආරංචි මාර්ග සඳහන් කරන්නේ මැකාවෝ පාපන්දු කණ්ඩායම කොළඹ තරගයට සහභාගි නොවීමට තීරණය කර තිබෙන බවත් එයින් පැනනැගෙන තත්ත්වයන් සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තරග කොමසාරිස්වරයා ගලධාරි හෝටලයේ මාධ්‍ය හමුවේදී සිදු කරනු ඇති බවත් ය.

අවසන් වරට පැවති මොස්කව් (2018) ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග දෙකෙන්ම භූතානයට පරාජය වීමෙන් ශ්‍රී ලංකාවේ මොස්කව් ලෝක කුසලාන ගමන එයින්ම නිමාවට පත්විය.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මැකාවෝ රාජ්‍යය 183 වැනි ස්ථානයේ ද ශ්‍රී ලංකාව 202 වැනි ස්ථානයේ ද මේ වනවිට පසුවේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා - මැකාවෝ තරගය අවිනිශ්චිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.